තේ වෙන්දේසිය අවුල් වුණොත් කම්කරුවන්ට පඩි නෑ

ලබන මස 03 වැනි දින කොළඹදී පැවැත්වීමට නියමිතව තිබෙන තේ වෙන්දේසියට ඉදිරිපත් කිරීම පිණිස තේ කර්මාන්ත ශාලාවල තේ කොළ නිෂ්පාදනය කළද ඒවා වෙන්දේසියේදී මිළදී ගැනීමට ගැනුම් කරුවන් ඉදිරිපත් නොවන තත්ත්වයක් උද්ගතව තිබෙන බව වතු අධිකාරීවරු පවසති.
කොවීඩ්-19 වෛරසය රටේ ව්‍යාප්ත වීමත් සමඟ ඇඳිරි නීතිය පැනවීම නිසා තේ වතුවල වැඩ නතර කළ නමුත් වතුකම්කරුවන්ගේ ආර්ථිකය ගැන අවධානය යොමුකර රජයේ උපදෙස් මත ඔවුන්ට වැඩ ලබාදුන් බවත් ඒ අනුව වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට නිමි තේ කොළ තොග විශාල ප්‍රමාණයක් කර්මාන්ත ශාලාවල ගොඩගැසී තිබෙන බවත් ඔවුහූ ප්‍රකාශ කරති.
රටේ පවතින තත්ත්වය තුළ වෙන්දේසියේදී මිළට ගන්නා තේ නැව් ගත කිරීමට නොහැකි වාතාවරණයක් ගොඩනැගී තිබෙන බැවින් ගැනුම් කරුවන් තේ මිළට ගැනීමට ඉදිරිපත් නොවන තත්ත්වයක් මතුව තිබෙන බවද වතු අධිකාරිවරු පෙන්වා දෙති.
තේ වෙන්දේසියේදි ගැනුම්කරුවන් තේ මිළට ගනු ලබන්නේ මුදල් ගෙවා බවත් වතු කම්කරු වැටුප් ඇතුළු වතුවල පරිපාලන කටයුතු වලටත් අනෙකුත් සේවාවන් සඳහාත් වැය කරනු ලබන්නේ එම මුදල් බවත් පවසන වතු අධිකාරිවරු තේ වෙන්දේසියේදි නිමි තේ කොළ තොග මිලට ගැනීමට ගැනුම්කරුවන් ඉදිරිපත් නොවුනහොත් දැනට වතු කම්කරුවන්ට ලබාදෙන දෛනික වැඩ කටයුතු තාවකාලිකව නතර කිරිමට සිදු වන බවද පවසති.