පර්චස් දොළහක හරිත ගීතය

“මගේ එක ගෙදරක උඩ තට්ටුව හදන්න ලක්ෂ විසි ගාණක් ගියා. ඒ සල්ලි මං හම්බ කළේ ගස් ලබු වගා කරලා. අනෙක් ගෙදර වැඩ ටික කරගන්න තව ලක්ෂ පහළොවක් විතර හම්බ කළා කාබනික ක්‍රමයට සුවඳැල් වී වගා කරලා. ඒ කටයුත්ත කළේ තවත් ගොවියො කාණ්ඩයක් එක්ක. ඇත්තටම දැන වෙළඳාම නොදැන ගොවිතැන කියන කතාව බොරුවක්. දැනගෙන ගොවිතැන් කරනවා නම් කිසිම පාඩුවක් වෙන්නෙ නැහැ දියුණුවක් මිස” මහියංගණය නගර සීමාවේ 18 කොලනියේ ජයසේකර තෘප්තිමත් මනෝභාවයකින් යුක්තව සිය අත්දැකීම් විදාරණය කරන්නේ ය. ඔහුගේ මව්පියන්ද ගොවිතැන ජීවිකාව කරගත්තෝ වූහ. මව්පියන්ගේ පාරම්පරික ගොවි ඥාණය හා නව කෘෂි තාක්ෂණික දැනුම මුසු කොට තිරසාර කෘෂි කර්මාන්තයක නිරත වීම ජයසේකරගේ අදහස විය.

ජයසේකර ගොවි මහතා

පසුකලෙක මධ්‍ය පරිමාණ පළතුරු ගොවියෙකු ලෙස තමන්ගේම ගොවිපළක කෙසෙල්, ගස්ලබු, අන්නාසි හා කොමඩු වැනි බෝග වර්ග වගා කිරීම ආරම්භ කළ ඔහු ඒවා තමන්ගේම රියකින් මහියංගණය හා අවට සති පොළවල් වෙත ගෙනගොස් යමක් උපයා ගන්නා සකසුරුවම් සහගත ගොවියෙකු විය. ඒ අතර ජයසේකර උත්සාහ ගත්තේ පාරිසරික ගොවිතැන පිළිබඳ ව්‍යාපෘති දියත් කළ රාජ්‍ය නොවන සංවිධානයක් ඇසුරේ පෙර කලෙක ලද අත්දැකීම් උපයෝගී කරගනිමින් තමන්ගේ වගාවන් කාබනික යෙදවුම්වලින් පෝෂණය කිරීමටයි. තමන් වගා කරන දෙමුහුම් බෝගයකට වුවත් නිර්දේශිත රසායනික වෙනුවට කාබනික පොහොර සහ තමන්ම නිෂ්පාදනය කළ දියර පොහොර භාවිතා කරමින් ඒවා දේශීයකරණය කරන්නට ජයසේකර උත්සාහ ගත්තේය. “ඇත්තටම මතයක් තිබ්බා ඔය රෙඩ්ලේඩි වගේ ගස්ලබු වර්ග ඇතුළු හයිබ්‍රිඩ් බෝග වවනවා නම් රසායනික පොහොරයි, කෘමි නාශකයි නැතුව බැහැ කියලා. මට වුවමනා වුණා ඒ මතය වෙනස් කරන්න. මං කාබනික පොහොර මගේ වගාවන්ට එකතු කළා. ඒ වගේම මමම අත්හදා බැලීම් කරලා හදාගත්ත දියර පොහොරත් භාවිතා කළා. ඇත්තටම ඒවගෙන් මං විස්මයජනක ප්‍රථිඵල ලබා ගත්තා. අස්වැන්න ඉහළ ගියා. වගා හානි අඩු වුණා. පළතුරුවල පෙනුම රසය වැඩි වුණා.” ඔහු එලෙස සිය ජයග්‍රහණ පිළිබඳ උදම් අනන්නේය.

ජයසේකර දිරිය ගොවියාගේ කතාවේ වටිනාම පරිච්ඡේදය එය නොවේ. ඒ කතාව ආරම්භ කළ යුතු වන්නේ කොවිඩ් 19 වසංගතය නිසා කළ සීමා කිරීම් සමඟය. ඒ සති ගණනාවක සීමාවාසිකය ජයසේකර වැනි බොහෝ දෙනෙකු සිය නිවෙස්වලට කොටු කළේය. ඔහුට නම් සතිපොළෙන් සතිපොළට පළතුරු රැගෙන යන වෙළඳාමද අහිමි වුණේය. එසමයේ රජය ජනයා ගෙවතු වගාවන්ට උනන්දු කරවන දැවැන්ත ප්‍රචාරණ ව්‍යාපෘතියක් ආරම්භ කළේය. කී තරමට යෙදවුම් දෙන්නට බලධාරීන් අපොහොසත් වුවද, යම්හෙයකින් අතිරික්ත අස්වැන්නක් නිෂ්පාදනය කෙරුණහොත් ගොවීන්ගේ ඉරණම තීන්දු වන්නේ කෙසේදැයි කියන්නට කෙනෙක් නොසිටියද බොහෝ දෙනෙකු රැල්ලට ගෙවතු වවන්නට පටන් ගත්තේය. අක්කර කිහිපයක ගොවිපොළෙන් මෙපිට මහියංගණය නගරය ආසන්නයේම දහඅට කොලනියේ නිවෙස අසළ හිස් ඉඩ ජයසේකරගේ ඇස ගැටුණේය.

හිත ඇත්නම් පත කුඩාද?

“ඒ වෙනකොට එතැන වල්වැදිච්ච හිස් බිමක්. හරියටම කියනවා නම් ඒක පර්චස් දොළහක කුණු ගොඩක් ඒහැටි ලකයක් පිළිවෙලක් තිබ්බෙ නැහැ. සමහරවිට අසල්වැසියන්ගෙ රොඩු බොඩුත් එතැන දාලා තිබ්බා. මට වුවමනා වුණා එතැන ආදර්ශ ගෙවත්තක් හදන්න. කාටත් ඇවිල්ලා බලන්න පුලුවන් විදියෙ කාබනික වගාවක් විදියට. මං ඒකෙදි තදබල විදියට හිතුවෙ කාබනික ගොවිතැන වගේම බෝග විවිධාංගිකරණය ගැන.”  එලෙස පවසන ඔහු මුලින්ම සිදු කර තිබුණේ එම පර්චස් දොළහක බිම් කට්ටිය වගාවට උචිත ලෙස සකස් කිරීමයි. පළමු පියවර එතෙක් එක්රැස්ව තිබූ ප්ලාස්ටික්, පොලිතීන් වැනි නොදිරන එහෙයින්ම මහ පොළවට බරක් වූ දෑ රැස්කොට ඉවත් කිරීමයි. නිසිපරිදි බිම සකස් කොට මාස් වැස්සට ඉඩ දුන් විට පොළව ඔහුට තෑගි එකිනෙක ලබා දෙන්නට විය. “මං වගාව පටන් ගත්තම ඒ වෙද්දි වැටිලා තිබ්බ බීජවලින් ගස්ලබු වාගෙ බෝග ඉබේ පැළ වෙන්න පටන් ගත්තා. ඒක අපූරු තෑග්ගක් නේ. ඊට පස්සෙ මං හිතුවා එළවලු, පළතුරු, බෙහෙත් ජාති, කුලුබඩු වගේ දේවල් වෙනවෙනම වවන්න. ඒක මිශ්‍ර වගාවක් කරන්න හිතුවෙ අපේ පැරණි හේන් සහ ගෙවතු තාක්ෂණය ගැන හිතලා. එහෙම වුණාම වගාවට රෝග පැතිරෙනවා අඩුයි.”

දෙමාසයක් ගතවන තැන නාගරික පරිසරයේ කුඩා බිම් කට්ටියකට ඉතාම උචිත අන්දමේ ගෙවත්තක් මැවූ නිර්මාණකරුවෙකු වන්නට ඔහු සමත් විය. එහි පළතුරු බෝග අතර විවිධ කෙසෙල් ප්‍රභේද අටකි. අන්නාසි, පේර සහ වැට ඉණිවල දැවටුණු කොමඩු, ෆැෂන්වැල් මහත් අසිරියකි. අල බෝග අතර මඤ්ඤොක්කා, බතල වර්ග දෙක තුනක්, රටල, ඉන්නල සහ වැල් අල වර්ගද, හුළංකීරියද වේ. එළවලු වර්ග වන දියලබු, පුහුල් වැල් හා වැටකොලු වැට කඩුලුවල එතී පලබරව ඇත්තේ හරිත ආරුක්කු ප්‍රවේශයේ මවමිනි. තිබ්බටු, එලබටු, තලනබටු, මිරිස් හා කොච්චිද, තවත් හේන් එළවලු බෝග රාශියක්ද මේ වගාවට එකතු කරගත් ඔහු පැඟිරි, සේර කහ ආදීව “ඉඟුරු දුරු ඈ යුතු” යන පද පෙළ සිහි ගන්වමින් කුලුබඩුද හෙළ ඔසුද රැසක් එබිම සිටුවා ඇත්තේය.

වචනයට එහා යන අරුතකින් සැබෑ ගෙවත්තක් මැවූ ජයසේකර ගොවි මහතාගේ ඇරයුමෙන් පසුගියදා අප එහි ආවේ ශ්‍රමයේ ඵල නෙළා ගත් මේ කතාව ජනගත කිරීමේ සාක්ෂිය වන්නටය. එදා ඔහු අසල්වැසියන් ඇතුළු සියයක පමණ පිරිසකට එහි ඇරයුම් කර තිබුණේ සැබෑ ගෙවත්තක් නිර්මාණය කරගන්නා අන්දම පිළිබඳ තමන් උපයා ගත් ඥානය ප්‍රායෝගිකව කියා දෙන්නටය. ආ හැමට එවිගස සංග්‍රහයකි. ඔහුගේ අස්වැන්නේ වට්ටක්කාද, මඤ්ඤොක්කාද, බඩ ඉරිඟුද, කව්පිද තම්බා සැර කොච්චි පොල්සම්බෝලයක් සමඟ කන්නට දී බෙලිමල් හා කිතුල් හකුරු බොන්නට දුනි. කන බොන අතර වගාව බලමින් ඇවිදින්නටද මහියංගණයේ පී.එච්.අයි මහත්තයාගේ කතාව අහන්නටද ඉඩ ලැබුණි. කඩෙන් කන මිනිස්සු ලෙඩ වෙන හැටිද, අපේ ගොවිතැන බිලිගෙන ඇති කෘෂි රසායන මාෆියාව ගැනද, විකල්පය වන සාර ගෙවත්ත ගැනද එහි අන්තර්ගත විය. කතා අහන වගාව ගැන ඉගෙන ගන්නා සැමට දවල් බතද එහිම විය. ඌවේ ආරට කොල්ලු හොදි, පළා කොළ, කොරළි බැදුම් සහිත විසිතුරු දවල් බොජුනක් කෙළවර අතුරුපසට කැවන්ඩීස් කාබනික කෙසෙල් හා ගස්ලබු ය. 

සරළ සිතැඟි තාක්ෂණය

මේ පර්චස් දොළහක බිම විස්ම ගෙවත්තක් වන්නේ ජයසේකර ගොවි මහතා භාවිතා කළ තාක්ෂණය නිසාය. ඔහු බොහෝවිට වැල් බෝග වවා තිබුණේ වැටට ය. නැතිනම් වියන් ස්ථරයක් මැවෙන ඇටවුමකය. කෙසෙල් බෝගය හැමතැන විසුරුවා තිබුණේ, වියළි මහියංගණයේ ගෙවත්තක තෙතමනය රඳවා ගන්නට කෙසෙල්වලින් උපකාරයක් ලැබෙන බව සිතමිනි. බෝග අතර දාස්පෙතියා සහ පැඟිරි කෘමි විකර්ශක බෝග වවා තිබුණි. ජෛව කුලුණුවල මෙන්ම කාබනික පොහොර කුලුණුවලද පළා වර්ග හා ඉදල් ඉරිඟු වර්ග වවා තිබුණි. පොල් පිති ඔලු වටකර හදාගත් පුලුල් බදුනක පළතුරකි. නැතිනම් බටු මිරිස් වැනි එළවලුවකි. ඇට බෝග අතර කුරුල්ලන්ට ලගින්නට ඉඩය. වගාව වටා දැලකි. අන්තිමේ එහි මැවී තිබුණේ එකම හරිත යායකි. ඒ හරිත යාය අතර හිඳ ඔහුගේ කාබනික පොහොරවල මෙන්ම දියර පොහොරවලද අගය වර්ණනා කළ ජයසේකර මහතා සමහර සංයෝගවල අන්තර්ගතයද විස්තර කළේය. ගඳපාන, දාස්පෙතියා, කොහොඹ පංචාගය, වදකහ, සුදු ලූනු කෘමින් මෙන්ම ඇතැම් දිලීරද, කුඩිත්තන් වැනි සතුන්ද, පණුවන්ද වගාවෙන් පළවා හරියි. ඒ කිසිවක් මිනිස් සිරුරට විෂ නොවේ. ලංකාවේ වැඩිම වකුගඩු රෝගීන් ගණනක් වාර්තා වන මහියංගණයට මෙන්ම මුලු රටටම මෙැවනි ගෙවත්තක් ආදර්ශයක් වන්නේ එහෙයිනි.

“දැන් මේ ගෙවත්ත හින්දා මං එළවලු පළා පොළෙන් ගේන්නෙ නැහැ. මේක කාට වුණත් කරගන්න පුලුවන්. මේ සමහර බෝග වැවුවෙ බඳුන්ගත වගාවන් විදියට. පොහොර කවරවල බතල ටිකක් හදා ගත්තම මාස තුන යනකොට වේල පිරිමහ ගන්න පුලුවන්. කිරිඅල පඳුරක් වුණත් එහෙම හදාගන්න පුලුවන්. මේ ගස්ලබු ටික කෙසෙල් කැන් ටික පීදෙන්න ගත්තම මට මාසෙකට රුපියල් විසිදාහක් විතර පහසුවෙන් අමතර ආදායමක් ගන්නත් පුලුවන්” යැයි පවසන ඔහු කොවිඩ් 19 කාලයේ පොත් පිංචක්ද ලියා ඇත. ඒ ගෙවතු වගාවෙන් කයත් මනසත් නිවා ගන්නා අන්දම පිළිබඳව හා සිය වගා තාක්ෂණය ගැනය. දැන් ඔහු ඔබට ඇරයුමක් කරයි. දරු පිරිවරද සමග සිය ගෙවත්ත නරඹන්නට එන්නැයි කියා කියන ඒ ඇරයුමේ ඵලය දන්නා දේ ඔබට තෑගි කිරීමයි.

ලසන්ත ද සිල්වා

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *