දැන් වැඩ වඩා විධිමත් විය යුතුයි – අනුරාධා නැගෙනහිර පළාත්පාලන ආයතනවලට කියයි

ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ

 

මහජන මුදලින් යැපෙන සෑම රජයේ නිළධාරියෙක්ම ලැබෙන වැටුපට වඩා වැඩි සේවයක් ජනතාවට සිදු කලයුතු යැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

ඇය මේ බැව් කියා සිටියේ නැගෙනහිර පළාතේ විසුරුවා හරින ලද පළාත් පාලන ආයතන වල කොමසාරිස්වරුන් සහ ලේකම්වරුන් දැනුම්වත් කිරීමේ හමුවකට එක්වෙමිනි.

මෙම හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරිය.

“අපි බලාපොරොත්තු වෙනවා ප්‍රාදේශීය සභාවක් විසුරුවල තියනකොට පරිපාලන නිළධාරීන් වශයෙන් අත්තනෝමතික නොවී තීන්දු තීරණ ගනියි කියලා.

සභාවල තිබිච්ච හොඳ දේවලුත් තියනවා, නරක දේවලුත් තියනවා . සභාවල වෙන වැරදි, අක්‍රමිකතා තිබුනොත් ඒවා නවත්තන්න තමයි අපේ පරිපාලන නිළධාරීන් ඉන්නේ.නමුත් ඇතැම් අවස්ථාවල ඒ ආයතනවල නුසුදුසු දේ වලට අපේ පරිපාලන නිළධාරිනුත් එකතුවෙලා ඒවා ඉදිරියට ගෙනිච්චා. ඒක නෙවෙයි අපි බලාපොරොත්තු වෙන්නෙ ඒ දේවල් වලක්වාගන්න තමයි පරිපාලන නිළධාරීන් ඉන්නේ.මේ වෙලාවෙ මහජන නියෝජිතයින් නැතිව සම්පූර්ණ බලය අතට ආවාම සභාවලින් වෙච්ච හොඳ දේවල් ඉස්සරහට ගෙනියන්න.

අපේ රටේ හැමතැනකම හැමවෙලේම ජනතාව විවේචනය කරන්නෙ දේශපාලන අධිකාරිය දූෂිතයි කියලා. නමුත් ඒ ආයතන යහමගට ගන්න ඔයාලට මේ වෙලාවේ පුළුවන්. එතකොට ඊළඟ සභාපති මෙතනට ආවම සභාව හොඳට කරගෙන යන්න පුළුවන්.මොකද ඒ අයට දැන් ආදර්ශයක් දෙන්න ඔයාලට පුළුවන්කම ලැබෙනවා.
අපි ස්වාධීනව වැඩකරනවා කියන්නෙ අත්තනෝමතිකව තමන්ට ඕන දේ තමන් කරන එක නෙවෙයි.මම විශ්වාස කරනවා කිසිම නිළධාරියෙකුට වැරදි කරන්න අයිතියක් නෑ. අපි මහජන මුදලින් යැපෙන අය මමත් ඇතුළුව. මටත් පඩියක් එනවා. මං පඩිය ගන්නවා. නමුත් අපි අපේ වැටුප වගේ දෙගුණයක් වැඩ කරන්න ඕන.
ජනතාව එන්නෙ ප්‍රාදේශීය සභාවට ප්‍රශ්න අරන්. සභාව විසුරුවල කියලා ඒ ක්‍රමය කඩන්න එපා. ජනතාවට ඇහුම්කන් නොදෙන නිළධාරීන් බවට පත්වෙන්න එපා” යැයි ආණ්ඩුකාරවරිය කීවාය.

මේ අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් ආර්.එම්.පී.එස්.රත්නායක, ආණ්ඩුකාර ලේකම් එල්.පී.මදනායක, පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ වැඩබලන ලේකම් අයි.කේ.ජී.මුතුබණ්ඩා ,පළාත් පාලන කොමසාරිස් එන්.මනිවන්නන්,නාගරික කොමසාරිස්වරුන්, ලේකම්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *