නීතියට පිටුපාන්න බැරි නිසා නාමයෝජනා දෙනවා. ඒත් රැස්වීම් නැහැ – මහින්දානන්ද.

මහ මැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කයෙන් අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකි බවත් ඒ සඳහා ඉතා ශක්තිමත් කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට හැකිව තිබෙන තිබෙන බවත් එම පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් නායක මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
මැතිවරණ නීතියට අනුව මෙම මස 19 දිනට ප්‍රථම නාම යෝජනා ලබාදිය යුතුව තිබෙන නිසා එම කටයුත්ත සිදු කළද මැතිවරණ ප්‍රචාරක රැස්වීම් තාවකාලිකව අත්හිටුවීමට සියලු අපේක්ෂකයින් එකඟතාවකට පැමිණ සිටින්නේ යැයිද ඒ මහතා කීය.
මෙවර මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් නාම යෝජනා පත්‍රය මහනුවර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී වෙත ඊයේ (17) බාර දීමෙන් අනතුරුව මාධ්‍යය හමුවේ අදහස් දක්වමින් අලුත්ගමගේ මහතා මේ බව පැවසුවේය.
මැතිවරණයට වඩා මේ අවස්ථාවේ කොරෝනා වෛරසය පැතිර යාම නිසා රට පත්ව තිබෙන අවාසනාවන්ත තත්ත්වයෙන් ගොඩ ඒමට ප්‍රමුඛතාව ලබාදිය යුතුව තිබෙන බවත් සියලු තීන්දු තීරණ ගනු ලබන්නේ ජනතාවගේ යහපත ගැන සිතා බවත් කී ඒ මහතා නාම යෝජනා ලබා දුන්නත් මැතිවරණ ප්‍රචාරක කටයුතු අත්හිටුවීමට සියලු අපේක්ෂකයින් එකඟ වී සිටින්නේ ඒ නිසා බවද අවධාරණය කළේය.
රජය ගනු ලබන ඕනෑම තීන්දුවකට යටත්ව කටයුතු කරන බවත් මැතිවරණයක් ප්‍රකාශයට පත්කළ පසු නාම යෝජනා ලබා නොදී සිටිය නොහැකි බවත් හෙතෙම අවධාරණය කළේය.
මහනුවර දිස්ත්‍රික්කය තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවත් ඔවුන්ගේ අපේක්ෂකයින් දෙදෙනෙකුට නාම යෝජනා ලබාදී තිබෙන බවත් හිටපු ඇමැතිවරයා කීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා සන්ධාන ගතව සිටින සෙසු පක්ෂ වලටත් අවස්ථාව ලබාදිය යුතු නිසා නාම යෝජනා ලැයිස්තු සකස් කිරීමේදී ගැටලු මතුවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිස්ත්‍රික්ක තුනක් සඳහා වැඩිපුර අපේක්ෂකත්ව ඉල්ලා තිබෙන බවත් කී ඒ මහතා අදාළ ගැටලුව පිළිබඳව පවත්වන සාකච්ඡා සාර්ථකව අවසන් වනු ඇති බවද අවධාරණය කළේය.
මෙවර මහනුවර දිස්ත්‍රික්කය සඳහා ශ්‍රීලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නාම යෝජනා ලැයිස්තුවට මහින්දානන්ද අලුත්ගමගේ,කෙහෙළිය රඹුක්වැල්ල,ලොහාන් රත්වත්ත,දිළුමු අමුණුගම,සරත් ඒකානයක,අනුරාධ ජයරත්න,ආනන්ද අලුත්ගමගේ,එරික් වීරවර්ධන,තිලක් රාජපක්ෂ,වසන්ත යාපා බණ්ඩාර,හසිත ඒකනායක,උදයන ශ්‍රී කිරිදිගොඩ,ෆාරිස් හාජ්ජියාර්,බරත් අරුල්සාමි,චන්ද්‍රිකා සේනාරත්න යන අය ඇතුළත්ව සිටිති.