ප්‍රමාණවත් තරම් භූමිතෙල් නොලැබිමෙන් ධීවර කර්මාන්තය කඩා වැටේ

ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ 

ප්‍රමාණවත් තරම් ඉන්ධන නොලැබීම නිසා ත්‍රිකුණාමලයේ සුළු පන්න ධීවර කාර්මිකයන්ට සිය ධීවර කටයුතු කරගෙන යාමට නොහැකි තත්වයක් උද්ගතව ධීවරයන් මහත් අසීරුතාවයකට පත්ව ඇතැයි සමස්ථ ලංකා පොදු ධීවර සම්මේලනය පවසයි.

එම සම්මේලනයේ ත්‍රිකුණාමලය විධායක සභික ප්‍රියන්ත මලවැන්නගොඩ මහතා පැවැසුවේ සුළු පන්න ධීවර කටයුතු වල නිරත වන ධීවරයන් සඳහා සතියකට පමණ වැඩි කාලයක් පුරාවට ප්‍රමාණවත් තරම් භූමිතෙල් නොලැබීම හේතුවෙන් රැකියා කටයුතු කර ගැනීමට නොහැති තත්වයක් උද්ගතව පවතින බවත් මෙම ගැටලුවට කඩිනම් විසඳුමක් ලබා දීමට බලධාරින්ගේ අවධානය මෙතෙක් යොමුව නැති බවයි. 

සුළුපන්න ධීවරයන් 10,000 කට වැඩි ප්‍රමාණයක් සිටින ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඉන්ධන හල් වෙත  ලැබෙන භූමිතෙල් ප්‍රමාණවත් නොවන බවත් එක් පිරවුම්හලකට ඉන්ධන ලැබීමෙන් පසුව තවත් දින කිහිපයකින් ඉන්ධන බවුසර් එනතෙක් නැවත ඉන්ධන ලබා ගැනීමට ධීවරයන්ට පෝලීම් වල කාලය කා දැමීමට සිදුව ඇති බව ඔහු කියා සිටි. මේ හේතුවෙන් ඉන්ධන හල් තුල ඉන්ධන ලබා ගැනීමට සිටින ධීවරයන් අතර ගැටුම් පවා හටගෙන ඇති බව ඔහු පෙන්වා දෙයි. 

ධීවර දෙපාර්තමේන්තුව විසින් ධීවරයන් සඳහා ඉන්ධන ලබා ගැනීමට යාත්‍රාවේ හිමිකම් පත අවසර පතක් ලෙස භාවිතා කිරීමට අවසර දී තිබු අතර එකි අවසර පතට භූමි‍තෙල් ලීටර 125 ක් ලබා ගැනීමට පසුගිය කාල‍ය තුල හැකි වුවත් මේ වනවිට ලබා ගත හැක්කේ එක් යාත්‍රාවකට භූමිතෙල් ලීටර 100 ක් පමණක් බව ප්‍රියන්ත මලවැන්නගොඩ පවසයි. ඒ කෙසේ වෙතත් ඇතැම් ඉන්ධන හල් ධීවරයන් සඳහා භූමිතෙල් ලීටර් 50 ක් ලබා දීම ද පිරවුම් හල් වලින් ලබා ගන්නා ඉන්ධන බලපත්‍ර රහිතව ගබඩා කර ගනිමින් වැඩිමිලට විකුණන පුද්ගලයන් නිසා ද මෙම අර්බුධය ඇතිව පවතින ඔහු වැඩිදුරටත් පවසයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.