නැව ගැලවෙයි සූවස් ඇළ යළි විවෘතයි.

ටග් යාත්‍රා 10ක් යොදා ගනිමින් ඇදීමෙන් හා තල්ලු කිරීමෙන් ඉමහත් පරිශ්‍රමයක් දරා සූවස් නාවික ඇළ මාර්ගය හරහා සිරව තිබූ නෞකාව මුදා ගත් බව වාර්තා වේ.

සූවස් ඇළ ප්‍රවාහන සේවා බලධාරීන් පවසන අන්දමට ගලවා ගැනීමේ කණ්ඩායම් නෞකාව පාවීමට සළස්වා ඇති අතර ඉතා ඉක්මනින් ගමනාගමන කටයුතු ආරම්භ කළ හැකි වේ.
සඳුදා උදෑසන බලධාරීන් නිකුත් කළ නිවේදනයට අනුව ටග් යාත්‍රා 10ක් යොදවා නෞකාව ඉවතට අදින අතර සිරවීමට හේතු වූ වැලි ඉවතට පොම්ප කර ඇත. සූවස් ඇළ ප්‍රවාහන අධිකාරියේ අනුමැතිය ලද පසුව නැව යාත්‍රා කරනු ඇති බවද ඔවුන් පවසයි.

සූවස් ඇළ ප්‍රවාහන අධිකාරියෙහි ප්‍රධානී ලුතිනන් ජනරාල් ඔසාමා රබෙයි පවසන්නේ නෞකාව ඉවතට ගැනීම සඳහා උපක්‍රමිකව ක්‍රියා කිරීමට අදාල කාර්ය මණ්ඩලය සමත් වූ බවයි.
නාවික ප්‍රවාහනය පිළිබඳ සැටලයිට් දත්තවගට අනුව අද (29) උදෑසන වන විටත් නැව සිර වූ ස්ථානයේ රැඳී තිබුණි. පසුගිය අඟහරුවාදා සිට මේ නෞකාව නිසා සූවස් ඇළ අවහිර වීමෙන් ලෝක වෙළඳාමට දිනකට ඩොලර් බිලියන 09 බැගින් පාඩු සිදු වූ බව විශේෂඥයෝ පෙන්වා දෙති. සිදු වූ බාධාව නිසා මේ වන විටත් විශාල ප්‍රමාණයේ නෞකා සිය ගණනක පෝලිමක් නිර්මාණය වී ඇත.
යුරෝපයත් ආසියාවත් අතර ඛනිජ තෙල් නිෂ්පාදන ඇතුළු සියල්ල ප්‍රවාහනය කෙරෙනුයේ සූවස් ඇළ මාර්ගය හරහා ය. මේ වනවිට නෞකා කිහිපයක් අප්‍රිකාවේ සුබ පැත්මේ තුඩුව හරහා ගමන් අරඹා තිබුණද භාණ්ඩ ප්‍රවාහනය යථාවත් වීමට තවත් දින ගණනාවක් ගත විය හැකිය. එම තත්ත්වය ලෝක වෙළඳපොළෙහි භාණ්ඩ මිල ඉහළ යාමටද  බලපානු ඇත.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published.