නාවික සෙබළ පුතා නිවසේ සඟවා ගත්තාදැයි අසා පියාට සහ සහෝදරයාට පහර දීලා.

කොරෝනා රෝගය වැළඳී ඇති නාවික සෙබළ පුත්‍රයා නිවසේ සඟවා ගෙන සිටින්නේදැයි විමසා කුරුණෑගල තඹගොල්ල පදිංචිකරුවෙකුට හා ඔහුගේ තවත් පුතෙකුට කිසියම් පිරිසක් පහර දී ඇත. පහර කෑමට ලක්වූ සුගත් මීරියගොල්ල පැවසුවේ, තමන්ගේ තවත් පුතෙකු සමඟ නාවික සෙබළාගේ අසනීප වූ දරුවෙකුට ඖෂධයක් ගෙන ගොස් දීම සඳහා ඔහුගේ බිරිඳගේ නිවසට යන අතර මඟ රැඳී සිටි පිරිසක් මෙසේ පහර දුන් බවයි. වාරියපොල කුරණ ප්‍රදේශයේ පිහිටි එම නිවසට මීටර් දෙසීයයක් පමණ තිබියදී මඟ හරස්කළ පිරිසක් පහර කෑමට ලක් වූ දෙදෙනාට තර්ජනය කර තිබේ. ඔවුන් විමසා ඇත්තේ උතුරු පළාතේ කඳවුරක සේවය කරන නාවික සෙබළාට කොරෝනා වැළඳී තිබියදී ඔහු සඟවා ගෙන සිටින්නේද යන්නයි. එසේ විමසමින් තර්ජනය කර පහර දෙද්දී අසල්වැසියන් කිහිප දෙනෙක් තමන් බේරා ගත්තත් එතැනින් මිදී පලා එනවිට යතුරුපැදිවලින් පැන්නූ පහරදුන් පිරිස නැවත තමන්ගේ මඟ හරස්කොට පහර දුන් බව මීරියගොල්ල මහතා පවසයි.
තම පුත්‍රයාට කොරෝනා වැළඳී නැති බවත් ඔහු නාවික හමුදා විෂබීජහරණ රාජකාරිවල නිරත වන නිසා මේ දිනවල නිවසට නොපැමිණෙන බවත් පවසන පහරකෑමට ලක්වූ පියා පවසන්නේ, කොරෝනා වැළඳුනත් මෙසේ පහරදීමට අයිතියක් කිසිවෙකුට හෝ නැති බවයි. ඔහු රට වෙනුවෙන් මෙතරම් සේවයක් කරද්දී මෙසේ තමන්ට පහරදීම පිළිකුල් සහගත බවද මීරියගොල්ල මහතා වැඩිදුරටත් පවසයි. වාරියපොල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වද්දී සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් ඇත. සැකකරුවන් අතර වැඩතහනම් පොලිස් නිලධාරියෙක්ද සිටින බව වාර්තා වේ. පහර කෑමට ලක්වූවන් වාරියපොල රෝහලේ ප්‍රතිකාර ලබමින් පසු වේ.