දහඩියට පාටක් – සංහිඳියාවට පාර කියන ළමා පොතක්.

“තුහිනි පැන්සලත් චිත්‍ර පොතත් ගත්තා. එයා ලංකා සිතියම ඇන්දා. තව දිය ඇලි, ගස් වැල්, වෙහෙර විහාරත් ඇන්දා. චිත්‍රයේ මොකක්දෝ අඩුවක් තියෙනවා කියලා එයාට දැනුණා.

එයා ජාතික කොඩියකුත් ඇන්දා. ඒත් තුහිනිගේ සිතට සතුටක් දැනුණේ නැහැ. තුහිනි පැන්සල පැත්තකින් තිබ්බා. චිත්‍ර පොතේ අලුත් පිටුවක් පෙරලුවා. පාට කූරු පෙට්ටිය අතට ගත්තා. රතුපාට කූරෙන් කුඹුරේ මඩ ගෑවුණු බණ්ඩා මාමාව ඇන්දා. සරස්වතී නැන්දයි තේ වත්තයි කොළ පාට කූරෙන් ඇන්දා.

රිසානා අක්කා මහන ඇඳුම් තුහිනි ඇන්දේ නිල් පාට කූරෙන්. එයාලගේ දහඩිය අඳින්න පාටක් පාට පෙට්ටියේ තිබුණේ නැහැ.”

වෛද්‍ය ප්‍රභා වීරසේකර

ඒත් මේක තමයි මම ඇඳපු ලස්සනම චිත්‍රය. නින්දට පෙර තුහිනිට හිතුණා.”  විස්ඩම් ට්‍රී පබ්ලිකේෂන්ස් ප්‍රකාශනයක් ලෙස එළි දුටු නවතම ළමා කතා පොත දහඩියට පාටක් හැම දරුවෙකුටම “තුහිනි” ආදර්ශයට ගන්නා ලෙස ඇරයුම් කරන්නේ එලෙසිනි. දහඩියට පාටක් ලියූ වෛද්‍ය ශ්‍රීමති ප්‍රභා වීරසේකරගේ තෙවන ළමා කතා වියමන මෙය වන අතර ඇය මින් පෙර “දුක දිනූ කුමරිය” හා “පැංචාගේ වීර ලෝකය” යන කෘති ද්විත්වය රචනා කර ඇත.  දහඩියට පාටක් ළමා කතා පොතට කවරයේ සිත්තම ඇතුළුව සිතුවම් ඇඳ ඇත්තේ වෛද්‍ය මධුමාලී වීරසේකරය. ඇගේ පින්සලෙන් හැඩ වුණු අගනා සිත්තම් පෙළ මේ පොත් පිංචට ආලෝකය වන්නේ එකපැහැර පොඩිත්තන්ගේ සිත් සොරා ගනිමිනි.

ලිවීමෙහි අසීරුම ළමා සාහිත්‍ය යැයි කීම අසාධාරණ නොවේ. ඒ ළමුන් අනාගත කියවන්නන් බවට පත් කරන්නට හෝ ඔවුන් කියවීමෙන් ඈත් කරන්නට සිඟිති කතා පොත් හේතු විය හැකි බැවිනි. එසේම දරුවන් සමාජානුයෝජනයෙහිද ළමා සාහිත්‍ය අනුහුරු කාරකයක් වේ.  දෑ හිතකාමී, සමාජමය වශයෙන් යහපත් පුරවැසියන් නිර්මාණය උදෙසා ළමා සාහිත්‍යයට මනා දායකත්වයක් දැක්විය හැකි බව පැවසෙන්නේ එහෙයිනි. ලේඛිකා වෛද්‍ය ප්‍රභා වීරසේකර මේ බැව් මනාව වටහා ගෙන සාහිත්‍ය ලෝකයට අවතීර්ණ ව ඇති බව පෙනේ.

රූපවාහිනිය ලංකාවට ආ අලුත දරුවන්ට නරඹන්නට ලැබුණු කාටුන් චිත්‍රපට සහ අද නරඹන්නට ලැබෙන කාටූන් චිත්‍රපට අතර වෙනස තුළින් ළමා සාහිත්‍ය පැවතිය යුතු ස්වභාවය පිළිබඳ දළ අදහසක් ඇති කර ගත හැකිය.  අද දරුවන්ට තමන් දකින වීරයන්ගෙන් ජීවන හර පද්ධතීන් උකහා ගත නොහැක. නැතිනම් එය අසීරුය. මේ බව මනාව පසක් කරගෙන සිටින වෛද්‍ය ප්‍රභා වීරසේකර කුඩා දරුවන්ට තමන් ළඟා කර ගත යුතු ජීවන සුසමාදර්ශ පිළිබඳ  පාඩමක් නිසංසලේ කියා දෙයි.  ඇය ළමා මනෝ විද්‍යාව සහ අධ්‍යාපන මනෝ විද්‍යාව පිළිබඳ හැදෑරීමක් ඇතිව හෝ නැතිව සුහුරු සාහිත්‍යකාරිණියක බවට පත්ව සිටියි.

ලේඛිකාවගේ උත්සාහයේ වැදගත්ම කෘත්‍යය වන්නේ බෙදුණු හා බිඳුණු හදවත් ඇති ජාතියකට ඒකාත්මික වන්නට කෙරෙන ආරාධනයයි. මේ ළමා කතාවේ ප්‍රමුඛ චරිතය වන “තුහිනි” නම් කුඩා දැරියක් ලබන අත්දැකීම් හරහා සමාජයේ පවත්නා බහුත්වවාදී ගුණය අනාවරණය කරන්නට ඇය සමත්ව සිටියි.

නිදහසින් පසු ගෙවුණු දශක ගණනාව පුරා ඒකීය ජාතියක් වන්නට අපොහොසත්ව හා වාර්ගික ගැටුම්, අනවබෝධය මත අන්‍ය සංස්කෘතීන් නොසළකා හැරීම නිසා වියවුලට පත් වූ රටක දරුවන්ට ඇය පාඩමක් කියා දෙයි. රටේ සංවර්ධනය රැඳී ඇත්තේ සෑම පුරවැසියෙකුගේම දෙඋර මත බවත් සියලු දෙනා ඉටු කරන කාර්යයන් එක ලෙස වැදගත් බවත් “තුහිනි”ගේ දෘෂ්ටියෙන් පෙන්වා දෙන කතුවරිය අන් අයට විවිධත්වය නොසළකා ගරු කරන්නට දරුවන්ට කියා දෙයි. වර්තමාන සමාජ අර්බුදය විමසා බලද්දී මෙය සැබෑ අවශ්‍යතාවයකි. සාහිත්‍යකරුවාගේ සමාජ කාර්යභාරය පිළිබඳ අදහස් විවාදසම්පන්න වුවද ඇය සමාජ වගකීම පිළිබඳ ඉඟියක් ලබා දෙයි.

මේ කෘතියේ සිතුවම් නිර්මාණය කළ වෛද්‍ය මධුමාලී වීරසේකරද ළමා හදවත් හඳුනා ගත් සිත්තරාවක බව පසක් වේ. සිබිල් නැන්දාගේ සිතුවම් සිහි ගන්වන ඇගේ වෛවර්ණ සිතුවම් ළමා සිත් පැහැර ගනිියි. දරුවන් ආශා කරන්නේ නේක වර්ණ සිහින දස්සනවලටය. ඔවුන්ගේ පරිකල්පන ලෝකය පුළුල් වීම ඊට හේතුවයි. දරුවෝ නිරතුරු සිහින දකින්නෝය. මධුමාලි ඇගේ සිතුවම් සියල්ල නිදහසේ නිර්මාණය කර තිබෙන්නේ ඒ පරිකල්පිත ලෝකයට පිවිසෙමිනි.

දහඩියට පාටක් කෘතිය මනා නිමාවක් සහිතව දරුවන්ට නිසිව මුද්‍රණය කිරීම පිළිබඳවද කෘතවේදීත්වය පිරිනැමිය යුතුය.

ලසන්ත ද සිල්වා 

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *