නිවාඩු ගිය නාවිකයින් සමඟ කොරෝනා ගමට ගිය හැටි.

 නිවාඩු ගිය නාවිකයින් සමඟ කොරෝනා ගමට ගිය හැටි.

අද (25) මේ වනවිට මෙරට කොවිඩ් 19 රෝගයට ගොදුරු වූ සමස්ත රෝගීන් ගණන 452 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඒ අතර අද සන්ධ්‍යාව වනවිට සුවය ලැබ නිවෙස් වෙත ආපසු ගිය 07 දෙනෙකු සමග සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 116කි. අප්‍රේල් 24 එනම් ඊයේ දිනයේ දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම රෝගීන් ගණන සටහන් වූ අතර ඉන් සැළකිය යුතු පිරිසක් වැලිසර නාවික කඳවුරෙහි සේවය කළ නැවියන් හෝ නාවුක භටයන් වීම විශේෂත්වයකි. එමනිසා වැලිසර නාවුක කඳවුර වසා දැමුණු අතර එහි සිටි පිරිසද, නැවත කැඳවූ නිවාඩු ගිය භටයන්ද නිරෝධායනයට ලක් කළ අතර රෝගය වැළඳී ඇති බව තහවුරු වූ සෙබළුන් අයි.ඩී.එච් රෝහල වෙත යැවීමට කටයුතු කර ඇත.
කෙසේවුවද මෙම භටයින් දිවයිනෙහි ප්‍රදේශ කිහිපයකට සංචරණය කර ඇති හෙයින් ඔවුන් කොවිඩ් රෝගීන් බව සනාථ වූ ප්‍රදේශවල සමීපව ඇසුරු කළ පිරිස් ස්වයං නිරෝධායනයට යොමු කිරීම සඳහා සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ. මොනරාගලින් වාර්තා වූ ආසාධිත භටයා හැරුණු කළ එම දිස්ත්‍රික්කයෙන් හමුවූ තවත් භටයෙක් හට රෝගය වැළඳී ඇතැයි සනාථ වී ඇතැයි අපගේ තොරතුරු මූලාශ්‍ර ප්‍රකාශ කරයි. බදුල්ල දිස්ත්‍රික්කයෙන්ද රෝගියෙකු වාර්තා වී ඇත. මේ සියලු දෙනා ඇසුරු කළ පිරිස් වෙත සෞඛ්‍ය අංශවල අවධානය යොමුව තිබේ.

වැලිසර කඳවුරේ නාවිකයන් අතර රෝගය පැතිර යාමට හේතුව ඔවුන් ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ ආසාදිතයින් යැයි සැකකළ පිරිස් සොයා මෙහෙයුම්වල නිරතවීම බව යුධ හමුදාපතිවරයා පැවසුවේය. කෙසේවෙතත්, මුල්ම රෝගී නාවික සෙබළා හමු වූයේ පොළොන්නරුවෙන් වන අතර ඔහු සහ එම කඳවුරේම සේවය කරමින් සිට පොළොන්නරුවට පැමිණි නාවික භටයින් 09 දෙනා ඇසුරු කළ හා ඒ සම්බන්ධ කවයේ පිරිස 578ක් අද දිනය වනවිට නිරෝධායනයට යොමු කර තිබේ. පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සරත් ජයසිංහ මහතා පැවසුවේ, මේ වනවිට ගම්මාන 12ක් හුදෙකලා කර ඇති අතර රෝගී සෙබළා පැමිණි ලොරි රථයේ රියදුරා හා සහායකයා ඇතුළුව ත්‍රිරෝද රථ රියදුරන් කිහිප දෙනෙකුද නිරෝධායනයට යොමු කර ඇති බවයි. දැනට පවුල් 126 කට අයත් පිරිස් මෙසේ නිරෝධායනයට ලක් කර ඇතැයි පවසන වෛද්‍ය සරත් ජයසිංහට අනුව සෙබළුන්ගේ සහ තවත් තිදෙනෙකුගේ ජෛව සාම්පල පී.සී.ආර් පරීක්ෂණ සඳහා යවා ඇත. හුදෙකලා කර ඇති ගම්මාන සහ නිරෝධායනයට ලක්කර අැති පිරිස පිළබඳ විස්තර වාර්තාව පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයා වෙත යැවීමෙන් අනතුරුව අවශ්‍ය ඉදිරි පියවර ගැනෙනු ඇතැයි සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා පවසනවා.
ඒ අතර ගොඩකවෙල, නෙල්ලිවෙල සහ අවිස්සාවේල්ල ප්‍රදේශවල නාවික සෙබළුන් තිදෙනෙකුද අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කර තිබේ. පී.සී.ආර් පරීක්ෂණවල ප්‍රථිඵල ලැබීමෙන් පසු රත්නපුර රෝහලේ සිට පිටත්කර යැවූ සෙබළුන් දෙදෙනාද ඊ⁣ට ඇතුළත් වේ. කෙසේවෙතත් රත්නපුර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනෝජ් රොඩ්රිගෝ සඳහන් කරන්නේ, බළන්ගොඩ නෙල්ලවල පදිංචිකරුවෙකු වන සෙබළා රත්නපුර රෝහලේ සිට අයි.ඩී.එච් රෝහල වෙත මාරුකර යවන ලද්දේ ඔහුට රෝගය වැළඳී ඇතිදැයි නිශ්චිතව තහවුරු කරගැනීමට බවයි. ඒ ඔහු පිළිබඳ තහුවුරු කරන ලද වාර්තාවක් මේ තාක් ලැබී නොමැති පසුබිමකය. බලංගොඩ බෝවත්ත, මොළමුරේ සහ හපුගහකුඹුර ප්‍රදේශවලින් හමුවූ සැකකටයුතු සෙබළුන්ට රෝගය වැළඳී නැති බව තහවුරු වී තිබේ. බලංගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි නූර්දීන් රිෆයිඩීන් පවසන්නේ බුලත්ගම පදිංචි තවත් සෙබළෙකු ජෛව පටල සාම්පල පරීක්ෂණ සඳහා අද රත්නපුර මහ රෝහල වෙත යොමු කළ බවයි. ඔහු පිළිබඳ පරීක්ෂණවල ප්‍රථිඵල ලැබීමට නියමිතය. කෙසේවෙතත් රෝගය වැළඳී නැතියි තහවුරු වූ සෙබළුන්ට තවත් සතියක් නිවෙස්වල ස්වයං නිරෝධායනය වන ලෙස උපදෙස් ලබා දී ඇති අතර ඔවුන්ගේ පවුල්වල හා සමීපව ඇසුරු කළ 24 දෙනෙකුටද නිරෝධායනය වන ලෙස උපදෙස් ලබා දී අැත.

මේ අතර කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටි පිරිස අතරින් තවත් 06 දෙනෙකුට කොවිඩ් 19 වැළඳී ඇතැයි තහවුරු වීම නිසා ප්‍රදේශයෙන් වාර්තාවන සමස්ත රෝගීන් ගණන 11ක් ව ඇත. අද මෙසේ හඳුනාගත් නව රෝගීන් අතරට ඊයේ වාරියපොළ පුබ්බෝවෙන් වාර්තා වූ රෝගී නාවික සෙබළාගේ බිරිඳ, දරුවා සහ ඔහු සමඟ එකම යතුරු පැදියේ නැඟී පැමිණි මිතුරු නාවික සෙබළාද වේ. කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව පවසන්නේ, සෙසු තිදෙනාද නාවික සෙබළෙකු හා යුධ හමුදා සෙබළුන් දෙදෙනෙකු බවයි. වාරියපොළ පුබ්බෝවේ සෙබළා ආගිය ස්ථානවල සිටි පිරිස් නිරෝධායනයට ලක් කරඇති අතර ඔහු කිසියම් කටයුත්තකට ගොස් ඇතැයි පැවසෙන වාරියපොළ පොලීසියේ තිදෙනෙකුද නිරෝධායනයට යොමු කර තිබේ. අලව්වේ පදිංචි නාවික හමුදා සෙබළෙකු පසුගිය 22වන දින නිවාඩු ලබා නිවසට පැමිණි NB 9885 ලංගම බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර ඇතුළු එහි ගමන්කළ පුද්ගලයින් 15දෙනෙකුහට නිරෝධායනයට යොමුවීමට උපදෙස් ලබා දී ඇත. එම බස් රථයේ ගමන් කළ තවමත් හඳුනාගෙන නොමැති පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *