පල්ලෙකැලේ හිරගෙදර සිට නුවරට කුඩු බෙදන ජාවාරමක්

පල්ලේකැලේ දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියෙකු විසින් මෙහෙයවන ලදැයි කියන මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු අනාවරණය කරගත් තළාතුඔය පොලීසියේ දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් රුපියල් ලක්ෂ 7 1/2 ක් පමණ වටිනා මත්කුඩු ග්රෑම් 50 ක් සමඟ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. බන්ධනාගාර ගතව සිටින පුද්ගලයාගේ උපදෙස් මත පිටත සිට හෙරොයින් ජාවාරම මෙහෙයවූ බව කියන පුද්ගලයා ගුරුදෙණිය ප්‍රදේශයේදී ඊයේ (04) සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ජාවාරමට සම්බන්ධ කාන්තාව ඇතුළු සෙසු පුද්ගලයින් 10 දෙනා අත්අඩංගුවට ගත්බව පොලීසිය පවසයි.

සැකපිට අත්අඩංගුවට ගත් පිරිස කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසන අතර බන්ධනාගාරගතව සිටින පුද්ගලයා කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මත්කුඩු ජාවාරම පිටත සිට සිදුකරන ලද පුද්ගලයා දුරකතන මගින් රැඳවියා හා සම්බන්ධ වෙමින් ගැනුම්කරුවන් වෙත මත්කුඩු බෙදාහැර තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ. ප්‍රධාන සැකකරු සතුව තිබී ජංගම දුරකතන තුනක් හා බැංකු කාඩ්පත් තුනක් පොලිස් භාරයට ගෙන ඇත. මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් මත මහනුවර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ තළාතුඔය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ක්‍රිෂාන්ත,දූෂණ මර්දන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩොනල්ඩ් අබේරත්න මහත්වරු ඇතුළු කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකරනු ලැබ තිබේ. පිටත සිට ජාවාරම මෙහෙයවූ ප්‍රධානියා අධිකරණයෙන් ලබාගත් රැඳවුම් නියෝගයක් මත රඳවා තබාගෙන ප්‍රශ්න කරන අතර සෙසු සැකකරුවන් 11 දෙනා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 18 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *