තොණ්ඩමාන් සාධකය පරිධියේ සිට කියවීම
ලංකාවේ ප්‍රමුඛ සහ ජනප්‍රිය සිංහල දේශපාලනඥයන් රැසක් බිහි කළ කොළඹ රාජකීය විද්‍යාලයේ උගත් ඇමති ආරුමුගම් තොණ්ඩමාන් 55 හැවිරිදිව සිටියදී හදිසි හෘදයාබාධයකින් මළේ ය. මගේ ඇතැම් උගත් වතුකර මිතුරන් පවා “අපොයි” ස්වරයෙන් කම්පාව පළ කළ ඔහුගේ මරණය හා සමග තොණ්ඩමාන්ලා වතුකරයට “මොනවා කරන ලද්දේදැයි” විමසමින් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල ලියැවෙන මතවාද අදහස් බොහෝමයක් දුටිමි. ඒවා ලියන ඇතැම්විට සෞම්‍යමූර්ති තොණ්ඩමාන් දේශපාලනය කළ කාලයේ ළදරුවන් වූ සහ කඳුකර දේශපාලනය පිළිබඳ හය හතර නොදත් බහුතර සිංහල ලේඛකයෝ වතුකර ජනයාට කිසිවක් නොකළ යැයි තෙමේම හඳුන්වන තොණ්ඩමාන්ලාට එම ජනයා වන්දනා කිරීම සෝපාහාසයෙන් දකිති. ඔවුන් සිය සමාජ මාධ්‍ය ලේඛනවල උපුටා දක්වන සියලු කරුණු සත්‍ය ය. මසකට වරක් වතු කම්කරුවාගේ දිනක වැටුපෙන් තුනෙන් එකක් හෙවත් රුපියල් අටකෝටියකට ආසන්න මුදලක් සිය වෘත්තීය සමිතිය හෙවත් ලංකා කම්කරු කොංග්‍රසයේ සාමාජික මුදල ලෙස කපාගන්නා තොණ්ඩමාන්ලා කම්කරුවාට අබ පියල්ලෙන් සළකා තමන් සේරු හතඅටක් එකවර අල්ලන හැන්දෙන් බෙදාගත්තා යැයි කීම අසාධාරණ හෝ අසත්‍ය නොවේ. එහෙත් ඒ සත්‍යය විදාරණය කරන සමාජ මාධ්‍ය ලිපිවල අදිසි වෙනත් ගැටලුවක් ඇත. ඒවා ඒකාකෘතිකය. ඒවා ලියන ලේඛකයෝ තොණ්ඩමාන්ලා දශක කිහිපයකට පසුද වතු ජනයාට වහලුන් ලෙස සළකන බව දකිති. එහෙත් තමන්ද සිය දෙමව්පියන්ද ඇතුළු සිංහල ජන සමාජයටද මෙරට දේශපාලනය තුළ හිමිවන්නේ වහල් සමාජයෙන් මදක් ඉහළ වැඩවසම් තත්ත්වයක නින්දගම්වාසීන්ට හිමි තත්ත්වය බව මේ ලිපි ලියූ නොපිරුණු ඇතමෙකු වටහා ගෙන නැත. එසේම කඳුකරයේ තොණ්ඩමාන් සාධකය වනාහී සිංහල දේශපාලනඥයාගේ අත් රූකඩයක් බැවින් වතු ජනයාට හිමි අහිමි බොහෝ දේවල වගකීමෙන් කොටසක් වෙන තැනක ඇති බවද මේ ලේඛකයෝ නොදනිති. සැබවින්ම තොණ්ඩමාන්ලාට සිනහ වෙන බොහෝ දෙනා සිනහසීම සාධාරණ වුවත් ඒ පිටුපස ඇති අවශේෂ කරුණු දන්නේ නැත. සිදුවෙමින් තිබෙන පරිද්දෙන්ම සමාජ මාධ්‍ය මෙහිදී වේදිකාවක් පමණක් ව ඇත. මෙය ඒ පිළිබඳ ගවේෂිත කරුණු පූර්ණව ලිවීමක් නොවූවද පරිධියේ සිට කියවීමට ගත් උත්සාහයකි.
ඔහු රජුන් තනන්නෙකුව නොසිටියේ ය.
“රජුන් තන්නනා” ය යන උපදානය ආරුමුගම් තොණ්ඩමාන්ට බර වැඩිය. ආරුමුගම් යනු කතරගම දෙවියන්ට යෙදෙන සෙසු නාමයක් වුව මේ තොණ්ඩමාන් සිටියේ ගම්බාර දෙවියෙකුගේ මට්ටමෙනි. සිය පූර්ව ප්‍රාප්තිකයා හා මුත්තණුවන් වූ සෞම්‍යමූර්ති තොණ්ඩමාන් නමැති වෘද්ධ දේශපාලනඥයා නම් රජුන් තනන්නෙකුව සිටි නමුත් මුත්තණු ඇවෑමෙන් පක්ෂය භාරගන්නා විට කඳුරට ජනතා පෙරමුණ බිහිකරගත් තොණ්ඩමාන්ලාගෙන්ම දේශපාලනය උගත් චන්ද්‍රසේකරන්ද පසුව පී.දිගම්බරම්ද බලය කෑලිවලට ඉරා ඩැහැගෙන තිබුණි. එහෙත් තවමත් වැඩි අනුගාමික පිරිසක් සිටින දකුණු ආසියාවේ විශාලතම වෘත්තීය සමිතියක් සිංහල දේශපාලනයේ සක්ක ගලක් කිරීම හැර තොණ්ඩමාන්ලා කළ කාර්යය සමාජ දේශපාලන විද්‍යාත්මකව කියවිය යුතුය. වරක් සෞම්‍යමූර්ති තොණ්ඩමාන් කඳුකරය මලයනාඩුවක් යැයි කීම දිවයින වැනි පුවත්පත්වල දැඩි උදහසට ලක් වූ අතර සිංහලයා තුළ ඔහු පිළිබඳ සතුරු ආකල්ප දැනවීය. එහෙත් වසර විස්සකට ආසන්න කාලයක් කඳුකර වතු ජනයා අතර මාධ්‍යකරණයේ නියැලෙන මේ ලියුම්කරු අත්දකින සත්‍යයක් වේ. එනම් විමුක්ති කොටින්ට වතුකර ජනයා අතර තහවුරු වන්නට නොහැකි වූයේ තොණ්ඩමාන්ලා වැනි ප්‍රාදේශීය දේශපාලනඥයන් නිසා යැයි කීමේ කිසියම් ඇත්තක් තිබීමයි. සැබවි, උතුරේ ජනයා වතු දෙමළා සැළකුවේ පහත් දෙමළෙකු ලෙසය. උන් හා හිර ගණුදෙනු ආදියද පිළිකෙව් කළේ ය. අඩුවැඩි වශයෙන් මඩකලපු දෙමළා පිළිබඳ උතුරු ආකල්පයද එයම විය. නමුත් අමතක කළ යුතු නැති කරුණක් ද වේ. ප්‍රභාකරන් කරයියාර් කුලයෙකු මිස වෙල්ලාලයෙකු නොවේ. ඔහු උතුරේ වෙල්ලාල බලය දණින් නැමුවේය. සටන් විරාම සමයේ ඇතැම් කොටි කඳවුරකට යන්නට අවස්ථාව ලද මේ ලියුම්කරු බදුල්ලෙන් ආ එකෙකුය අසා ඔහු තදින් වැළඳගත් තුරුණු කොටි කිහිපදෙනෙකු එසේ කළේ උන් පස්සර, ලුණුගල වැනි පළාත්වල නිසා ගමේ කමට ය. මේවා ඊළාම් යුද්ධයේ යටි බිම්ගත කතා ය. එමනිසා මගේ මතය පසුබිම සැකසුණේ නම් කොටි වෛරසය වතුකරය ආසාදනය කිරීමට ඉඩ තිබුණි යන්නයි. එය වැළැක්වූයේ වතු දේශපාලනයයි. දැන් ජීවිතයේ මැදියමට එළඹෙමින් සිටින මා බොහෝ දෑ උපේක්ෂාවෙන් සළකන නමුත් එවක කොටින්ගේ දිනුමක් අප ඉදිරියේ වර්ණනා කළ යහළු වතුකර තරුණයෝ අප සිත් බොහෝ සෙයින් කම්පනය කළෝ සරදමක් සමගින් බව තවම මතක ය. පසුකලෙක විවේචකයන් ඉදිරියේ සෞම්‍යමූර්ති තොණ්ඩමාන් පැවසුවේ මලයනාඩු යනු කඳුරට යන්නේ දෙමළ වහර බවයි. මේ විචක්ෂණශීලී දේශපාලනඥයා කළ වරද වන්නේ සිංහල දේශපාලනඥයා සේම පක්ෂය පවුල් පාලනයට නතු කිරීමයි. ඇතැම්විට ආරුමුගම් හැර දෙවනපෙළ සෙසු කවුරු හෝ නායකයා වී නම් ලංකා කම්කරු කොංග්‍රසය තවම කඳුරට ප්‍රමුඛ බලය වන්නට ඉඩ තිබුණි. ඒ සෞම්‍යමූර්ති උපයා තිබූ ධනය හා කීර්තියද, විශාල අරමුදලක් ඇති වෘත්තීය සමිතියක් හෙවත් පක්ෂයක්ද හැර ඔහු සතු ඥානය මුණුපුරු තොණ්ඩමාන්ට උරුම නොවීම නිසා ය.

වතු කම්කරුවාට පුරවැසිකම ලැබීම
කාලයක් වතුකර ජනයා ශ්‍රී ගණේෂ සිහිපත් කරමින් ඡන්ද පොළට ගොස් එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දීම පරම යුතුකමක් කොට සැළකුවේ ය. ඒ තමන් ලද මහාර්ඝ දායාදය වූ ලාංකික පුරවැසිකම පසුපස තිබුණු දේශපාලනය නිසා ය.

1948 දෙසැම්බර් මාසයේ ගෙන ආ රටවැසි පනත සහ 1949 පාර්ලිමේන්තු මැතිවරණ සංශෝධන පනත මගින් රටේ එවක ජනගහණයෙන් සියයට දහයක් වූ වතු කම්කරු දෙමළ පීඩිත ජනයාගේ පුරවැසිකම අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂය පියවර ගත්තේය. දෙමළ සංගමයේ නායකයා වූ පී.ජී පොන්නම්බලම් පවා ඇමති ධූරයක් තමන්ට ලබා දුන් එක්සත් ජාතික පක්ෂයේ හොඳ හිත පවත්වා ගෙන යාමට පෙර කී දෙවන පනතට පක්ෂව සහය දුන්නේය. පසුව සිරිමා මැතිණියගේ පාලන සමයේ ඉන්දීය අගමැති ශාස්ත්‍රී හා ගිවිසුමක් අත්සන් කොට වතු දෙමළ ජනයා කොටසක් ඉන්දියාවට පැටවීම ආරම්භ වන්නේ ය. එකළ දෙකට ඉරා දමන ලද වතු දෙමළ පවුලක දෙවන හෝ තුන්වන පරම්පරාවල සාමාජිකයන් තවම ඉඳහිට මේ ලියුම්කරුට හමු වේ. කඳුකර සිංහල ජනයාගේ ජාතික හැඳුනුම් පතෙහි අංක දහය අවසානයේ V අක්ෂරය සටහන්ව තිබියදී අග X අකුර සටහන් වූ හැඳුනුම් පත් ඇති මිතුරන් බොහෝ ගණනක්ද ලියුම්කරුට සිටියේ ය. අග අක්ෂරය පිළිබඳ කිසියම් විස්සෝපයක් ඔවුන් තුළ තිබුණද පරම්පරා දෙකකට පෙර අහිමි කළ පුරවැසිබව ඔවුහු නැවත ලබා සිටියහ. 1977 මැතිවරණයෙන් බලයට පැමිණි ජයවර්ධන මහතා වතුකරයේ ස්ථාවර ඡන්ද මල්ලක් තනා ගැනීම සඳහා අනුගමනය කළ දේශපාලන උපාය මාර්ගයක් වුවද, ඔහු ලවා එය ක්‍රියාත්මක කරවාගත් සෞම්‍යමූර්ති තොණ්ඩමාන් නොනිල රජෙකුගේ තත්ත්වයට පත් කළද එය දෙමළ වතු ජනයාට අහිමිව තිබූ මානුෂ හිමිකමක් ලැබීමක් විය. මේ අහිමි කිරීම් සිංහල හා දෙමළ දේශපාලන ප්‍රභූන් විසින් සිදුකරන ලද බව නොපිළිගන්නා හා විය යුතු පරිද්දෙන් සිදු වූ බව සිතන සිංහලයෝ අදද ෆේස්බුක් සරමින් පාණ්ඩිතව්‍ය පෙන්වීමේ උත්සාහ දරති.

වරක් මේ ලියුම්කරු සුසිල් සිරිවර්ධන හා දීර්ඝ සැඳෑ සංවාදයක නිරත වූයේ ඔහුට අයත් බණ්ඩාරවෙල බංගලාවක අගනා පුස්තකාලයේදී ය. කතාබහ හැත්තෑ එකේ කැරැල්ල ගැනය. මහ නඩුවේ විත්තිකරුවෙකු වුවද සුසිල් සිරිවර්ධන කැරැල්ලට කිසියම් කාලයකට පෙර ජනතා විමුක්ති පෙරමුණ හා පරස්පර මතයක සිටියේ යැයි මේ සංවාදයේදී ප්‍රකට විය. සුසිල් ඇතුළු කිසියම් පිරිසක් විජේවීර අදහස් හා නොඑකඟවන්නට එක් හේතුවක් වූයේ වතු කම්කරු ජනයා ය. පක්ෂයේ පොලිට් බියුරෝවේදී හෝ මධ්‍යම කමිටුවේදී දෙමළ වතු කම්කරු ජනයා පිළිබඳව අනුගමනය කළ යුතු ස්ථාවරය පිළිබඳ සාකච්ඡාවේදී ඉහළ නායකත්වයේ අදහස වී තිබුණේ ඔවුන් කම්කරුවන් වුවද තීරණාත්මක අවස්ථාවක ධනපති මුදලාලිලාගේ පැත්ත ගනීවි යැයි සළකා විප්ලවයට සහභාගී කර නොගත යුතු බවයි. සුසිල් සිරිවර්ධන මහතා පළ කළ මේ අදහස්වලට අනුව ලියුම්කරුට තහවුරු වූයේ මාක්ස් ලෙනින්වාදී දෘෂ්ටියක පිහිටා කටයුතු කරන බව පැවසූ පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ පවා එකල වතු කම්කරු ජනයා ලුම්පන් පංතියට අයත් යැයි සිතා කටයුතු කළ බවයි. පසුකලෙක දෙමළ කතා කරන වතු ජනයාට සමීප ඌව පළාත් සභා සභිකයෙකු පවා ජනතා විමුක්ති පෙරමුණෙන් බිහි වුවත් ඔහුද පරිපූර්ණ ලෙස වතු දෙමළ ජනයා ආමන්ත්‍රණය නොකළ අතර තවම වතුකරයට සමීප වීමට මේ වමේ දේශපාලනයට පුලුවන් කමක් ලැබී නැත. නමින් රාමලිංගම් චන්ද්‍රසේකරන් වූ පාර්ලිමේන්තු ගිය ජ.වි.පෙ සාමාජික වතු ජන සමීපයෙකුද විය. ඔහු අවසානවරට මට මුණ ගැසුණේ යාපනයේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ කාර්යාලයේදී උතුරේ සංවිධාන කටයුතු කරන්නා ලෙස ය.
තොණ්ඩමාන්ලා කිසිවක් නොකළේ නොවේ.
ඇත්ත වශයෙන්ම විවේචන පිළිගත හැකිය. වතු දෙමළ ජනයා බහුතරය තවම ඉන්නේ ලැයිම් කාමරවලය. රනිල් වික්‍රමසිංහ සමයේ දෙනවා යැයි කියූ ඔප්පු බහුතරයකට දී නැත. සමහරුන්ට තවම තැපැල් ලිපිනයක් නැත. ලිපින ලබා දෙන්නට ලියුම්කරුගේ මිත්‍ර පස්සර සුරේශ් වැනි එන්.ජී.ඕ කාරයන් ගත් උත්සාහය අගය කළ යුතුය. කඩවල් බාරේ ලියුම් එන සිංහල ගැමියන්ටත් ලිපින ලබා දෙන්නට කටයුතු කරන සුරේශ් කෙනෙකුද වුවමනාය. මුර මඩුවට ලියුම් ලැබුණු කන්තලේ සීනිපුර වැසියන් ගැන කෙටි වාර්තා චිත්‍රපටයක පිටපත ලියූ ලියුම්කරුටද අවුරුදු බර ගණනක් ලියුම් ආවේ ගමේ කඩේටය. ඒවා අතුරු කතා ය. වතු ජනයා ගැන ප්‍රස්තුතයට එළඹෙද්දී ඔවුන්ට දෙනවා යැයි කියූ දිනකට රුපියල් දහසක වැටුපවත් ලබා දී නොමැත. එසේනම් වොලිබෝලයක්, නෙට් එකක්, කක්කුස්සියක්, තහඩු හා සිමෙන්ති, කොන්ක්‍රීට් පාරක්, ඇතැම් තැනක ලැයිම් කාමර නොවන වෙන් වූ නිවාස හා ජේ. ආර් සමග මුත්තණු තොණ්ඩමාන් එක්ව දුන් පුරවැසිකමට අමතරව තොණ්ඩමාන්ලා වතු ජනයාට දුන්නේ මොනවාද? මාස්පතා ගෙවන කම්කරු කොංග්‍රසයේ සාමාජික ගාස්තුව හා තවත් අදිසි ගෙවීම් එකතුව තැනෙන විශාල වන්දියක් අයකරමින් හෝ ඔවුන් දී ඇත්තේ නායකත්වයයි. මේ ප්‍රකාශය සිනහවට හේතුවක් නොවේ. මන්ද, දිගම්බරම් වතු ජනයාට දී ඇත්තේත් ෆේස්බුක් විවරණ ලියන සිංහල වාර්ගික මත නිර්මාපකයන්ට ඔවුන්ගේ දේශපාලනඥයන් දී ඇත්තේත් මේ ඊණියා නායකත්වය පමණි. ඔවුන්ද තොණ්ඩමාන්ලාට වැඩි යමක් කළේ නම් රට මීට වඩා ඉහළින් තිබිය යුතුය. එබැවින් තොණ්ඩමාන්ලාට වඳින පුදන වතුකර ජනයාට සිනහසෙන පිරිස නගන්නේ හෙජමොනික සිනහවක් බව ලියා තැබිය යුතුය. වැඩිමනත් බලය සිංහලයාට ඇති ආණ්ඩු වතු කම්කරුවාට අහිමි යැයි කියන ඒ දේවල් වෙනුවෙන් කළ දෙය කිසිවෙකු අසා නැත. ජනතා විමුක්ති පෙරමුණ වැනි වමේ යැයි කියන පක්ෂ මේ සැබෑ කුලී කම්කරුව දිනා නොගත්තේ ඇයිද යන්න කිසිවෙකු අසා නැත. වතු කම්කරුවා ඉදිරියේ රුපියල් දහස දිනා දෙන්නෙමැයි වාගාඩම්බර දෙඩූ තොණ්ඩමාන්ට ඉහළින් ඒ තීන්දුව ගන්නට සිංහල නායකයෙක් ඉන්නා බව කවුරුත් පවසා නැත. ඒ සිංහල නායකයන් හා වතු සමාගම් අතර ව්‍යාපාර සම්බන්ධය හා වතු සමාගම්වල සැබෑ හාම්පුතුන් කවුද යන්න ගැන ෆේස්බුක් මත සම්පාදකයෝ අදහස් දක්වා නැත.
දක්ෂිණ ඉන්දියාවේ මූනා පුදුර් සිට පැමිණි තොණ්ඩමාන්ලා අත යට දේශපාලන ගණුදෙනු කරමින් හෝ වතු දෙමළ ජනයා සංවිධානය කරමින් පක්ෂයක් බිහි නොකළේ නම් දෙමළ වතු කම්කරු ජනයා මීටත් වඩා අනාරක්ෂිත වන බව උපහාසාත්මක ෆේස්බුක් සටහන් ලියන්නන්ට නොවැටහෙන්නේ ඔවුන් කඳුකරයේ දේශපාලනය ගැන සැබැවින්ම නොදන්නා නිසාය. තොණ්ඩමාන්ලා නොසිටියේ නම් ඊළාම් යුද්ධයේ කඳුකර සටන් පෙරමුණක් තිබෙන්නට පුලුවන්ව තිබූ බව ඔවුන් නොදන්නේත් රාමුවෙන් පිටත සිටින නිසා ය. නැතිනම් විරෝධාකල්ප වඩාත් ජනප්‍රියවාදී නිසාය. අද කාලයේ රැඩිකල් හෝ විරෝධ සටහන් ලියා ජනප්‍රිය වන්නට ෆේස්බුක් කදිම වේදිකාවක් වීමද මේ පසුබිමේ ඇත. ඒ නිසා වතුකරයේ සුළං හමන විධිය දන්නා මේ ලියුම්කරු යෝජනා කරන්නේ පැමිණ බලන්නැයි කියා ය. තොණ්ඩමාන්ලා නොසිටියේ නම් සිදුවීමට ඉඩ තිබූ දේවල් ගැනද නිස්කාන්සුවේ සිතන්නැයි කියා ය. සෞම්‍යමූර්ති තරම් පරිණත නොවූ ආරුමුගම් ගේ මරණයද ඔවුන්ට දැනී ඇත. මහින්ද රාජපක්ෂ මහතා වීරකැටියට ගිය ගමන තරම් දැනී ඇත. ඔවුන් බලා සිටින්නේ මීළඟට සෙන්දිල් තොණ්ඩමාන් හෝ ජීවන් තොණ්ඩමාන් දකුණු ඉන්දීය සිනමාවේ වීරයා සේ උදාරම් ගමනින් පක්ෂයේ නායකත්ව පුටුවට ඇවිදගෙන එන අන්දම දකින්නටය. සෙන්දිල් හෝ ජීවන්ද ඔබ කියන තරම් දේවල් වතුකරයට නොදෙනු ඇත. එහෙත් මේ ජනයා අධිපතීත්වය තුළ අනාරක්ෂිත නොවන්නට ඉඩ සළසනු ඇත. විය හැකි පරිද්දෙන්ම ඒ සඳහා වන ගණුදෙනුව දූෂිත හා ගොහොරු ගඳ හමන එකක් වනු ඇත. ඒ ගැන කම්පා නොවන්න, මන්ද ඔබට නායකත්වය දෙන්නේද එවැනිම පිරිසක් වන හෙයිනි.
ලසන්ත ද සිල්වා.