නුවරඑළිය වසන්ත සැණකෙළියේදී නගර සභා සේවකයන්ට මත්පැන් සාද

සෞඛ්‍ය නිර්දේශ නිසි පරිදි අනුගමනය කරමින් උත්සව පවත්වන ලෙස රජය දැනුම්දී තිබියදී නුවරඑළිය නගරාධිපතිවරයා ඒ කිසිත් මායිම් නොකර ග්‍රෙගරිවැව ආශ්‍රිතව අවුරුදු උත්සවයක් පැවැත්වූයේ රජය සහ ජනපතිරයා අපහසුතාවට පත් කිරීමටද යන සැකය මතුවන බවත් එහිදී  නගර සභාවේ ඇතැම් සේවකයින්ට මත්පැන් වලින් සංග්‍රහ කර තිබෙන බව වාර්තා වී තිබෙන බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා පවසයි.

එජාප පාලනය යටතේ නගර සභාව පවතින බැවින් තමන්ට එම සැකය මතුවූ බවත් මේ සම්බන්ධව මේවන විටත් මධ්‍යම පළාත් පළාත් පාලන ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවත් ඒ මහතා කීය. පළාත් ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පැවැති මාධ්‍ය හමුවකදී ලලිත් යූ ගමගේ මහතා මේ බව ප්‍රකාශ කළේය. වසන්ත සැණකෙළියට සහභාගි කරගන්නා ජන පිරිස සීමා කරගන්නා ලෙසත් නගර සභාවේ අවුරුදු උත්සවය නොපවත්වන ලෙසත් සෞඛ්‍ය අංශ දැනුම් දී තිබියදී නගරාධිපතිවරයා ඒ කිසිවක් ගණන් නොගෙන එම උත්සව පවත්වා තිබෙන බවද හෙතෙම අවධාරණය කළේය. නගර සභාවේ අවුරුදු උත්සවයට මුදල් සොයා ගත් අන්දම පිළිබඳවද ගැටලු මතුව තිබෙන බවත්  කී ආණ්ඩුකාරවරයා සෞඛ්‍ය නිර්දේශ කඩ කරමින් මෙලෙස වගකීම් විරහිතව නගරාධිපතිවරයා ක්‍රියාකිරීම නිසා කොවිඩ් ව්‍යාප්තියක් නුවරඑළියේ ඇතිවුව හොත් එහි වගකීම අවසානයේ පැවරෙන්නේ රජය වෙත බවද ප්‍රකාශ කළේය. නගරාධිපතිවරයාට තමන්ද දුරකතන මගින් අවස්ථා කිහිපයකදීම මේ සම්බන්ධව දැනුම් දුන් බවත් රටේ ව්‍යසන අවස්ථාවක් තිබියදී ඔහු වගකීම් විරහිතව ක්‍රියාකිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයේදී හෙළිවන කරුණු පදනම් කරගනිමින් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් හෙතෙම පැවසුවේය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.