නගර සේවක වර්ජනයෙන් මාතලේ කුණු වෙයි

මාතලේ මහ නගර සභාවේ කනිෂ්ඨ සේවකයින් ඊයේ (09)දා  ආරම්භ කළ වැඩ වර්ජනය අද(10) දෙවැනි දිනයටත් ක්‍රියාත්මක විය. මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ විසින් නගර සභාවේ කනිෂ්ඨ සේවකයකුට සිදු කළ බව කියන තර්ජනය කිරිමක් හේතුවෙන් මෙම වර්ජනය අරඹා ඇත.

නගරාධිපතිවරයාගේ තර්ජනයට ලක් වූ බව කියන නගර සභා සේවකයා මාතලේ මුලස්ථාන පොලිසියට පැමිණිල්ලක්ද සිදු කර ඇති අතර වැඩ වර්ජනය හේතුවෙන් මාතලේ නගරයේ කුණු කසළ එකතු කිරිමේ කටයුතු  ඇණ හිට ඇත. මේ වනවිට වැඩ වර්ජනයට සහය පළ කරමින් නගර සභාවේ රියදුරන්ද වර්ජනයේ නිරත වි සිටියි.

අද සන්ධ්‍යාව වනවිටත් මාතලේ නගරයේ ස්ථාන රැසක කුණු කසළ ගොඩගැසි ඇති අයුරු දක්නට ලැබුණි. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා මේ සම්බන්ධයෙන් පියවරක් ගන්නා තෙක් තමන් මෙම වැඩ වර්ජනයේ නිරතවි සිටින බව නගර සභාවේ සේවකයෝ පවසති.

මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ වර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසන්නේ නාගරික කොමසාරිස්වරයාගේ ගැටලුවක් හේතුවෙන් තත්ත්වය අර්බුදයක් බවට පත් වූ අතර තමන්ගෙන් බලය ඩැහැ ගැනීමට දේශපාලන කුමන්ත්‍රණයක් සිදු වෙමින් පවතින බවයි. කෙසේවෙතත් මේ වර්ජනය හේතුවෙන් අගතියට පත්වන බදු ගෙවන නාගරික ජනතාව පිළිබදව අදාළ අංශවල අවධානය යොමු විය යුතු බවද නගරාධිපතිවරයා පැවසිය.

මධ්‍යම පළාත් අෘණ්ඩුකාරවර නිතීඥ. ලලිත් යු ගමගේ පවසන්නේ තමන් මේ පිළිබදව අවධානය යොමු කළ බවත් සිද්ධිය සම්බන්ධයෙන් 11දා පෙරවරුවේ මාතලේ මහ නගර සභාවට පැමිණ අදාල පාර්ශව සමග සාකච්ඡාවක් සිදු කරන බවත්ය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *