නිදහස් සැමරුම් දින, මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් 18000 කට කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව

 නිදහස් සැමරුම් දින, මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් 18000 කට කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව

නිදහස් සැමරුම් දින මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් 18000 කට කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම නගරයේ පාසල් 05 කදී ඊයේ (04) ක්‍රියාත්මක විය.

මහනුවර පාසල් වෛද්‍ය ඒකකයේ සංවිධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ බව මහනුවර ප්‍රාදේශීය වසංගතවේදඥ පසන් ජයසිංහ මහතා කීය.

මහනුවර උසස් බාලිකා,ත්‍රිත්ව,මහාමායා,පුෂ්පදාන සහ ශාන්ත අන්තෝනි බාලිකාව යන පාසල් කේන්ද්‍ර කර ගනිමින් වයස අවුරුදු 16-19 අතර පසුවන පාසල් දරුවන්ට එන්නත ලබාදීම මෙහිදී සිදු කෙරුණි.

එක් එක් පාසල් වල එන්නත්කරණ වැඩසටහන මහනුවර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මගින් ක්‍රියාත්මක කර තිබිණි. 

ඒ යටතේ උසස් බාලිකාව යටිනුවරටත්,ත්‍රිත්ව විදුහල මැණික්හින්නටත් මහාමායා විදුහල ගඟවට කෝරළයටත් පුෂ්පදාන විදුහල කුණ්ඩසාලේටත් ශාන්ත අන්තෝනි බාලිකාව වත්තේගමටත් බාරදුන් බව පසන් ජයසිංහ මහතා පැවසීය.

මෙම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සම්බන්ධ වීමෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මට්ටමින් ඒ අයට කිසිදු ආකාරයක ප්‍රතිලාභයක් නොලැබෙන නමුත් එමඟින් රටට අත්වන ප්‍රතිලාභය ඉතා ඉහළ බවද හෙතෙම අවධාරණය කළේය.

සාමාන්‍යයෙන් තමන්ගේ බල ප්‍රදේශයේ එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේදී ඒවා ඇගයීම් සඳහා වන දත්ත අතරට එක්වන නමුත්  සෞඛ්‍ය බලප්‍රදේශයෙන් පිටත සිදුවන නිසා එවැනි වාසියක් මෙමඟින් අත්නොවුණත් සෞඛ්‍ය සේවකයින් තමන්ගේ කැපවීම හා රට වෙනුවෙන් ලබාදෙන දායකත්වය පෙන්නුම් කරමින් නිවාඩු දිනයේ සේවයට එක්වීම අගය කරන බවද ජයසිංහ මහතා පැවසුවේය.

මහනුවර දිස්ත්‍රික්කයේ 16-19 වයසේ පසුවන පාසල් දරුවන් 21000 කට පමණ කොවිඩ් පළමු එන්නත් මාත්‍රාව ලබාදී තිබෙන බවත් උසස් පෙළට පෙනී සිටින සිසුන් හැර සෙසු පිරිසට නිදහස් දින දෙවන එන්නත ලබාදුන් බවත් ඒ මහතා කීය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *