දැන් 18යි – කොරෝනා, නොබියව මුහුණ දෙමු

මේ වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන තහවුරු වූ කොරෝනා රෝගීන් ගණන 18ක් බව අනිල් ජාසිංහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. ඒ අද සොයාගත් රෝගීන් 07 දෙනෙකු සමග.දැනට පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබන මේ පිරිස ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකළ ශ්‍රී ලාංකිකයන් බවයි වාර්තා වෙන්නේ.

ඒ අතර ලෝකයේ කොරෝනා ආසාධිත මුලු රෝගීන් ගණන 162201ක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවල දැක්වෙනවා. මේ වනවිට ලොව රටවල් 156ක් ව්‍යසනයට ගොදුරුව තිබෙනවා. යාබද ඉන්දියාවේත් කොරෝනා පැතිර යමින් තිබියදී අගමැති මෝදී විශේෂ රෝග නිවාරණ සැළසුම් සකස් කිරීමට උපදෙස් දී තිබෙනවා. හෙට (16) දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකාව පියවර ගත් නමුත් සෞඛ්‍ය සේවාවට නිවාඩු ලබා නොදෙන බව ප්‍රකාශ කෙරුණා. ඒ අතර ශ්‍රී ලංකා පොලීසිය පැවසුවේ, දෙසතියක් ගතවනතුරු කිසියම් අවශ්‍යතාවයකට පොලිස් නිෂ්කාශන වාර්තාවක් වුවමනා නම් විද්‍යුත් තැපෑලෙන් පමණක් ලබාදීමට තීරණය කළ බවයි. විවාහ උත්සව තහනම් කිරීමට කිසිම පියවරක් ගෙන නොමැති අතර සෙනඟ රැස්වන බැවින් එවැනි අවස්ථා සීමා කිරීම සහ ජනාකීර්ණ ස්ථානවලට යාමෙන් හැකිතාක් වැළකී සිටීම හා අතවශ්‍ය හේතුවක් නොවේනම් ගමන්බිමන් නොයා සිටීම වැදගත් බව වගකිවයුතු අංශවල අදහසයි.

දෙසතියක් පමණ ගතවනතුරු මහජන රැස්වීම් හා ප්‍රචාරක රැළි පැවැත්වීමෙන් වළකින මෙන් මැතිවරණ කොමිෂන් සභාව සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියා. මැතිවරණ කොමිෂන් සභාව හමුවට ගිය තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඉල්ලා සිටියේ මේ ජාතික ව්‍යසන අවස්ථාවක් ලෙස සළකා මැතිවරණය කල් දැමීමට මැදිහත්වන ලෙසයි. එහෙත් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර මැතිවරණය කල් දැමීම හා පැවති පාර්ලිමේන්තුව කැඳවීම කළ හැක්කේ ජනාධිපතිවරයාටයි. එවැන්නක් සිදුවුවහොත් හදිසි අවස්ථා කාලය නිමාවීමෙන් හෝ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමෙන් එම කැඳවීම නිමා වේ. කෙසේවෙතත් මැතිවරණ කොමිසමට අනුව පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමිය හැකි වුවත් ඒ සඳහා නාමයෝජනා කැඳවීම කල් දැමිය නොහැකියි.

ලසන්ත ද සිල්වා

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *