පවුලකට මාසයකට විසිදහසක් දුන්නොත් රට ඉවරයි – රවී

 පවුලකට මාසයකට විසිදහසක් දුන්නොත් රට ඉවරයි – රවී

ගම් මට්ටමේ විශාල ජන ප්‍රසාදයක් තිබෙන බවට පම්පෝරි ගසා ජනපතිවරණයට ඉදිරිපත්ව ඡන්ද ලක්ෂ 15 කින් පරාජයට පත්වූ අය දැන් ප්‍රායෝගිකව කිසිසේත්ම ක්‍රියාත්මක කළ නොහැකි පොරොන්දු ලබාදෙමින් ජනතාව නොමඟ යැවීමට උත්සහ කරන බව එජාප උප නායක රවී කරුණානායක මහතා පවසයි. පසුගිය ජනපතිවරණයේදී තම ආසන පරාජයට පත්වූ සියලු දෙනා අද සමඟි ජන බලවේගය හා එක්ව සිටින බවත් ආසන ජයග්‍රහණය කළ පිරිස එජාපය ශක්තිමත් කිරීමට පියවර ගනිමින් සිටින බවත් ඒ මහතා කීය. මහනුවර දිස්ත්‍රික් එජාප පක්ෂ කාර්යාලයේදී පෙරේදා (15) පැවැති මාධ්‍ය හමුවකදී කරුණානායක මහතා මේබව ප්‍රකාශ කළේය.

තමන්ට හිතෙන වෙලාවට එළියට යන්නත් හිතෙන වෙලාවට ඇතුළට එන්නත් එජාපය අම්බලමක් නොවන බවත් පක්ෂයෙන් ගොස් වෙනත් පක්ෂ ගොඩනගාගෙන එජාපයට අභියෝග කරන පිරිස් දැන් පක්ෂයේ වර්ණය භාවිත කරමින් ජනතාව නොමඟ යවා ඡන්ද ලබා ගැනීමට උත්සහ කරන බවත් හෙතෙම පැවසුවේය. එක් පවුලකට රුපියල් 20000.00 බැගින් ලබාදීම සඳහා මාසයකට රුපියල් කෝටි 125000 ක් වැයවන බවත් එලෙස මාස 12 ක කාලයක් ලබාදීමට වැයවන මුදල රුපියල් කෝටි 155100 ක් බවත් කී ඒ මහතා එය රටේ සමස්ත ආදායමෙන් 80% ක් බවද කීවේය. රාජ්‍ය සේවක වැටුප් ගෙවීම, පොලී අනුපාත ගෙවීම,ප්‍රාග්ධන ක්ෂය කිරීම් ඇතුළු කාර්යයන් සඳහා බිලියන 2700 ක පමණ මුදලක් වැයවන බවත් ජනතාව රවටන මෙවැනි ප්‍රකාශ එජාපය කිසිදු ලෙසකින් නොකරන බවත් හෙතෙම අවධාරණය කළේය.

ගහක කොළ හැලී ගිය පසු නව දලු එන්නාසේ අද එජාපය අලුත් වී තිබෙන බවත් පක්ෂයට ආදරය කරන නායකත්වයට ගරුකරන පිරිසක් සමඟ මේ රටේ ආණ්ඩු බලය ලබා ගැනීමට එජාපය කටයුතු කරත්දී තවත් පිරිසක් සිරිකොතේ බලය ඇල්ලීමට සිහින දකින බවද ඒ මහතා කීය. මේ රටේ ආර්ථිකය දණ ගැස්සූ සෑම අවස්ථාවකම දෙපයින් නැගිට්ටුවේ එජාප ආණ්ඩු බවත් එය මේ රටේ ජනතාව හොඳින් දන්නා බවත් කී ඒ මහතා
බිඳ වැටී තිබෙන ආර්ථිකය යළි නඟා සිටවිය හැකි වැඩපිළිවෙළක් ඇත්තේ එජාපයට පමණක් බවද පැවසුවේය. රතු සහෝදරයෝ දැන් කොළ වී තිබෙන බවද ඒ මහතා කීය. මහනුවර එජාප කණ්ඩායම් නායිකා ශාන්තිනි කෝන්ගහගේ මහත්මියද මෙහිදී කතා කළාය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *