තාත්තා සහ හිම
(ජීවිතේ පළමු වතාවට හිම දැක්කෙ තාත්තගෙ උපන් දිනේ දවසෙ)
තාත්තා කියා දුන් කතාවක
හිම මිදී තිබුණා….
රතු සොල්දාදුවෙක්
හිම මතින් දණ ගගා ඇදුණා
වෙඩි වැදුණ කකුලකින්
සුසුදු හිම කැටිති මත
රතු පාට මග ලකුණු ඇඳුණා
වේදනාවෙන් සැලෙන
තාත්තගෙ කටහඬට
පොඩි වුණත් මගේ හිත රිදුණා…..
හිම තැනුව සම බිමෙක
ඔහු සමඟ හිම කෙළින අතරතුර
ඉස්ට්‍රයික්කාර අපෙ තාත්තා
සයිබීරියාවට යැවූ
කරදහිය තැපෑලෙන් ලැබුණා
මිටි මෙළවෙලා තිබුණ
වම් අතේ නො තනියට
පොඩි අතක් පටැලවී තිබුණා
ස්ටෙප්ස් තැනිතලාවට
වඩා දිග බඩගින්න
හිම වගේ හිතේ ගල් ගැසුණා
පොඩි හිතට දරන්න ම
බැරි වෙනා මොහොතකුත් තිබුණා
තාත්තගෙ හිම මිදුණ
ඇස් අතර දහිරියට
හිම බෝලෙකට පයින් වැදුණා…
ඒත් අපි හිම අතර රැඳුණා
අපෙ කකුල් දණ ළඟට එරුණා
බොයිලේරුවෙන් නැඟුණු දුම් රොදක
සීනි නැති කහට සුව පිරුණා
කහට සුවඳින් ඇරුණ
කහට නැති ඇස් දෙකට
කවි ලියන මග ලකුණු පෙනුණා….
ඉර්තු අතරින් බොහෝ දුර ඇව්ද
ගන නිලට කැරලි කෙහෙරැලි නගන
ඒ හිසේ හිම පියලි මිදුණා
ඒත් ඒ කටහඬේ පන්නරය
කිණිහිරක හැමදාම තැළුණා
ඒ හඬින් කතාවක් ඇසුණා
කතාවේ හිම මිදී තිබුණා
-මංජුල වෙඩිවර්ධන-
“ඇහැළ ඇමතුමකට ඇහැරෙමි කෘතියෙන්”