තොණ්ඩමන් කට අරියි. වතුකරයේ දරුවන් වෙනුවෙන් කැපවන බව කියයි

මින් ඉදිරියට වතු කම්කරුවන්ගේ දරුවන් මෙහෙකාර සේවයේ යෙදවීමට කිසිවෙකුට නොහැකි වන සේ කම්කරු ආඥා පනත ශක්තිමත් කිරිම සඳහා සාකච්ඡා ආරම්භ කර තිබෙන බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම්,වතු යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා පැවසයි.

මෙරට කම්කරු ආඥා පනත අවුරුදු 100 කට වඩා පැරණි එකක් බවත් බාල වයස්කාර ළමයෙකු මෙහෙකාර සේවයේ යොදවන දෙමව්පියන්ට දඩුවම් ලබාදිය හැකි සේ නව පනත් ගෙන්න සැළසුම් කර තිබෙන බවත් ඒ මහතා කීය.

ජිවන් තොණ්ඩමන් මහතා මේ බව පැවසුවේ අද (25) පස්වරුවේ හැටන් කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ පැවති මාධ්‍යය හමුවකදිය.

මින් ඉදිරියට වතුකරයෙන් මෙහෙකාර සේවයට ළමුන් ගෙන යෑමට කිසිවෙකුටත් නොහැකි බවද හෙතෙම අවධාරණය කළේය.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්ඩින් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදි සිරුරට ගිනි ඇවිලීමෙන් මියගිය ඉෂාලිනිගේ මරණය සම්බන්ධයෙන් පොලිසිය  සිදුකරනු ලබන විමර්ශන කටයුතු සම්බන්ධව තමන් සෑහිමකට පත්වන බවද තොණ්ඩමන් මහතා පැවසුවේය. 

මෙම මරණය සම්බන්ධයෙන් පොලිසිය සිදුකරන විමර්ශන කටයුතු වලට කිසිදු දේශපාලන බලපැමක් එල්ලවී නොමැති බවත් මෙම මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ට අධිකරණයෙන් උපරිම දඩුවම් ලැබෙන බව නීතීඥයෙක් ලෙස තමන් දන්නා බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

වතු කම්කරු පවුල් වල අර්ථික ගැටලු  තිබෙන බව තමන් පිළිගන්නා බවත් එයට විසඳුම ළමුන් මෙහෙකාර සේවයේ යෙදවීම නෙවන බවත් කී රාජ්‍ය අමාත්‍යවරයා ඉෂාලිනිගේ මරණය සම්බන්ධයෙන් කෙරෙන පොලිස් විමර්ෂණ කටයුතු විධිමත් කළ යුතු බවට සියලු දෙනා එකතු වී  බලපැම් කිරීම හොඳ දෙයක් වුවත් ඇතැම් අය මේ තුළින් දේශපාලන වාසි ගැනීමට උත්සහ කරන බවද පැවසුවේය.

වතුකරයේ ළමුන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළට ගෙන ඒම පිණිස වැඩපිළිවෙළ රැසක් දියත්කර තිබෙන බවද තොණ්ඩමන් මහතා කීය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *