දින 03ක් නිවාඩු, මෙහෙයුම් දිගටම පිරිසක් නීරෝධායනය මඟහැරියාද?

දිසා හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල, බැංකු, සෞඛ්‍ය හා ප්‍රකාශිත අත්‍යවශ්‍ය සේවා හැරුණුවිට සෙසු රාජ්‍ය ආයතනවලට ලබාදී ඇති නිවාඩු කාලය තවත් තෙදිනකින් දීර්ඝ කර තිබෙනවා. ඒ අතර ඉතාලිය, දකුණු කොරියාව වැනි රටවලින් පැමිණ නිරෝධායනය මඟහැර සිටින පිරිස් සොයා ආරක්ෂක හා බුද්ධි අංශ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. රජය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එවැනි පිරිස් පිළිබඳ දන්නා යමක් වේනම් අදාල අංශ දැනුවත් කරන ලෙසයි.
ඒ අතර කොරෝනා වැළඳුනු නමුත් රෝහල් ගත නොවී නිවසට වී සිටියදී සොයාගත් මැණික් ව්‍යාපාරිකයාට සහ ඔහුගේ බිරියට නඩු පැවරීමට කටයුතු කරන බව පොලීසිය පවසනවා. කරාපිටිය රෝහලට ඇතුළත් කළ පසුව කෙරෝනා වැළඳී ඇතැයි තහවුරු වූ 73 හැවිරිදි තැනැත්තෙකුට රෝගකාරක වෛරසය වැළඳෙන්නට ඇත්තේ එලෙස නිරෝධායනයෙන් වසංව සිටි ඔහුගේ පුත්‍රයාගෙන් බව තහවුරුවී තිබෙනවා. එම තැනැත්තා ඉතාලියේ සිට පැමිණි අයෙක්. තහවුරු වූ රෝගී පියා අයි.ඩී.එච් රෝහලට යවන අවස්ථාවේ කරාපිටිය රෝහල් අධ්‍යක්ෂවරයා ආරක්ෂිත උපායමාර්ගවලින් තොරව ඡායාරූප ගනිමින් සිටි අන්දමද සමාජ මාධ්‍යයන්හී විවේචනයට භාජනය වුණා.

ඇත්තටම පිරිසක් නිරෝධායනය මඟ හැරියාද?
මේවනවිට සමාජයේ බොහෝ දෙනෙකුට තිබෙන ප්‍රශ්නයක් මේ. අනිවාර්ය නිරෝධායනය ප්‍රකාශ කිරීමට පෙර පැමිණි පිරිසක් එසේ පිටව ගිය බව නොරහසක්. එහෙත් එවැනි පිරිස් පවා පසුව සෝදිසි කිරීම්වලට ලක්වුණා. අප වෙත වාර්තා වූ අන්දමට බලංගොඩ පොලිස් බල ප්‍රදේශයේ රත්ඕවිට එවැනි පිරිසක් පිළිබඳ දැනගැනීමෙන් පසු පොලිස් සෝදිසි කිරීම් ක්‍රියාත්මක වුණා. ඒ අතර ejournalist තොරතුරු සම්පාදකයන්ට අනුව ඉතාලියේ සිට පැමිණෙන පිරිස නිරෝධායනය ආරම්භ කිරීමෙන් අනතුරුව පැමිණි ඇතැම් අය එය මඟහැරීමට විවිධ උපක්‍රම භාවිතා කර තිබෙනවා.
එවැනි සමහරු ඉතාලියේ සිට තුර්කියේ ඉස්තාන්බූල් වෙත පැමිණ එහි දිනක් හෝ දෙදිනක් රැඳී සිට ලංකාවට පැමිණියේදැයි යන්න සැක කටයුතුයි. ඒවනවිට තුර්කිය අනිවාර්ය නිරෝධායනයට ලක්කළ යුතු පිරිස පැමිණෙන රටක් ලෙස නම්කර තිබුණේ නැහැ. එවැනි විටක එහි සිට පැමිණෙන බව අඟවන පිරිසට මඟහැර යාම පහසුයි. එමනිසා එවැනි සැකකටයුතු සිද්ධීන් පිළිබඳවද ආගමන ලැයිස්තු ඇසුරෙන් පරීක්ෂා කර බැලීම බලධාරීන්ගේ වගකීමක් බව අපගේ තොරතුරු සම්පාදකයා පවසනවා.
පවතින තත්ත්වය පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද රාත්‍රී 08ට ජාතිය ඇමතීමට නියමිතයි.