නේපාලයටත් යානයක්. සියලු සාක් රටවල සිටින ලාංකික සිසුන් සිය රටට

අද උදෑසන ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ. එල් 1424 යානය නේපාලයේ කත්මණ්ඩු නුවර බලා පියාසර කර තිබේ. ඒ උසස් අධ්‍යාපනය ලැබීමේ අරමුණින් එරට රැඳී සිටින කොවිඩ් 19 වසංගතය හේතුවෙන් කළ සීමාකිරීම් මත සිර වූ ලාංකික සිසුන් 93 දෙනෙකු නැවත කැඳවා ගෙන ඒම සඳහාය. අද සවස 04.45 ට යානය සිසුන්ද සමග නැවත දිවයින බලා පැමිණීමට නියමිතය. නියමුවන් සමඟ අටදෙනෙකුගෙන් යුක්ත ගුවන් කාර්ය මණ්ඩලයක් මෙහෙයුම සඳහා සම්බන්ධ වේ.
ජාතික ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා පවසන්නේ සාක් කලාපයේ රටවල් කිහිපයක සිරව සිටින මෙරට සිසුන් නැවත කැඳවා ගැනීම සඳහා ගුවන් ගමන් කිහිපයක්ම සිදු කිරීමට නියමිත බවයි. ඒ අනුව නුදුරේදී ඉන්දියාවේ කොයිම්බතූර්, මුම්බායි සහ බැංගලෝර් වෙතත් බංග්ලාදේශයේ ඩකා වෙතත් යානා පිටත්කර හරිනු ඇත. ඒ වෙනුවෙන් එම රටවල ගුවන්සේවා බලධාරීන් සමග සාකච්ඡා ආරම්භ කොට ඇත.