නළ ජලයෙන් සියයට 25ක් අපතේ යවන නුවර මිනිස්සු

ජාතික ජල සම්පාදන මණ්ඩලය මගින් මධ්‍යම පළාත තුළ බෙදා හරිනු ලබන නළ ජලයෙන් ඝන මීටර් ලක්ෂ 22  ක් පමණ මාසිකව අපතේ යන බව  නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මධ්‍යම හා සබරගමුව) ජේ.එච් මීගොඩ මහතා පවසයි.

පසුගිය මාසයේ පළාත තුළ ජලය ඝන මීටර් 7286027 ක් බෙදාහැර තිබෙන බවත් භාවිත කර තිබෙන බවට මනු කියවීමේදී වාර්තා වී තිබෙන්නේ ඝන මීටර 5085479 ක් ලෙස බවද ඒ මහතා කීය.

මහනුවර ගැටඹේ ජල සම්පාදන මණ්ඩල කාර්යාලයේදී පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී මීගොඩ මහතා මේ බව ප්‍රකාශ කළේය.

මණ්ඩලයෙන් ජල බෙදා හරිනු ලබන ජලය නිවෙස් වල හා ව්‍යාපාරික ස්ථාන වල ජල මනුව වෙත පැමිණීමට පෙර මෙම ජලය අපතේ යෑම සිදුවන බවත් ඉන්පසුව නිවෙස් හා ව්‍යාපාරික ස්ථාන තුළ සිදුවන ජලය අපතේ යෑම මෙම ගණනයට ඇතුළත්ව නොමැති බවත් මීගොඩ මහතා පැවසුවේය.

මධ්‍යම පළාත තුළ මණ්ඩලය මගින් බෙදාහරිනු ලබන නළ ජලයෙන් 25% ක් පමණ සාමාන්‍යයෙන් අපතේ යන බවත් මෙය 15% ක් දක්වා අඩුකර ගැනීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් හෙතෙම අවධාරණය කළේය.

මාතලේ දිස්ත්‍රික්කයේ ජලය අපතේ යෑම බෙදාහරින සමස්ත ජල ධාරිතාවයෙන් 35% ක් බවත් එම ප්‍රදේශයේ ජල නළ වල පවතින දුබලතා නිසා මෙම තත්ත්වය ඇතිව තිබෙන බවත් ඒ මහතා කීය.

ජලය ලීටර් 1000 ක් නිෂ්පාදනය කිරීමට මණ්ඩලයට රුපියල් 49.00 ක මුදලක් වැය වන බවද හෙතෙම පැවසුවේය.

මධ්‍යම පළාතේ සමස්ත ජන ගහණයෙන් 43% කට  ජල සම්පාදන මණ්ඩලය මගින් ජලය බෙදා හරින බවත් එය 85% ක් දක්වා ඉහළට ගෙන ඒම පස් අවුරුදු සැළසුමක් ක්‍රියාත්මක බවත් මීගොඩ මහතා ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට ජල සම්පාදන මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරී පියරතන සමරතුංග මහතාද සහභාගි විය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *