නීතිය තුට්ටුවකට මායිම් නොකරන මාදම්පේ වැලි ජාවාරම

ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න

සුදු වතින් සැරසුණු පිරිසකි .  ඉන් ඇතැමෙකුගේ අතේ පොල් ගෙඩියක් ද තවත් කීප දෙනෙකුගේ අතේ දෙහි ගෙඩි සහිත පලතුරු වට්ටිද දක්නට ලැබිණි . මාදම්පේ කුඩිරිප්පුව දේවාලයට මේ පිරිස පැමිණ තිබුනේ දේව කන්නලව්වක් සදහායි . මේ දේව කන්නලව්ව සදහා  මාදම්පේ සුදුවැල්ල ,පොතුවිල , මුගුණුවටවන, හේනේපොල ඇතුළු මාදම්පේ ගම්මාන දහයකට ආසන්න ප්‍රමාණයකින්  ජනතාව එක්ව සිටියහ . පැයකට ආසන්න කාලයක් මේ යාතිකාව තිබුණාය.

” අනේ මේ ප්‍රදේශය භාර හැඩබණ්ඩාරගම  දෙවියනේ , තනියවල්ලභ දෙවියනේ , අපේ ගමේ,  ඒ කියන්නේ මාදම්පේ ප්‍රදේශයේ  මේ සිදුකරන පරිසර විනාශය පිලිබදව ඔබතුමන්ලාගේ  දෙනෙත් යොමු කර මේ විනාශයන්  සිදුකරන පුද්ගලයනට , ඊට අනුබල හා ඊට අවසර,  බලපත්‍ර  දෙන  හා ඉන් ජරාව ලබා  ගන්නා පුද්ගලයනට  හා දේශපාලකයනට  ආයේ මෙවැනි  පරිසර විනාශයන්  නොකරන්නට අවශ්‍ය දඩුවම්  කරනා ලෙස ඔබෙන් කන්නලව් කර ඉල්ලමු……..හා …හා…….ඔන් නමෝ……..”  කුඩිරිප්පුව දේවාලයේ කපු මහතා දෙවියන්ගෙන් ඉල්ලා සිටියේ මාදම්පේ ජනතාව ඉල්ලු සාධාරණයයි .

මේ දේව කන්නලව්ව නිමා වීමටත් පෙරම පොල් ගෙඩි තිහක් හතළිහක් එකට ගැටී කුඩුපට්ටම් වූ අතර පොල් ගැසුවන් පරිසර විනාශ කරන්නන්ට දෙවියන්ගෙන් දඩුවම්  ඉල්ලුවාය . ඒ සමග ක්‍රියාත්මක වූ කීප දෙනෙකු දෙහි  ගෙඩි කීපයක් මාදම්පේ ප්‍රදේශයේ හන්දි කීපයක  දැමුවේ මේ ප්‍රදේශයේ පරිසරය විනාශ කරන්නවුනට දඩුවම් දෙන ලෙස ඉල්ලමිනි .. ඉන් අනතුරුව සිදුවුයේ මේ සිදුවීම් මාලාවේ භයංකර සිදුවීමයි .  මේ කන්නලව්වට මුල්වූ කීප දෙනෙකු  මාදම්පේ සුසාන භුමියට ගොස්   එහි මිනී වලක් තෝරා ගෙන ඒ මත තබා පුහුලක් කපන ලදී .  ඉන් අනතුරුව එහි කොටස්  ප්‍රදේශයේ හන්දි කීපයකට දැමීමටද  මේ පිරිස කටයුතු කරන ලදී .මේ කාර්යයෙන්ද  මේ පිරිස බලාපොරොත්තු වුයේ මාදම්පේ පරිසරය විනාශ කරන්නවුනට හා ඊට අනුබල හා කප්පම් ලබා ගන්නා පුද්ගලයනට දැඩි දඩුවම් ය .

මේ දේව කන්නලව්ව සදහා ප්‍රදේශයේ විහාරස්ථානයක ස්වාමින්වහන්සේ නමක්  ද වැඩම කර සිටියහ . මීට අමතරව මේ ප්‍රදේශයේ පරිසරය රැක ගැනීමට මුල්වී  අවස්ථා කීපයකදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇප පිට සිටින  විශාල පිරිසක්  මේ අවස්ථාවට එක්ව සිටි අතර අවස්ථා තුනකදී පොලිස් අත්අඩංගුවට පත්ව ලක්ෂ තුනක ශරීර ඇප පිට සිටින මාදම්පේ සුදුවැල්ල ග්‍රාමයේ පදිංචි   සුරංග රත්නතිලක,  මෙවැනි කන්නලව්වක් කිරීම සදහා හේතු වූ කරුණු රැස්ව සිටි ජනතාවට පැහැදිලි  කලේ මෙලෙසයි  . ” මේ ප්‍රදේශයේ මේ වැලි ජාවාරම් වෙන්නේ අවුරුදු විස්සක ඉදලා . මේ නිසා මේ ප්‍රදේශයට විශාල හානියක් සිදුවුනා . දැන් දැන් සිදුකරන විනාශය මේ වසර විස්සට සිදුවූ විනාශයට වඩා ඉහලයි . මේ සිදුකරන  විනාශය පිලිබදව අපි කියන්න ඕනෑ  හැම තැනටම කිව්වා පලක් නොවුණු නිසා තමයි  අවසාන වශයෙන් මේ දෙවියනට කියන්න ආවේ .මේ ස්වාමින්වහන්සේ ඇතුළු අපි හතළිහකට වැඩි ප්‍රමාණයකට අධිකරණයේ නඩු තියනවා . ඒ මොකද අපි අපේ පරිසරය රැක ගන්න කටයුතු කරපු නිසයි .”

වයඹ පළාතේ  රජයට අයත්  ඉඩම්  කීපයක හා රක්ෂිත වලට යාබදව  වැලි හා බොරළු  ඛැනිම් සිදු වන්නේ අද ඊයෙක සිට නොවන බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි .හැඩබණ්ඩාරගම පදිංචි  ඩබ්ලිව් චන්දිමා ශිරෝමණි (42 ) පැවසුවේ වසර විස්සක පමණ කාලයක සිට  මේ ප්‍රදේශයේ සිදුවන මේ වැලි ව්‍යාපාර හේතුවෙන් මේ  ප්‍රදේශයේ පරිසරයට දැඩි හානි සිදුව ඇති අතර මේ නිසා සිදුව ඇති බරපතලම පරිසර හානිය වන්නේ  භූගත ජලය විනාශ වී යාම බවයි . ඇය  වැඩිදුරටත් කියා සිටියේ  මේ වන විට මේ ප්‍රදේශයේ   විශාල වලවල් රැසක් දැකගැනීමට හැකි අතර තවත් රැසක් අපද්‍රව්‍යය දමා වසා දමා ඇති බවයි . දිගින් දිගටම සිදු කරන මේ  විනාශය හේතුවෙන් මේ වන විට ප්‍රදේශයේ ජිවත් වන පුද්ගලයනට පානීය ජල ගැටලුවකට මුහුණ දීමට සිදුව ඇති බවද ඇය කීවාය  . චන්දිමා ශිරෝමණි පවසන ලෙස   වර්ෂා සමයේදී මේ වලවල් වලට ජලය එකතු වීම තුල තවත් සෞඛ්‍ය ගැටළු රැසක් පැන නැගී  ඇත . මිට  අමතරව මාර්ග අබලන් වීම , නිවාස ගිලා බැසීම , පරිසරයේ සමතුලිත බව නැති වී යාම ඇතුළු ගැටළු රැසකට මුහුණ දීමටද තමනට සිදුව ඇති බව ද  චන්දිමා කීවාය . චන්දිමා ශිරෝමණි පැවසූ ලෙස දේශපාලන අනුග්‍රහය ලබන ඉතා සුළු පිරිසක් මේ විනාශයන් සිදුකරමින් සිටී . ” ඒ දේශපාලකයන්ගේ නම් ගම් කියන්න බැහැ. කිව්වොත් එදාම ඉවරයි . ” චන්දිමා ශිරෝමණි වැඩිදුරටත් කීවාය.

හලාවත ප්‍රාදේශීය සභාව මගින් මේ වලවල් වලට කුණු බෑම සිදුකරන  වීඩියෝවක්  ද, වසරකට වැඩි  වැඩි කාලයක සිට   හේනෙපොල පාලම ගිලා බැසීම නිසා සිදුව ඇති මහජන පීඩාවත් , ප්‍රදේශයේ පානීය ජලය අපවිත්‍ර වී ඇති අයුරුද  චන්දිමා ශිරෝමණි විසින් මෙහිදී පෙන්වා දෙන ලදී  . විසදුමක් නොලැබීම හේතුවෙන් මාස කීපයක සිට ඇදී එන මේ බරපතල ගැටලුවට නීතියෙන් හෝ විසදුමක් ලබා ගැනීමට නොහැකි වී ඇත්තේ පරිසර ඇතුළු මේ වැලි ඛැනිම් වලට අවසර ලබා දෙන ආයතන මේ වැලි ව්‍යාපාර සිදුවන්නේ නිත්‍යානුකුල අයුරින් බව පෙන්වා දීම නිසයි .  වයඹ පළාතේ මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කොධ්ඨාශයේ පොතුවිල ග්‍රාම නිලධාරී වසමේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම සතුව තිබු ඉඩමක සිදුකරන මහා පරිමාණ වැලි ව්‍යාපාරය පිලිබදව මනාව සොයා බැලු  විට මේ තත්වය අවබෝධ වෙයි .

සුල මුල

පසුගිය දෙසැම්බර් මාසයේ මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදී භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ නිලධාරීන් ප්‍රකාශ කලේ හලාවත මාදම්පේ ප්‍රදේශය සිලිකා නමින් හදුන්වන ඛනිජ වැලි නිධි විශාල වශයෙන් පවතින ප්‍රදේශයක් බවයි .මේ රැස්වීම සදහා මාදම්පේ ගම්වාසීන් මෙන්ම  මාදම්පේ ප්‍රාදේශීය ලේකම් ,පොලිස් නිලධාරීන් මෙන්ම ප්‍රදේශයේ ආගමික ස්ථාන කීපයක නායකයන්ද එක්ව සිටියා.  මේ අවස්ථාවට එක්ව සිටි පොතුවිල ග්‍රාම සංවර්ධන සමිතියේ ලේකම්   ජානක සම්පත්(42) පෙන්වා දුන්නේ  සරුසාර පොල් වගාවන් පවතින මෙකී ප්‍රදේශයේ මෙම සිලිකා වැලි කණිනුයේ එකී පොල්වතු ආශ්‍රිතවම බවයි .  ජානක සම්පත්  වැඩිදුරටත් පෙන්වා දුන්නේ   පොතුවිල අක්කර 18 කොටස 1978 වසරේදී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් භූමි ප්‍රදේශයක් බවයි . එම අක්කර 18 ක ඉඩම, පසුව  ඉඩම් අහිමි පවුල් 18 කට අක්කරය බැගින් බෙදාදුන් අතර  ඒ සදහා මැදිහත්ව ඇත්තේ එවකට හලාවත පාර්ලිමේන්තු මන්ත්‍රීව සිටි   හරේන්ද්‍ර කොරයා මහතායි  . මෙම ඉඩම් ලාභීන්ගෙන්  පවුල් 3 ක් පසු කලෙක එම ඉඩම් කොටස්  විකුණා  දැම්මා . ඒ ඉඩම් මිලදී ගත්තවුන් විසින් මෙකී වැලි ජාවාරම සිදුකරමින් සිටිනවා  . මේ ඉඩම් ලබා දීමේදී ඔප්පුවේ පැහැදිලිව සදහන් වෙන්නේ  මේ ඉඩම් අන්සතු කල නොහැකි අතර මෙහි සිදුකල හැක්කේ  පදිංචිවීම හා වගාකිරීම  සදහා පමණක් බවයි . මෙහි ඇති ඛණිජ සම්පත් වල අයිතිය ඇත්තේ රජයට වන අතර ඒ සදහා හිමිකම් පෑමක් කිසිවෙකුට සිදුකල නොහැකි බවද එහි සදහන් වන බව පොතුවිල ග්‍රාම සංවර්ධන සමිතියේ ලේකම්   ජානක සම්පත් වැඩිදුරටත් පෙන්වා දෙන ලදී .  මේ අක්කර 18 ට අයත් ඉඩමක ට  රජයෙන් ලබා දී ඇති ඔප්පු  පිටපතක්ද   මාධ්‍යට ඉදිරිපත් කළේය.

පරිසර ඇමතිගේ නියෝග කැලේට

මාදම්පේ පොතුවිල සිලිකා වැලි කණින ප්‍රදේශයේ අප කළ සංචාරයේදී දකින්නට තිබූ දසුන් එකිනෙක සදහන් කරන විට එය කොතරම් සූක්ෂමව හා දරුණු ආකාරයෙන් සිදු කරන්නේද යන්න වඩාත් අවබෝධ කර ගත හැකි වනු ඇත. උක්ත භූමියේ තිබෙන පොල් ගස් කපා දමා මුඩු බිමක් බවට පත් කර තිබෙන අයුරු දක්නට ලැබිණි . මේ පිලිබදව කල විමසීමේදී පොතුවිල අක්කර 18  ඉඩමේ පදිංචි භාතිය ජගත් ප්‍රකාශ කලේ මේ ඉඩමේ  තිබු සරුසාර පොල් ගස් කපන අවස්ථාවේ ප්‍රදේශය භාර  ග්‍රාම නිලධාරීවරිය දැනුවත් කලත් පලක් නොවූ බවයි. ඒ ගැන සොයා බලන්නෙකු නොවීම කණගාටුදායක බවද භාතිය ජගත් පැවසීය . මේ වැලි ජවාරම සිදුවන ස්ථානයට යන  මග දෙපස  ගස් වල හා විදුලි කණුවල පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ පෝස්ටරයක්  අලවා තිබු අතර  එම පෝස්ටරයේ සදහන්ව තිබුණේ වයඹ පළාතේ පොල් ගස් කැපීම තහනම් කර ඇති බවයි . මහින්ද අමරවීර අමත්‍යවරයා ප්‍රධාන රජය උපහාසයට ලක් කිරීම සදහා මෙලෙස ගස්වල හා විදුලි කණුවල  මේ පෝස්ටරය ගම්වැසියන් විසින් අලවා ඇති බව ද ඊට හේතුව එකී පෝස්ටරයේ සදහන් තහනම් නියෝගය සිලිකා වැලි ජාවාරම්කරුවන් තුට්ටුවකටවත් මායිම් නොකිරීම නිසා බවද භාතිය ජගත් වැඩිදුරටත් පැවසීය .

මේ පිලිබදව කල විමසීමකදී පරිසර අමත්‍ය මහින්ද අමරවීර  කියා සිටියේ මාදම්පේ ජනතාවට ඇතිවී ඇති ගැටළු නිරාකරණය වන තෙක් අලුතෙන් බලපත්‍ර ලබා දීම නවත්වන ලෙස අදාළ ආයතන වලට උපදෙස් ලබා දී ඇති බවයි . අලුත් තත්වය පිලිබදව තමා දැනුවත් නොමැති බවද පරිසර අමත්‍යවරයා පැවසීය . ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෙම ඉඩමට විදුලිය සපයා තිබූ අතර එකී අධි සැර විදුලි රැහැන් ඇතැම් තැන් වලදී බිම දිගේ රැගෙන ගොස් තිබෙන බව පොතුවිල ග්‍රාමයේ පදිංචි ලසන්ත ප්‍රනාන්දු  (32 ) පැවසීය .ඔහු පැවසූ ලෙස   මේ විදුලිබල පද්ධතියේ ඇතැම් විදුලි රැහැන් පොල් ගස් වල රදවා  තිබේ .  මේ පිලිබදව තමන් විදුලිබල මණ්ඩලය ,මාදම්පේ පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතන කීපයක් දැනුවත් කලත් පලක් නොවූ බව ලසන්ත ප්‍රනාන්දු  වැඩිදුරටත් පැවසීය . ” පොඩි මනුස්සයෙක්  මල ගෙදරකට දාන ගෙදරකට  වයර් එකක් දාලා විදුලිය ගත්තොත්  විදුලිබල මණ්ඩලය විනාඩියෙන් ක්‍රියාත්මකයි . අද වෙන කොට මේ හොර වැඩේට මාස පහකට වැඩියි තාම කිසි කෙනෙක් ආවේ නැහැ බලන්න . මේ  විදුලිය අරගෙන තියෙන්නේ  සි .සි ටි .වී කැමරා සවි  කරන්න . “උක්ත ඉඩමේ බැකෝ යන්ත්‍රයක් ද තිබූ අතර  වැලි විශාල ප්‍රමාණයක් කපා ගොඩගසා තිබුණේය. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් ප්‍රදානය කල මෙම ඉඩමේ නිවෙස් සෑදීම හා වගා කිරීම  හැර වැලි, පස් හෝ සිලිකා වැලි කැණීමේ ඉඩක් අදාළ ප්‍රධාන පත්‍රයෙන් අවසර දී නැතත් මෙම වැලි කැණීමේදී එම නීති කිසිසේත් අදාල වී නැති බව ලසන්ත ප්‍රනාන්දු වැඩිදුරටත් පැවසීය .

ඒ අනුව එම ඔප්පු වල “එකී ඉඩම් කැබැල්ලට යාම හා ඒම සදහා වූ මාර්ග වල අයිතියක් යන දේපළ පැවරුම්ලාභියාගේ වාසය පිණිස නිවසක් ඉදිකර ගැනීම සදහා යොදාගනු වස් ” යනුවෙන් සදහන්ය . එලෙසම එම ඔප්පුවේ  මෙලෙසද සදහනක් ඇත. ” ඉහත කී කොන්දේසි නම්, එකී දේපළ එකී ගැනුම්කරු/කාරිය විසින් ඉහත කී ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 24(2) වගන්තියට යටත්ව එනම් ඔප්පුවේ සදහන් කාර්යට හැර වෙනත්  කාර්යයන් සදහා පාවිච්චි කරන අවස්ථාවකදී මෙම ඔප්පුව අවලංගු කිරීමේ බලය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට ඇති බවත් එසේ අවලංගු කිරීමේදී මෙම පවරාදීම අවසන් වන අතර මෙම ඉඩම නැවත ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතුවෙන බවත් මෙම දේපළෙහි ඇති ඛනිජ වස්තු වල අයිතිය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු බවත්ය .

” ඔන්න අපි මොනවා හරි කලොත්  අපිට නම් ඔය නීති රීති බලපායි ” ලසන්ත ප්‍රනාන්දු සිය හඩ නැවතත් අවදි කළාය .” අපි දන්නේ ,අපිට කියලා තියෙන්නේ ඉහත සදහන් කල කොන්දේසි   ප්‍රකාරව ඉඩම් ලාභී කිසිවෙකුට  වගාවක් , නිවාස ඉදි කිරීම් හැර අන් කිසිදු සංවර්ධන කටයුත්තක් මෙකී ඉඩම් වල සිදු කළ නොහැකියි කියලයි.” මේ පිලිබදව විදුලි බල මණ්ඩලයෙන් අවස්ථා දෙකකදී විමසා සිටි අතර එහිදී විදුලි බල මණ්ඩලයේ හලාවත ප්‍රධාන ඉංජිනේරු  නිලුපුල් අබේසිංහ ප්‍රකාශ කලේ මේ ඉඩමේ ඇද තිබු විදුලි සැපයුම විසන්ධි කල අතර මේ පිලිබදව පරීක්ෂණයක් පැවැත්වීම සදහා  අභ්‍යන්තර විගණක අංශය දැනුවත් කල බවයි .

රාජ්‍ය ආයතන හා නිලධාරීන් .

වැලි ඛැනිමක් සදහා  අනුමැතිය ඉල්ලීම සදහා භූ විද්‍යා හා පතල් කාර්යාංශය වෙත  යාමේදී  මුලික නිර්දේශ  ලබා ගත යුතු ආයතන කීපයක් තිබේ . ඉන් ප්‍රධාන වන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයි .ඒ හැර  අනෙකුත් ආයතන වන්නේ  සෞක්‍ය , ජල , මාර්ග , පරිසර හා අදාල ඉඩම රජයට අයත් එකක් හෝ අයත්ව තිබු  ඉඩමක් නම්  ඊට අදාල ආයතනයයි . ඒ අනුව මේ වැලි ඛැනිම සදහා ආයතන කීපයකින් අනුමැතිය ගෙන ඇති නමුත් අනුමැතිය ගත යුතු ප්‍රධානතම ආයතනය වන ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ අනුමැතිය ගෙන නොමැති  බව මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී තහවුරු වූ බව  මාදම්පේ පරිසරය රැකගැනීමේ එකමුතුවේ නායකත්වය දරන සුරංග රත්නතිලක පැවසිය . මිට අමතරව සන්ධ්‍යා හේරත් මාදම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරිය    මේ වැලි කැනීම සඳහා අනුමැතිය ලබා දී  නොමැත්තේ මේ තුලින් සෞඛ්‍යයට සිදුවන හානිය සදහන් කරමින් බවද සුරංග රත්නතිලක පැවසිය . මෙම ඉඩමේ සිලිකා වැලි කැණීම සදහා ජලසම්පත් මණ්ඩලය , භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය ,  මධ්‍යම   පරිසර අධිකාරිය   ලබා දී  ඇති බලපත්‍ර  මාදම්පේ පරිසරය සුරැකීමේ එකමුතුව සතුව තිබේ  . එම බලපත්‍ර ලබා දීමේදී ඒ ආයතන කොන්දේසි පනවා ඇතත් එම කොන්දේසි  උල්ලංඝනය  කරමින් මේ වැලි  ව්‍යාපාරය සිදුකලත්  අදාළ ආයතන නිහඩව සිටින බව මාදම්පේ පරිසරය සුරැකීමේ එකමුතුවේ  අනුශාසකත්වය දරන  මාදම්පේ සුදුවැල්ල ශ්‍රී සමයවර්ධනාරාමාධිපති  පුජ්‍ය මැදවච්චියේ සුමේධ හිමියන් පැවසුහ. උන්වහන්සේ පවසන ලෙස  මේ ඇති සුවිශේෂී කරුණ වන්නේ මේ වැලි ව්‍යාපාරය සදහා ප්‍රදේශය භාර  ග්‍රාම නිළධාරී හා මාදම්පේ ප්‍රාදේශීය ලේකම්  අදාළ නිර්දේශයන්  ලබා දුන් බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන් පැවසුවත් ග්‍රාම නිලධාරිනිය හා මාදම්පේ ප්‍රාදේශීය ලේකම් වරයා විසින් පවසන්නේ මේ වැලි ව්‍යාපාරය සදහා තමන් කිසිදු නිර්දේශයක් ලබා දී නොමැති බවයි . මිට අමතරව මධ්‍යම  පරිසර අධිකාරිය මේ සදහා නිර්දේශ ලබා දී ඇත්තේ මේ භුමියේ ගස් නොකපා මේ වැලි ව්‍යාපාරය සිදු කරන ලෙසයි. එහෙත් මේ ඉඩමේ පොල් ගස් ඇතුළු තවත් ගස් කීපයක් බිම හෙලා දැමුවේ මහ දවල් දෙනෝ දහාක් බලා සිටියදීයි . මාදම්පේ සුදුවැල්ල පදිංචිකරුවෙකු වන පසන් රූපසිංහ(49) මේ ගස් කපා දමන අවස්ථාවේ එම ස්ථානයේ සිට ඇති අතර ඔහු සතුව  පොල් ගස් බිම හෙළා දමන වීඩියෝවක්ද ඇත. මේ සදහා නිර්දේශ ලබා දුන්නේදැයි  මාදම්පේ ප්‍රාදේශීය  ලේකම් ඒ .එම්.සි.එම්. ප්‍රේමසුරිය ගෙන් කල විමසීමේදී ඔහු ප්‍රකාශ කලේ මේ සදහා කිසිදු නිර්දේශයක් තමන් විසින් හෝ ග්‍රාම නිලධාරිනිය විසින් හෝ  ලබා දී නොමැති බවයි . එහෙත් භූ විද්‍යා සමීක්ෂණ  හා පතල් කාර්යාංශයේ විශේෂ වැටලීම් ඒකකයේ ප්‍රධානී බුද්ධික ශිල්පරත්න   ප්‍රකාශ කලේ මේ ඉඩම වැලි කැනීම් සදහා නිදහස් කර ගැනීමේදී මාදම්පේ ප්‍රාදේශීය ලේකම්වරයා මේ ඉඩම රජයේ ඉඩමක් නොවන බවටත් මේ ඉඩමේ කිසිදු ගැටළුවක් නොමැති බවටත් ප්‍රකාශ කර ඇති බවයි . මාදම්පේ ප්‍රාදේශීය ලේකම් වරයාගේ නිර්දේශ ලැබී ඇති බවයි. මාදම්පේ ප්‍රාදේශීය ලේකම් වරයා ලබා දුන් නිර්දේශය පෙන්වන ලෙස ඉල්ලා සිටියත් ඔවුන් පෙන්වූ ලිපියේ එවැන්නක් නොතිබුණි . මේ සදහා  ජල සම්පත් මණ්ඩලයේ භූජල විද්‍යාඥ එච්. ඒ. ඩී. යූ හෙට්ටිආරච්චි විසින් 2020.06.25 දාකමින් යුතුවද ,  භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂක ජනරාල්ගේ  අත්සනකින් යුතුව 2020.11.09 දාකමින් යුතුවද , මධ්‍යම පරිසර අධිකාරියේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂක ඩී. එම්. කේ. දිසානායකගේ අත්සනකින් යුතුව 2020.07.02 දාකමින් යුතුව අදාළ බලපත්‍ර  හා නිර්දේශ නිකුත් කර තිබේ. අදාළ බලපත්‍රලාභියා නාත්තන්ඩිය කච්චිරාව 290/B හි පදිංචි ඒ. මෙරිල් රංජිත්  ප්‍රනාන්දුය .

මේ වැලි ව්‍යාපාරය සිදුකරන ඒ. මෙරිල් රංජිත්  ප්‍රනාන්දු ගෙන් කල විමසීමේදී ඔහු කියා සිටියේ තමන් මේ ව්‍යාපාරය සිදුකරන්නේ නිත්‍යානුකුලව බවයි . ප්‍රදේශයේ ජනතාව මේ වැලි ව්‍යාපාරයට විරුද්ධ වන්නේ තමන් ඔවුනට කප්පම් නොදෙන නිසා බවද හෙතෙම වැඩිදුරටත් පැවසිය . ඒ. මෙරිල් රංජිත්  ප්‍රනාන්දු පසුගිය මහා මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිවරයෙකු වූ බව සුදුවැල්ල ප්‍රදේශවාසීන් පැවසුහ. ”මට  ලබා දී ඇති බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරලා කියලා ප්‍රදේශයේ ජනතාව කියනවා  . මේ ගැටලුව අධිකරණ තුනක විභාග වෙනවා ජනතාවට පුළුවන් අධිකරණය ඉදිරියට ගිහින් මේවා කියන්න . ඇයි ජනතාව එහෙම නොකර මට  බොරු චෝදනා කරන්නේ . මම කිසි කොන්දේසියක් උල්ලංඝනය කරලා නැහැ .”

මේ පිලිබදව මුගුණුවටවන පදිංචි වංශවති  විජේසිංහ  ගොනු කල නඩුවක්   හලාවත මහේස්ත්‍රාත් අධිකරණයේද, වැලි ව්‍යාපාරිකයෙකු වන හෙට්ටිආරච්චි නැමැත්තා ගොනු කල  අභියාචනයක්  කුරුණෑගල අභියාචනා මහාධිකරණයේද , පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කල අභියාචනයක්  කොළඹ අභියාචනාධිකරණයේද විභාග වේ.  ඒ.  මෙරිල් රංජිත් ප්‍රනාන්දු  ප්‍රධාන මාදම්පේ ඇතුළු අවට ප්‍රදේශවල වැලි ව්‍යාපාර සිදුකරන පිරිසක් එක්ව පසුගිය දිනක උද්ගෝෂණයක් ද සංවිධානය කර තිබිණි .මෙහිදී  ඒ. මෙරිල් රංජිත්  ප්‍රනාන්දු වැඩිදුරටත්  ප්‍රකාශ කලේ නිදහසේ වැලි ව්‍යාපාර කරගැනීමට ඉඩ ලබා දෙන ලෙස වගකිවයුත්තන්ගෙන් ඉල්ලීම සදහා තමන් මේ උද්ගෝෂණය සිදු කරන බවයි .

බලපත්‍රය කොන්දේසි කැඩීමට එරෙහිව ගම්මුන්ගේ විරෝධය

ඒ.  ප්‍රනාන්දු මෙරිල් රංජිත්  සිලිකා වැලි කැණීම් සිදුකළ ද එය සිදු කරන්නේ  බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් බවට ගම්මුන්ගෙන් චෝදනා එල්ල වන්නේ මේ අතරය . මාදම්පේ ගම්මාන දහයකට ආසන්න ගණනක , දාහස් ගණනක ජනතාවක් අවස්ථා දෙකකදී මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටකරමින් මෙයට විරෝධය දක්වන අතර අවස්ථා දොළහකදී ප්‍රදේශයේ මංමාවත් වසා ගනිමින් විරෝධය දක්වයි . එක් අවස්ථාවක මාදම්පේ පොලිසිය ඉදිරිපිටට පැමිණෙන මේ ජනතාව නීතිය ඉටුකරන ලෙස ඉල්ලමින් උද්ගෝෂණයක ද නිරත වෙයි . මින් නොනවතින මේ ජනතාව පොතුවිල  ග්‍රාම සංවර්ධන සමිතියේ ලේකම්  ජානක සම්පත්ගේ  අත්සනින් සහ ගම්වාසී පවුල් 288 කගේ අත්සනින් යුතුව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර අමතා සිය විරෝධය දක්වා ලිපියක්  යැවීමටද කටයුතු කරයි  .  මේ ලිපියෙන් කියන්නේ ප්‍රදේශයේ පරිසරයට මේ වැලි කැනීම් හේතුවෙන් සිදුව ඇති විනාශයයි . එම ලිපියේ පිටපත් මාදම්පේ ප්‍රාදේශීය ලේකම් , භූ විද්‍ය හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් , මාදම්පේ  පොලිස් ස්ථානාධිපති , පුත්තලම දිස්ත්‍රික් ලේකම් , හලාවත ප්‍රාදේශීය සභාවේ සභාපති, පළාත් පරිසර අධිකාරියේ අධ්‍යක්ෂක, පරිසර අමාත්‍යවරයාගේ ලේකම් , සෞඛ්‍ය සේවා නිලධාරි මාදම්පේ යන අයටද යවා ඇත . මෙම ලිපියෙ මිට  පෙර මෙම ප්‍රදේශයේ සිදුකර ඇති අයථා වැලි කැණීම් පිළිබඳව තොරතුරු ඇතුළත් කර ඇති අතර ඒ. මෙරිල් රංජිත්  ප්‍රනාන්දු නමැති වැලි ඛැනීම් බලපත්‍ර ලාභියා  විසින්  මේ ස්ථානයේ වැලි ඛැණිම සදහා පොල් ගස් කැපීම සිදු කර ඇති බවට ද දැනුම් දී තිබේ . මේ පොල් ගස් කැපීම පිලිබදව ඒ. මෙරිල් රංජිත් ප්‍රනාන්දු නමැති ව්‍යාපාරිකයාගෙන් කල විමසීමේදී කියා සිටියේ  පොල් ගස් කැපු බව තමන් පිළිගන්නා බවයි . පොල් ගස් කැපීම නීතියෙන් තහනම් කර නොමැති බවද ඔහු පෙන්වා දෙන ලදී .

මේ ප්‍රදේශයේ සිදුකරන නීති විරෝධී වැලි ඛැණීම් පිලිබදව  කිසිදු නිලධාරියකු කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන තිබූ පසුබිමක ඒ.  ප්‍රනා මෙරිල් රංජිත් ප්‍රනාන්දු නමැති බලපත්‍රලාභියා  ද සිලිකා වැලි   දිගින් දිගටම ඛැණීම් සිදුකරගෙන යමින් තිබෙන බව මාදම්පේ ප්‍රදේශයට පැමිණෙන ඕනෑම අයෙකුට දැකිය හැක   . මේ පිලිබදව මාදම්පේ ගම්වැසියන් අවස්ථා කීපයකදී  මාදම්පේ  පොලිස් ස්ථානයට ගොස් පැමිණිලි කලත් ඉන් සධාරණයක් නොවූ බව ගම්මු පැවසුහ  . මාදම්පේ පදිංචි රන්ජිත් ප්‍රනාන්දු(43) කියා සිටියේ තමන් මාදම්පේ පොලිසියට දැමු පැමිණිලි විභාගයකින් තොරවම අධිකරණය වෙත යොමු කල බවයි .”  අපි  පොලිසියට යන්නේ  මේ ක්‍රියාදාමය නීතිවිරෝධී කියලා පැමිණිලි කරන්න .පොලිසියට ගියාම පොලිස් නිලධාරීන් කරන්නේ ඔයාට විරුද්ධව වැලි ව්‍යාපාරිකයාගෙන් පැමිණිල්ලක් තියනවා කියලා අපිව අධිකරණයට යොමු කරන එක ” රන්ජිත් ප්‍රනාන්දු වැඩිදුරටත් පැවසිය . මේ පිලිබදව කල විමසීමකදී  මාදම්පේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අබේනායක  කියා සිටියේ වැලි සම්බන්ධ ලැබුණු සියලු පැමිණිලි අධිකරණය වෙත යොමු කර ඇති බවයි . මේ වැලි ව්‍යාපාර හේතුවෙන්  ප්‍රදේශයේ  ජනතාව ට සිදුවන විනාශය බරපතල වීම මත ජනතාව මේ ව්‍යාපාර වෙත දක්වන විරෝධයද වැඩි විණි . මෙහි බරපතල  සිද්ධිය ඇති වන්නේ 2020 දෙසැම්බර් තිස් වෙනිදා ය . එදිනද   ප්‍රනාන්දු නමැති වැලි ව්‍යාපාරිකයා සුදානම් වුයේ පොතුවිල ග්‍රාමයේ අක්කර 18 සිලිකා වැලි ඛැණීමට ය .  ඒ වන විට පොලීසියද  ග්‍රාම නිලධාරීනියද එම ස්ථානයට පැමිණ සිටි අතර ගම්මුද එම ස්ථානයට පැමිණ සිටියේ වැලි කැණීම සදහා විරෝධය දැක්වීමටයි.මෙහිදී ගම්මුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වූ අතර ඒ හේතුවෙන්ම එදින වැලි ඛැණීම් නතර  කිරීමට සිදුවිණි . මේ සිදුවීම විස්තර කල මාදම්පේ සුදුවැල්ල පදිංචි  නයනා කාන්ති   “මේ සිද්ධිය වන විටත් වැලි ව්‍යාපාරිකයා ඒ ස්ථානයේ සිටියා. නමුත් මාධ්‍ය හෝ ගම්මුන් ඒ ස්ථානයෙන් ඉවත් කරන්න කියලා ඔහු පොලිසියටවත් ග්‍රාම නිලධාරිනියටවත් දැනුම් දුන්නේ නැහැ . එත් මේ ව්‍යාපාරිකයා එදිනම මාධ්‍යවේදියෙකුට හා ගම්මුන් කීප දෙනෙකුට විරුද්ධව ඉඩමට බලෙන් ඇතුළු වුනා කියලා මාදම්පේ පොලිසියට පැමිණිලි කරලා තියෙනවා . 2021 අවුරුද්දේ ජනවාරි පළවෙනිදාම ඒ මාධ්‍යවේදියාවත් අපිවත් පොලිසියට ගෙන්වූවා. නමුත් එදින පොලිසිය පැමිණ සිටි අයගෙන් කිසිම ප්‍රකාශයක් ලබා  ගත්තේ නැහැ. අවුරුද්දේ පළමුවෙනිදාම නීතියට ගරු කරමින් අපි පොලිසියට ගියත් ඔවුන් අපිට තර්ජන පවා එල්ල කළා . ’’

මාදම්පේ සුදුවැල්ලේ ශ්‍රී සමයවර්ධනාරාමාධිපති මැදවච්චියේ සුමේධ හිමියන් ගැමියනට සිදු වූ අසාධාරණය සම්බන්ධයෙන් නිරන්තරයෙන්  පෙනී සිටින අතර  වැලි ව්‍යාපාර වලට  විරුද්ධ වීම හේතු කොට ගෙන උන්වහන්සේටද මේ වන විට   අධිකරණයේ නඩු කීපයක් වැටී තිබේ .සුමේධ හිමියන්  පවසන්නේ මේ ප්‍රදේශයේ ජනතාව දිගින් දිගටම පීඩාවට පත්කරමින් වැලි ජාවාරම් කරුවන් කටයුතු කරන බවයි . මේ විනාශයට මුල ජනතාවගේ පාර්ශ්වයෙන් බලන ඒ ගැන හිතන නිලධාරීන් නැති වීමයි  . මේ ඛැණීම් සදහා බලපත්‍ර ලබා ගත්තද ඒවායෙහි කොන්දේසි ආරක්ෂා කිරීමක් කිසිදා සිදු වෙලා නැහැ .ඒ නිසයි අපි කියන්නේ මේක නීති විරෝධී වැඩක් කියලා . අපිට අධිකරණය ගැන ලොකු විශ්වාසයක් තියනවා නමුත් මේ කරුණු ටික අපිට අධිකරණයට ඉදිරිපත් කරන්න  විදිහක් නැහැ . ඒ නිසා දැනට අධිකරණයට ගිහින් තියෙන්නෙත්  භූ විද්‍යා හා පතල් කාර්යාංශය අනුමැතිය දුන් නිත්‍යානුකුල ව්‍යාපාරයකට අපි අකුල් හෙලනවා කියලයි . මාදම්පේ සුදුවැල්ලේ ශ්‍රී සමයවර්ධනාරාමාධිපති  මැදවච්චියේ සුමේධ හිමියන් වැඩිදුරටත් පැවසුහ .

නිතිය නොතකනවාද?

මාදම්පේ ප්‍රාදේශීය ලේකම් ඒ .එම්. සි.එම් ප්‍රේමසුරිය මහතාගෙන්  මාදම්පේ වැලි ව්‍යාපාර පිලිබදව   ගැන විමසූ විට පැවසූයේ තමන් මෙම වැලි බලපත්‍ර ලබා දීම සඳහා කිසිදු නිර්දේශයක් ලබා දී නැති බව ය . එහෙත් 2020.12.14 දින හිමිනමක හා එක්ව ගම්මුන් විසින් සිදුකළ විරෝධතාවය නිසා එදිනම බලපත්‍ර නිකුත් කළ ආයතන වලට දන්වා යැව්වේ මෙම බලපත්‍ර තාවකාලිකව නවත්වා වහා  ස්ථානීය පරීක්ෂණයක් සිදු කළ යුතු බවටය .  මිට අමතරව මේ වසරේ මාර්තු මස 31 වැනි දින හා අප්‍රේල් මස පළමු දිනද  මාදම්පේ ප්‍රාදේශීය ලේකම් වරයා විසින් භූ විද්‍යා හා පතල්  කාර්යාංශයේ  වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්  ඉංජිනේරු ඩි සජ්ජන ද සිල්වා ට දැනුම් දී ඇත්තේ කාර්මික ඛැණීම් බලපත්‍ර අංක  IML/C/HO/N/14/352 සම්බන්ධයෙන් නඩු අංක CUWRA/53/63/2021 යටතේ අධිකරණයේ නඩුවක් විභාග වන බැවින් ඒ පිලිබදව සුදුසු පියවරක් ගන්නා ලෙසයි. මෙම ඉඩම්වල සිලිකා වැලි ඛැණීම් සඳහා අවසර ලබාදී තිබේදැයි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමෙන් විමසනු ලදුව එහි පුත්තලම දිස්ත්‍රික් වැඩ බලන අධ්‍යක්ෂිකා  රසිකා ප්‍රියංගනී  කියා සිටියේ අදාල විස්තර ලබා ගැනීමට නම් තොරතුරු පනත යටතේ ඉල්ලා සිටින ලෙසටය. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත්   පුද්ගලයන් තුන්දෙනෙකුට අයත්ව තිබු මාදම්පේ ඉඩම් කට්ටි තුනක් එක් පුද්ගලයෙකු විසින්   එම පුද්ගලයන්ගෙන් මිලදී ගෙන මහා පරිමාණ වැලි ව්‍යාපාරයක් සිදුකර පරිසරයට බරපතල විනාශයක් කරද්දී නිහඩව සිටින ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ පුත්තලමේ නිලධාරීන් පල්ලම  පුලියන්කුලමේ  ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම විසින් පුද්ගලයන් විසිපස්දෙනෙකුට ලබා දුන් ඉඩම්  කැබලි විසිපහක්  පුද්ගලයෙකු විසින් මිලදී ගෙන  සාර්ථක පොල් වගාවක් කර තිබියදී එම ඉඩම් කැබලි නැවත පවරා ගැනීමට කටයුතු කරමින් සිටි .  ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ පුත්තලමේ වැඩ බලන  අධ්‍යක්ෂිකා  රසිකා ප්‍රියංගනී කියන්නේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත්  ඉඩම් මෙලෙස විකුණා දැමිය නොහැකි බවයි .

සිදුවීම් ගණනාවක්

රක්ෂිත ආසන්නයේ  යම් ව්‍යාපාරයක් සිදුකිරීමේදී ඒ සම්බන්ධයෙ පරිසර බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය කරුණකි . මාදම්පේ පනිරෙන්ඩාව රක්ෂිතය ආසන්නයේ මේ වනවිටත් බරපතල පරිසර  විනාශයක් සිදුවෙයි . මේ පිලිබදව විස්තර කල වයඹ හඬ පරිසර සංවිධානයේ පුත්තලම දිස්ත්‍රික් සංවිධායක අජිත් ගිහාන්(45) ,  “මේ රක්ෂිතය ආසන්නයේ විශාල වශයෙන් බොරළු කපනවා . අඩි තිහක් හතළිහක් ගැඹුරට බොරළු කපනවා. මේ වෙද්දී රක්ෂිතය සෝදා පාලුවට ලක් වෙලා මේ වලවල් වලට පස් සෝදා ගෙන ඒමට පටන් ගෙන තිබෙනවා . ඒ විදියට සෝදා ගෙන එන පස් නැවත සෝදා වැලි වලට විකිණීමේ ව්‍යාපාරයක්ද මේ වෙද්දී සිදු කරනවා .”

මිට අමතරව හලාවත වැවිලි සමාගමට අයත් මාදම්පේ වතු කලාපයට අයත් හීන්වැලියාගාර  වත්තේ  මේ වන විට මහා පරිමාණ වැලි ඛැණීමක් සිදු වෙයි . මුලින් වැවක් සෑදීමේ මුවාවෙන් සිදුකෙරුණු මේ ව්‍යපාරය මේ වන විට ඉන් එහා ගොස් තිබේ . මේ වන විට අක්කරයක පමණ ප්‍රදේශයක අඩි දහයකට පමණ ආසන්න වැලි ඉවත් කර ඇත . මෙවැනි සිදුවීම් ගණනාවක් ඇතත් ඒ සියල්ල  වසා දැමීමට නිලධාරීන් කටයුතු කර ඇත . මේ පිලිබදව පෙන්වා දීමෙන් පසු හලාවත වැවිලි සමාගමේ සභාපති ජූඩ් රූකාන්ත පෙරේරා කියා සිටියේ  වහාම හීන්වලියාගාර වත්තේ සිදුකරන සංවර්ධන කටයුතු තාවකාලිකව නවතා දමන බවයි . මෙහි වංචා සිදුවන බවද හලාවත වැවිලි සමාගමේ සභාපතිවරයා පිළිගන්නා ලදී .

ඇමති අණ

මාදම්පේ පොතුවිල ප්‍රදේශයේ සිදුකරන වැලි  ව්‍යාපාරය නතර කරන ලෙස ඉල්ලමින්  ගම්වැසියන්  අවසන් විරෝධය දැක්වුයේ පසුගිය නවවන දිනයි . ඒ අවස්ථාවේ මහා පරිමාණ ලෙස වැලි ඛැනිම් ආරම්භව තිබු අතර එහිදී ගම්වාසියෙකු  පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ගෙන් මේ පිලිබදව දුරකතනයෙන් විමසීමක් කරන ලදී . එහිදී අමත්‍යවරයා කියා සිටියේ මේ පිලිබදව  තමන් කිසිවක් නොදන්නා අතර මේ සදහා බලපත්‍ර ලබා දෙන ලෙස තමන් අදාළ ආයතන දැනුවත් කිරීමක් කර නොමැති බවයි .  මුල සිටම මේ ව්‍යාපාරය සිදුවන්නේ වංචා සහගතව බව මේ ලිපියෙන් ඔප්පු කර තිබේ ඊට හොදම නිදසුන වන්නේ මධ්‍යම පරිසර අධිකාරිය ගස් නොකපා වැලි කපන ලෙස ලබා දුන් නියෝගය කඩ කර තිබීම , සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිර්දේශය නොමැති වීම , පොතුවිල ග්‍රාම නිලධාරී නිර්දේශය හා මාදම්පේ ප්‍රාදේශීය ලේකම් නිර්දේශය නොමැති වීම සදහන් කල හැක . ඒ අනුව ඉතා පැහැදිලිව කිව හැක්කේ මේ සිදුවන්නේ ජාවාරමක් බවයි. .

 

 

 

 

 

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.