දේශීය සංචාරකයන්ට විශේෂ වට්ටම් – මහනුවර හෝටල් සංගමය

ගුවන් තොටුපොළ විවෘත කරන තෙක් විදේශිකයින්ට මෙරටට පැමිණීමේ හැකියාවක් නොමැති නිසා හෝටල් වලට මුළුමනින්ම නඩත්තු වීමට සිදුවන්නේ දේශීය සංචාරකයින්ගෙන් බවත් ඔවුන් සඳහා විශේෂ වට්ටම් ලබාදීමට සියලු හෝටල් සූදානමින් සිටින බවත් ඒ මහතා කීය. පසුගිය පාස්කු ප්‍රහාරයෙන් පසු මෙරට හෝටල් ක්ෂේත්‍රය විශාල අර්බුදයකට ලක්වූ බවත් එම අවස්ථාවේදීද දේශීය සංචාරකයින්ගේ සහය හෝටල් වලට උපරිමයෙන් ලැබුණු බවත් මහනුවර හෝටල් සංගමයේ උප සභාපති තුසිත් සමරවීර මහතා මහනුවර මහවැලි රීච් හෝටලයේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේය.

එහිදී අදහස් පළ කළ මහනුවර හෝටල් සංගමයේ සභාපති සමන්ත රත්නායක මහතා පැවසුවේ කොවිඩ්-19 ව්‍යාප්තිය සාර්ථකව පාලනය කර ඉක්මනින් හෝටල් විවෘත කිරීමට අවස්ථාව ලබාදීම සම්බන්ධව ජනපති, අගමැති ප්‍රමුඛ ආණ්ඩුවටත් සෞඛ්‍ය හා ආරක්ෂක අංශවලටත් ස්තූතිවන්ත වන බවයි. ලෝකයේ බලවත් රටවල් පවා කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනයකර ගැනීමට නොහැකිව සිටියදී රටක් ලෙස අපට එම අර්බුදයෙන් මෙතරම් ඉක්මනට මිදීමට හැකිවූයේ ජනපති නායකත්වය යටතේ විධිමත් ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීම නිසා බවද ඒ මහතා කීය.

මෙරටට කොවිඩ්-19 බලපෑම මාර්තු මාසයේදී එල්ල වුවත් හෝටල් ක්ෂේත්‍රයට පෙබරවාරී මාසයේ සිටම එහි බලපෑම අත්විඳින්නට සිදුවූ බවත් ලෝකය පුරා වේගයෙන් කොවිඩ්-19 වෛරසය ව්‍යාප්ත වීමත් සමඟ විදේශිකයින් විසින්  ඔන් ලයින් ක්‍රමයට වෙන්කර තිබූ මෙරට හෝටල්  කාමර 90% කට වැඩි ප්‍රමාණයක් අවලංගු කළ බවත් මාර්තු මස ඇඳිරි නීතිය පැනවීමෙන් පසු දේශීය සංචාරකයින්ද නොමැති වීමෙන් හෝටල් ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට ලක්වූ බවත් හෙතෙම පැවසුවේය. කිසිදු ආදයමක් නොමැතිව සේවකයින්ට වැටුප් ගෙවමින් හෝටල් පවත්වාගෙන යෑම අසීරු කටයුත්තක් වුවත් සේවක කප්පාදු කිරීම් නොකර වැටුපෙන් අඩක් හෝ ගෙවා සියලු දෙනාගේ රැකියා සුරක්ෂිතබව තහවුරු කිරීමට පියවර ගත් බවත් එයද කළ නොහැකි තත්ත්වයකට ළඟාවෙමින් තිබියදී හෝටල් යළි විවෘත කිරීමට රජය අවසර ලබාදීම අගය කළ යුතු බවත් රත්නායක මහතා කීවේය. සංචාරක මණ්ඩලයේ හා සෞඛ්‍ය අංශ වල උපදෙස් වලට අනුකූලය හෝටල් පවත්වාගෙන යන බවත් අර්බුදයෙන් මිදීම පිණිස රජය මේවන විට සහන රැසක් ලබාදී තිබෙන බවත් සභාපතිවරයා කීය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *