දෙයියන්ගෙන් කන මහනුවර නිළමෙලා තනතුරු අරගලයක, නිලවරණ කල් දැම්මෙ ජනාධිපති

මහනුවර සතර මහ දේවාලයන් ගෙන් එකක් වන කතරගම දේවාලයේ බස්නායක නිළමේ ධූරය සඳහා තුන් කොන් සටනක් නිර්මාණය වී තිබේ.

ඒ වත්මන් බස්නායක නිළමේ ගැමුණු වලිසුන්දර,එම දේවාලයේ හිටපු බස්නායක නිළමේ කුෂාන් වෑකඩපොළ හා පස්ගම ශ්‍රී නාථ දේවලයේ වත්මන් බස්නායක නිළමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ අතරය.

ගැමුණු වලිසුන්දර මහතා කළක් පස්ගම ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිළමේ ධූරය හෙබවීය.කුෂාන් වෑඩකපොළ මහතා මහනුවර ශ්‍රී කතරගම දේවාලයේ බස්නායක නිළමේ ධූරයට පත්ව වසර පහක් එම ධූරයේ කටයුතු කළ අතර 2015 වසරේ පැවැති නිලවරණයේදී පරාජයට පත්විය.

මහනුවර ඇසළ පෙරහර සමයේ ගැමුණු වලිසුන්දර මහතා ගත් ඇතැම් තීරණ සම්බන්ධයෙන් නිළමේවරුන්ගේ දැඩි විවේචන එල්ල වූ අතර අවසන් රන්දෝලි මහ පෙරහර දින කතරගම දේවාළයේ දේවාභරණ වඩම්මන අලියා නොසන්සුන් ලෙස හැසිරීමෙන් පෙරහර නිසි පරිදි ගමන් ගැනීමට නොහැකි වීම අසුබ නිමිත්තක් යැයි  බොහෝ අය පවසති.

පෙරහර වීදී සංචාරය කිරීමෙන් අනතුරුව සෑම දිනකම සතර මහ දේවාලයන්හි බස්නායක නිළමේවරු දේව සංහිඳට රැස්ව පෙරහර මංගල්‍යයේ  සංවිධාන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සම්ප්‍රදයක් වන අතර මෙවර එම සම්ප්‍රදායද බිඳිගියේ කතරගම දේවාලයේ බස්නායක නිළමේවරයා එම සාකච්ඡාවට දින කිහිපයක්ම සම්බන්ධ නොවීම හේතුවෙනි.මේ පිළිබඳවද නිළමේවරු ඔහුට දෝෂාරෝපයණය කර තිබේ.

කතරගම දේවාලයේ බස්නායක නිළමේවරයාගේ නිල කාලය 2020 ඔක්තෝම්බර් මස 31 දින අවසන් වූ අතර විධායක ජනපතිවරයාට ඇති බලතල අනුව එම නිලවරණය වසරකින් කල් දැමීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබීම නිසා වත්මන් බස්නායක නිළමේවරයාට නිලවරණයකට නොගොස් තවත් වසරක් එම ධූරයේ කටයුතු කරන්නට අවස්ථාව ලැබිණි.

විහාර දේවාලගම් ආඥා පනතට අනුව ජනපතිවරයාට එක් වසර බැගින් අවස්ථා දෙකකදී වසර දෙකක කාලයක් සඳහා දේවලයක බස්නායක නිළමේවරයෙකුගේ ධූර කාලය දීර්ඝ කළ හැකිය.

ඒ අනුව ජනපතිවරයාට අවශ්‍යය නම් තවත් වසරක කාලයකින් කතරගම දේවාලයේ බස්නායක නිළමේ තෝරාපත් කර ගැනීමේ නිලවරණය දීර්ඝ කිරීමේ හැකියාව ඇති අතර විහාර දේවාලගම් ආඥා පනත යටතේ පාලනය වන දේවාල වල බහුතරයක් නිළමේවරු පවසන්නේ කතරගම දේවාලයේ නිලවරණය නියමිත පරිදි පවත්වා නව නිළමේවරයෙකු පත්කර ගැනීම සඳහා අවස්ථාව ලබාදිය යුතු බවයි.

නිළමේවරු කිහිප දෙනෙකුගේ අවශ්‍යතාව මත බස්නායක නිළමේවරුන්ගේ සංගමය මගින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් කළ ලිඛිත ඉල්ලීමකට අනුව දේවාල කිහිපයක නිලවරණ වසරක කාලයකින් කල් දමනු ලැබීය.

මහනුවර පත්තිනි දේවාලයේ බස්නායක නිළමේ හේමන්ත බණ්ඩාර මහතා තම දේවාලයේ නිලවරණය නියමිත පරිදි පවත්වන ලෙස කළ ඉල්ලීමකට අනුව එම දේවලයේ සහ වේගිරිය නාථ දේවාලයේ නිලවරණ නියමිත පරිදි පැවැත් විණි.

ඒ අනුව මහනුවර ප්‍රධාන දේවාල හතර අතරින් පසුගිය වසරේ නිල කාලය අවසන් වූ පත්තිනි දේවාලයේ නිලවරණය 2020 නොවැම්බර් මස පැවැති අතර හේමන්ත බණ්ඩාර මහතා ඉන් ජයගෙන දෙවන වරටත් එම දේවාලයේ බස්නායක නිළමේ ලෙස පත්විය.වේගිරිය නාථ දේවාලයේ බස්නායක නිළමේ ලෙස සුදන්ත ඊරියගම මහතා පත්විය.

මෙම වසරේ පෙබරවාරී මස 25 දින  මහනුවර විෂ්ණු දේවාලයේ බස්නායක නිළමේ තේරීමේ නිලවරණය පැවැත් වීමට නියමිතව තිබූ අතර ඊට දින දෙකකට පෙර ජනපතිවරයා විසින් එහි නිලවරණය වසරකින් කල් දැමීමට පියවර ගනු ලැබීය.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ලෙස කටයුතු කරන නිලංග දෑල මහතාගේ නිල කාලය 2025 වසරේදී නිමවීමට නියමිතය. නාථ දේවාලයේ බස්නායක නිළමේ ගයාන් හීන්කෙන්ද මහතාගේ නිල කාලය නිමවීමට ඇත්තේ ලබන වසරේ නොවැම්බර් මාසයේදීය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.