නීති විරෝධි සංක්‍රමණ වැළැක්වීම සදහා වෙනම ඒකකයක් ක්‍රියාත්මක කොට මාස තුනකින් ප්‍රගතිය වාර්තා කරන ලෙස විශේෂ කාරක සභාවෙන් අදාළ අංශවලට උපදෙස්

නීතිවිරෝධී සංක්‍රමණ වැළැක්වීම සඳහා ‘ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකයක්’ (Safe Migration Promotion Unit) මාස තුනක නියමු වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කරන ලෙස ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් අදාළ පාර්ශ්වවලට උපදෙස් ලබා දෙන ලදී.
එම කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රිනි ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මියගේ සභාපතීත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මෙලෙස උපදෙස් ලබා දීම සිදුවිය.
2022 නොවැම්බර් මාසයේදී ඕමානයේ සිදුවූ බවට වාර්තා වූ මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග සමාලෝචනය කිරීම සඳහා මෙම රැස්වීම කැඳවා තිබුණි. කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ අධිකරණ අමාත්‍යාංශය යන ආයතනවල නිලධාරීහු රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
මේ අනුව මෙම ඒකකය පිහිටුවීමෙන් සංචාරක වීසා මත ගොස් පසුව රැකියා වීසා ලබාගෙන සිදු කරනු ලබන වංචනික ක්‍රියාවන් වැළැක්විය හැකි බව පෙන්වා දුන් කාරක සභාව මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර මාස තුනක කාලයකින් වාර්තාවක් ලබා දෙන ලෙසත් උපදෙස් දෙන ලදී.
කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශයෙන් සමන්විත විශේෂ කාර්ය සාධක බලකායක් හරහා මෙම ඒකකය ක්‍රියාත්මක කළ හැකි බවත් මෙහිදී සාකච්ඡා විය.
සංචාරක වීසා මත රැගෙන ගොස් ඕමානයේ රැකියා ලබා දෙන ව්‍යාජ ඒජන්තවරුන්ගෙන් අහිංසක ශ්‍රමිකයන් ආරක්ෂා කර ගැනීම සඳහා දැනට අත්හිටුවා ඇති, මීට පෙර ක්‍රියාත්මක වූ විරෝධතා නොමැති සහතික ක්‍රමය (No Objection Certificate) නැවත ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලෙසද කමිටුව විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියේය. මේ පිළිබඳව දැනටමත් ඕමාන රජය සමඟ සාකච්ඡා කර ඇති බවත් එය කඩිනම් කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යාංශයේ නිලධාරීහු පෙන්වා දුන්හ.
පිලිපීනයේ ක්‍රියාත්මක වන දිවුරුම් පෙත්සම් ක්‍රමය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන ලෙස ද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විදේශ රැකියා අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දිම සිදුවිය.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පනත සදහා වූ සංශෝධන කඩිනමින් සම්මත කර ගැනීමට අපේක්ෂා කරන බව ද එමගින් උප නියෝජිතයන්, අතරමැදියන් නියාමනය නිසිපරිදි සිදු කිරීම අපේක්ෂිත බවද නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ. එමෙන්ම විදේශ රැකියා සඳහා පිටත්ව යාමේදී ව්‍යාජ විදෙස් රැකියා නියෝජිතායතන විසින් සිදුකරනු ලබන වංචනික ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් දැනුවත් කරන ලෙස විශේෂ කාරක සභාව විදේශ සේවා නියුක්ති කාර්යාංශයට උපදෙස් ලබා දෙන ලදී.