දිල්ලිය මෝදිට උත්තර දෙයි. BJP පරාදයි අරවින්ද් කේජ්රිවාල්ට සුවිශිෂ්ඨ ජයක්.

ඉන්දීය අගනුවර නවදිල්ලිය ඇතුළත් ප්‍රාන්ත මැතිවරණයෙන් පොදු මිනිසාගේ පක්ෂය හෙවත් ආම් ආද්මී පක්ෂය සුවිසල් ජයග්‍රහණයක් ලබා තිබෙනවා. මෙතෙක් දිල්ලිය පාලනය කළ මහ ඇමති අරවින්ද් කේජ්රිවාල් නායකත්වය හොබවන ආම් ආද්මී පක්ෂය ලබාගත් මෙම දිනුම අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට දිල්ලියේ ජනයා දුන් අතුල් පහරක් බවයි දේශපාලන විචාරකයින්ගේ අදහස. නව දිල්ලි ප්‍රාන්ත සභාවේ සමස්ත ආසන සංඛ්‍යාව 70ක් වෙද්දී ඉන් 62ක අතිමහත් බහුතරය අරවින්ද් කේජ්රිවාල්ගේ ආම් ආද්මී පක්ෂයට හිමිව තිබෙනවා. අගමැති මෝදි ගේ භාරතීය ජනතා පක්ෂයට දිනාගත හැකිව තිබෙන්නේ ආසන 08ක් පමණයි.

ඉන්දියාවේ ප්‍රධානතම විරුද්ධ පක්ෂය වන කොන්ග්‍රස් පක්ෂය මෙහිදී එක් අසුනක්වත් දිනා නොමැති අතර එම පක්ෂය ආම් ආද්මී පක්ෂයට සහය දෙමින් නිහඬ රංගයක නිරත වූ බවයි විශ්ලේෂකයන්ගේ මතය. කෙසේවෙතත් ඉතාලියානු සම්භවයක් සහිත සෝනියා ගාන්ධි නායකත්වය හොබවන කොන්ග්‍රස් පක්ෂය 2015 වසරේ අත්කරගත් ප්‍රථිඵලයත් මෙයම වන අතර කිසිම ආසනයක් එවරත් දිනා ගත්තේ නැහැ.
අවසන් වූ ලෝක් සභා මැතිවරණයෙන් ආසන බහුතරය දිනාගෙන දෙවන වරටත් අගමැති ධූරයට පත්වෙමින් ආණ්ඩුවක් පිහිටවූ මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට පසුගිය වකවානුවේ ප්‍රාන්ත රාජ්‍ය කිහිපයකදීම පසු බසින්නට සිදු වුණා. ඒ මැතිවරණවලදී පමණක් නොවේ. මෝදි ආණ්ඩුව සම්මත කළ පුරවැසි බව පිළිබඳ නව පනතට එරෙහිවද ප්‍රාන්ත මට්ටමේ දැඩි විරෝධයක් එල්ල වුණා. දිල්ලියේ ජනයාත් මේ පනතට එරෙහි විරෝධතාවල පෙරමුණේ සිටියා. ඇතැම්විට ඒ විරෝධතාත් මෝදි හා භාරතීය ජනතා පක්ෂය මෙතරම් පසුබෑමකට ලක් කිරීමට හේතු වන්නට ඇති බව ඉන්දීය දේශපාලන විචාරකයින් පෙන්වා දෙනවා.
මැතිවරණ ප්‍රථිඵල දැනගත් විගස ජනයා ඇමතූ ආම් ආද්මී නායක අරවින්ද් කේජ්රිවාල් පැවසුවේ “දිල්ලි වැසියනි මම නුඹලාට ආදරෙයි” යන්නයි. මෙය භාරත මාතාව වෙනුවෙන් ලැබූ දිනුමක් බවද ඔහු පැවසුවා. මේ මැතිවරණය සඳහා භාරතීය ජනතා පක්ෂය සුවිසල් ප්‍රචාරණ වියදමක් දරනු ලැබූවද අරවින්ද් කේජ්රිවාල්ගේ චාම් ප්‍රතිපත්ති ජයග්‍රහණය කළා.
අරවින්ද් කේජ්රිවාල් ලංකාවටත් ආපු කෙනෙක්.
අරවින්ද් කේජ්රිවාල් ඉන්දීය දූෂණ විරෝධී සටන්වල මෑත ඉතිහාසයේ කැපී පෙනෙන චරිතයක්. අන්නා හසාරේ සහ ඔහුගේ නම් ඉන්දීය පුරාවෘත්තවල සඳහන් වීරයින්ගේ නම් තරමට ජනතාව අතරට වන්දනාවට පත් වුණා. දූෂණ විරෝධී සටන් තුළ තහවුරු කරගත් විශ්වාසය ඔහු දිල්ලියේ මහ ඇමති ධූරයට පත් කිරීමටත් හේතුවක් වුණා. එවක ශ්‍රී ලංකාවේ ඇතැම් සංවිධාන මෙහෙය වූ දූෂණ විරෝධී වැඩසටහන් කිහිපයකටද අරවින්ද් කේජ්රිවාල් එක් වුණා.
“මෙම මැතිවරණය ඉන්දීය දේශපාලනයේ ධ්‍රැවීකරණය හා බෙදුම් රේඛාද පෙන්වන්නක්” බවයි ඇතැම් විචාරකයින් පෙන්වා දෙන්නේ. “ඒ වගේම මේ මැතිවරණය තමයි ඉන්දීය ප්‍රාන්ත මැතිවරණ ඉතිහාසයේ වැඩිපුරම අවලාද හා වෛර ප්‍රකාශන වපුරපු මැතිවරණය. දිල්ලියේ ජනතාව ඒ වෛරය ප්‍රතික්ෂේප කරලා වෛරී දේශපාලනයේ නිරත වන අයට කදිම පිළිතුරක් දුන්නා” දේශපාලන විචාරක සෝයා හසන් එහෙම කියනවා. මින් පාඩමක් ඉගෙන ගතහොත් භාරතීය ජනතා පක්ෂය ඉදිරි දෙවසර තුළ සෙසු ප්‍රාන්ත මැතිවරණවලදී වෛරය වැපීරීමෙන් වළකිනු ඇතැයිද හසන් කියනවා.
අරවින්ද් කේජ්රිවාල්ගේ පක්ෂය 2015 මැතිවරණයේදී සමස්ත ආසන 70න් 67ක් දිනාගත් අතර මෙවරත් ආසන 50 ඉක්මවා දිනා ගනු ඇතැයි පුරෝකථනය කෙරුණා.
ඉන්දීය අගනගරය ඇතුළත් ප්‍රාන්තයේ මිලියන 14.7ක ඡන්ද දායකයන්ගෙන් සියයට 61ක් සෙනසුරාදා පැවති මැතිවරණයේදී ඡන්දය භාවිතා කර තිබුණා. නිකුත්ව ඇති එහි ප්‍රථිඵලය දෙමසකට පෙර මෝදිගේ ආණ්ඩුව සම්මත කළ නව පුරවැසි පනතට එරෙහි ජන විරෝධයේ සැබෑ තත්ත්වයද පෙන්නුම් කරන ලිට්මස් පරීක්ෂණයක් යැයි පැවසෙනවා.
ආම් ආද්මී ප්‍රතිපත්ති
නවදිල්ලි ප්‍රාන්තයේ දරිද්‍රතාව මඩිමින් ගුණාත්මක පොදු පහසුකම් සැපයීම ඉලක්ක කරගත් ප්‍රතිපත්ති කෙරෙහි කේජ්රිවාල්ගේ ආම් ආද්මී පක්ෂයේ අවධානය යොමුව තිබුණා. රජයේ පාසල්, නිදහස් සුව සේවාව, සහ කාන්තාවන්ට නොමිලේ බස්රියවල යෑමට පහසුකම් වැනි දේ ඔවුන්ගේ සේවාවන්ට ඇතුළත් වුණා.

ඒ අතර භාරතීය ජනතා පක්ෂයට චෝදනා එල්ල වුණේ මේ මැතිවරණයේදීත් ආගමික ධ්‍රැවීකරණය භාවිතා කිරීම ගැනයි. එහි නායකයින් බොහෝ දෙනා ප්‍රචාරණ කටයුතුවලදී නවදිල්ලියේ ජනගහණයෙන් සියයට 10ක පමණ සුලුතරයක් වූ මුස්ලිම් ජනයා ඉලක්ක කරගනිමින් වාග් ප්‍රහාර එල්ල කළා.