පඩි ප්‍රශ්නය දුර දිග යයි. කම්කරුවෝ වතු ලොක්කාට ගොම ගසති
මස්කෙළිය පොලිස් වසමට අයත් ඕල්ටන් වතුයායේ වතු අධිකාරිවරයාට සහ සහකාර වතු අධිකාරිවරයාට පහර දී ඔවුන් ගොම වතුර වලින් නෑව්වේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම වතුයායේ වතු කම්කරු කාන්තාවන් හත් දෙනෙකු සහ වතු කම්කරුවෙකු මස්කෙළිය පොලීසිය විසින් අද (18) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
වතු අධිකාරිවරයාගේ නිල නිවසට ඊයේ (17) ගොස් තිබෙන සැකකරුවන් ඇතුළු තවත් පිරිසක් නිවසට අලාභ හානි සිදුකර වතු අධිකාරිවරයාට සහ සහකාර වතු අධිකාරිවරයාට පහර දුන් බවට ලද පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
වතු කම්කරුවන්ගේ පහර කෑමට ලක්වූ බව කියන වතු අධිකාරිවරයා සහ සහකාර වතු අධිකාරිවරයා දික්ඔය මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
එම වතුයායේ වතු කම්කරුවන් රුපියල් දහසක වැටුප ලබාදෙන ලෙස වතු පාලන අධිකාරියට බලපැම් කරමින් ඉකුත් 03 දින සිට වැඩ වර්ජනයක නිරතව සිටිති.
වතුයායේ නෙළන ලද අමු තේ දලු තේ කර්මාන්ත ශාලාවේ ඇඹරීමට වතු කම්කරුවන් පිරිසක් බාධා කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වතු පාලන අධිකාරිය පසුගිය 03 දා ඔවුන්ට එරෙහිව මස්කෙළිය පොලිසීයට පැමිණිල්ලක් කර ඇත.
වතු අධිකාරිවරයා සහ සහකාර වතු අධිකාරිවරයා ස්ථාන මාරු සිදු කරන තෙක් තම තමන් වැඩ වර්ජනය කරන බව වතු කම්කරුවෝ පවසති. මෙම සිදුවීම මුල්කර ගනිමින් වතුකම්කරුවන් පිරිසක් වතු යායේ ක්‍රිඩාංගණය ඉදිරිපිට උද්ඝෝෂනයකද නිරත වූහ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව මස්කෙළිය පොලීසිය පැවසිය.