දුම්රිය ගේට්ටුකරුට පහර දෙනතුරු පොලීසිය පොල් ගාලා
පොලීසිය බලා සිටියදී පේරාදෙණිය එළුගොඩ දුම්රිය හරස් මර්ගයේ ගේට්ටුකරුට ඊයේ (06) අලුයම 4.00ට පමණ පහරදී ඔහුගේ මුර කුටියට හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උඩුනුවර ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රීවරයෙකු ඇතුළු තිදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටුව වසා තිබියදී ත්‍රිරෝද රථ රියදුරෙකු පැමිණ එය විවෘත කරන ලෙස බල කළ අවස්ථාවේ ගේට්ටුකරු එයට විරෝධය දැක්වීම මෙම පහර දීමට හේතුවී තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
පසුගිය 04 දින අලුයම් කාලයේදීද අදාළ ත්‍රිරෝද රථ රියදුරු දුම්රිය ගේට්ටුකරුට බැණ තර්ජනය කර තිබෙන බව පොලීසිය පවසයි.
අදාළ ස්ථානයේ දුම්රිය ගේට්ටුව වැසූ පසු දුම්රිය පැමිණීමට විනාඩි දෙකක් හෝ තුනක් ගතවන බවත් ඒ අතර තුර ත්‍රිරෝද රථ රියදුරු ගේට්ටුව විවෘත කරන ලෙස පසුගිය 04 දින බලපෑම් කළ බවත් ගේට්ටුකරු පොලීසියට පවසා ඇත.
මෙම ත්‍රිරෝද රථ රියදුරු පෙරේදා (05) පස්වරුවේත් ඒ ආකාරයෙන්ම තමන්ට තර්ජනය කර පිටව ගොස් නැවත අලුයම් කාලයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා හා තවත් අයෙකු සමඟ පැමිණ තමන්ට පහර දුන් බව ගේට්ටුකරුගේ පැමිණිල්ලේ සඳහන් වෙයි.
මෙම පහර දීම සිදුවන අවස්ථාවේ පේරාදෙණිය පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු එම ස්ථානයේ සිට ඇත.
දුම්රිය ගේට්ටුකරුට ඊයේ (06) අලුයම් කාලයේ සිදුකළ පහර දීමෙන් පසු ඇතිවූ නොසන්සුන්තාව හේතුවෙන් මහනුවර සිට පෙරවරු 4.30 ට සහ 5.10 ට කොළඹ බලා ධාවනය වන දුම්රිය දෙක පැය භාගයක් පමණ ප්‍රමාද වී ධාවනය කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සමඟ ත්‍රිරෝද රථ රියදුරන් දෙදෙනෙකුද ත්‍රිරෝද රථයක්ද පොලීසිය අත්අඩංගුවට ගත් බවත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත් මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක මහතා කීය.