තාක්ෂණය හරහා අලි ආයෙමත් ගමට එනවා – සාගල කියයි

එක්සත් ජාතික පක්ෂය හා සාමාජිකයින් අතර සම්බන්ධතාව වඩාත් වඩාත් තහවුරු කරමින් දෙපාර්ශවය එකම වේදිකාවක් මතට ගෙන ඒම අරමුණු කර ගනිමින් නව ඇප් එකක් හඳුන්වා දෙන බවත් එය එජාප නිර්මාතෘ ඩී.එස් සේනානායක ශ්‍රීමතාණන්ගේ 115 වැනි ජන්ද දිනය යෙදෙන මෙම මස 20 දින එළිදක්වන බවත් පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජික සාගල රත්නායක මහතා පවසයි.

මෙම නව ඇප් එක අදියර තුනක් යටතේ එළිදැක්වීම සිදු කරන බවද ඒ මහතා කීය.

මහනුවර,සෙංකගල හා යටිනුවර ආසන නියෝජනය කරන මන්ත්‍රීවරු හා ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රත්නායක මහතා මේ බව ප්‍රකාශ කළේය.රැස්වීම මහනුවර එජාප කාර්යාලයේදී ඊයේ (09) පැවැත් විණි.

එහිදී වැඩිදුරටත් කතා කළ හිටපු මන්ත්‍රීවරයා මෙසේද කීවේය.එක්සත් ජාතික පක්ෂය නැවත ප්‍රතිසංවිධානය කිරීමේ වැඩසටහන ආරම්භ කර තිබෙනවා.බිම් මට් සංවිධානය ගොඩනගා ගන්න අපිට පුරුදු පැරණි ක්‍රමය නැවත ගමට ගේනවා.ඊට සමගාමීව අපි තාක්ෂණය ඇතුළු කරගෙන අපේ සංවිධාන වැඩ කටයුතු කරනවා.බිම් මට්ටමින් සංවිධාන අපි මුලින් ආරම්භ කරනවා.දිස්ත්‍රික් මට්ටමින්,ආසන මට්ටමින් ,පළාත් පාලන ආයතන මට්ටමින් වගේම පළාත් පාලන කොට්ඨාස මට්ටමින් අපි සංවිධාන ගොඩනගා ගන්නවා.තාක්ෂණය පැත්තෙන් අපි ඇප් එකක් නිර්මාණය කරනවා මෙම මස 20 කියන්නේ ඩී.එස් සේනානායක මැතිතුමන්ගේ 115 වැනි ජන්ම දිනය සමරන දිනය.එදිනට අපි ඇප් එක එළිදක්වනවා.මේ ඇප් එක එජාප සාමාජිකයින් හා  පක්ෂය එකට එකතු කරන්න පුළුවන් වේදිකාවක් වෙනවා. ඉන් බොහෝ කටයුතු කරන්න පුළුවන්.අදියර තුනකින් මේක එළිදක්වනවා.පළමු අදියරේදී අපි අපේ සාමාජිකයින් ලියාපදිංචි කරනවා.දෙවැනි අදියරේදී මේ ඇප් එක මගින් සාමාජික ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ කරනවා.

අපේ සමාජිකයින්ට පුළුවන් වෙනවා රුපියල් 100.00 පක්ෂ සමාජිකත්වය පතක් ඒ ඇප් එක හරහා මිලදී ගැනීමට. තව සාමාජික පතක් තිබෙනවා තවුසන් එම් කියලා.මාසෙකට රුපියල් 1000.00 ක් බැගින් වසරකට රුපියල් 12000.00 ක් ඇප් හරහා ගෙවලා සාමාජිකත්වය ගන්න පුළුවන්.රුපියල් 100.00 ක් අය කරන්නේ වර්ෂයට මයි.ඒක තමයි නියම සාමාජිකත්වය.රුපියල් 1000.00 කියන්නේ පක්ෂ අරමුදල වෙනුවෙන් කැපවීමක් කරන්න කැමැති අයට දෙන සාමාජිකත්වයක්.මේක පක්ෂයට  දිස්ත්‍රික් හා ආසන මට්ටමින් වැඩපිළිවෙළ කරගෙන යන්න සවියක් වෙනවා.දුරකතන ජාල එක්ක කතා කරමින් යනවා දුරකතන බිල්පත් හෝ ෆ්‍රී පේඩ් කාඩ්පත හරහා රුපියල් 100.00 එකතු කරන්න පුළුවන්ද කියලා. ඒක සාර්ථක වුණොත් ඒක පහසුම ක්‍රමය වෙනවා.

පක්ෂයේ දත්ත ගබඩාව අපි ගොඩනගනවා.සාමාජික විස්තර,නම,ගම දුරකතන අංක, උපන් දිනය පමණක් නොව අධ්‍යාපන මට්ටම,නිවැසියන් ගණන,ස්ථිර නිවසක් හිමිද, රැකියාවක් තිබෙනවාද ආදි තොරතුරු ගොඩක් එකතු කරලා දත්ත ගබඩාව ගොඩ නගනවා.පාක්ෂිකයෝ පක්ෂය වෙනුවෙන් ගොඩක් කැපවෙනවා.ඒවා මෙහි වාර්තා කරනවා. පක්ෂ රැස්වීමකට සහභාගි වන අය ආසන සංවිධායකවරුන් සතු ඇප් එක මගින්  QR කෝඩ් එක ස්කෑන් කළාම මෙදින රැස්වීමට සහභාගි වුණා කියලා සටහන්  වෙනවා.එතන බලය යන්නේ සංවිධායක තුමාටයි. තමන්ගේ ආසනයේ සංවිධාන කටයුතු ශක්තිමත්ව කරගෙන යන්න මේ ඔස්සේ සංවිධායකවරුන්ට අවස්ථාව ලැබෙනවා.පක්ෂය වෙනුවෙන් පාක්ෂිකයෝ කරන කැපවීම මොකක්ද කියලා සියලු තොරතුරු මේ තාක්ෂණය ඔස්සේ අප එකතු කර ගන්නවා.යම් අයෙකු මැතිවරණයක් සඳහා තරඟ කරන්න අපේක්ෂකත්වය ඉල්ලුවොත් ඔහු හෝ ඇය ගැන සියලු තොරතුරු අප සතු නිසා තීරණයක් ගැනීම පහසු වෙනවා.

මේක දේශපාලන වශයෙන් තරඟ පවත්වන්න කාලයක් නොවෙයි.රටේ වසංගත තත්ත්වයක් තිබෙනවා.ආර්ථික ප්‍රශ්නය ඉතාමත් බැරෑරුම් එකක්.අධ්‍යාපනය කඩා වැටිලා.මේ වගේ වෙලාවක සියලු පක්ෂ වසංගත පාලනය කරලා ආර්ථිකය කඩා වැටීමට වලක්වා ගැනීම සඳහා එකතු වෙලා වැඩ කරන්න ඕන.විපක්ෂයේ ඉඳන් වැඩක් කරන්න පුළුවන්.බැහැ කියන්න බැහැ.විපක්ෂයට පුළුවන් තමන්ගේ වැඩපිළිවෙළ යෝජනා කරන්න.ඒක ආණ්ඩුව බාරගන්නවාද නැද්ද කියන එක වෙනම දෙයක්.පසුගිය අප්‍රේල් මාසේ අපේ නායකතුමා මේ ගැන කතා කළා.එන්නත දෙන්න සූදානම් වෙන්න කිිව්වා.පී.සී.ආර් පරීක්ෂණ ප්‍රමාණය වැඩි කරන්න කිව්වා.

මේ රජය කරන වැඩ ගැන ඇත්තටම අපිට ස්ථිරව යමක් කියන්න  අමාරුයි. අද තියෙන තත්ත්වය නොවේ හෙට තිබෙන්නේ. අද තියෙන ගැසට් එකට සම්පූර්ණයෙන්ම පරස්පර ගැසට් එකක් හෙට ගහනවා.ඊළඟ දවසේ ඒ ඔක්කොම අයින් කරලා  වෙනස්ම දෙයක් කරනවා.හැම විනාඩියකදීම ඇහැ ගහගෙන හිටියේ නැත්නම් මොකක්ද වෙන්නේ කියලා හිතා ගන්න  බැහැ. අද තිබෙන බඩු මිල නෙවෙයි හෙට තිබෙන්නේ.බඩු මිල වැඩි වෙන්නේ 1% කින් හෝ 2% කින් නොවේ.සියයට සීයයකින් බඩු මිල වැඩිවන අවස්ථාත් දැකිය හැකියි.මේක විදේශ විනිමය නැතිවීම නිසාම ඇතිවූ ප්‍රශ්නයක්ම නොවෙයි.ආර්ථිකය කළමනාකරණය කිරීමේ ගැටලුවක් තිබෙනවා.විදේශ විනිමය නොමැතිවීම එක ප්‍රශ්නයක් විතරයි.රටකට  ආදායමක් එන්නේ නැත්නම් අපි කොහොමද රටට අවශ්‍යය ආනයන  ලබා ගන්නේ. ගෙදරක වුණත් වියදමට වඩා ආදායම නොතිබුණොත් ප්‍රශ්න.ගෙදරක් ඇතුළේ තාත්තා,අම්මා,පුතා අතර සල්ලි මාරු වුණාට වැඩක් නැහැ.පිටින් ගෙදරට සල්ලි එන්න ඕන.රටේ ආදායම් තත්ත්වය වැඩි වෙන්නේ අපනයන වැඩි වුණාමයි.විදේශ මුදල් එන සේවාවන් කඩා වැටීම දරුණු ලෙස බලපා තිබෙනවා.

පක්ෂයක් ගොඩ නගන්න ඕන රටට ජනතාවට වැඩක් කරන අරමුණින්.ඒ සඳහා වැඩපිළිවෙළක් තියෙන්න ඕන.එහෙම වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න බැරිවූ පක්ෂයක් තමයි සමගි ජනබලේවේගය.අද ඒක පහකට කැඩිලා කියලා මාධ්‍ය වාර්තා කරනවා.කැඩුණු කෑලි එකක් දෙකක් විතර අපිත් දන්නවා.අපි අවශ්‍යය වෙලාවට ඒවා ගැන කතා කරනවා.අපි සාමාජිකත්වය ගොඩනගද්දී සීමා දාන්නේ නැහැ.අවංකවම පක්ෂය හා රට වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් කණ්ඩායමක් අපි ගොඩ නගනවා.අපේ අරමුණ ආණ්ඩු බලය ගෙන නිවැරදිව මේ රට පාලනය කිරීමයි.අපේ නායකතුමා කිව්ව ආකාරයේ යකඩ රාමුවක් වැනි ප්‍රතිපත්ති පදනමක් මත රට මෙහෙයවන්න ඕන.මේ රටේ ජනතාව ඇත්තටම දැන් දුක් වින්දා ඇති.සම්පත් තිබෙන රටක් මේක. මේ සම්පත් නිවැරදිව උපයේාගි කර ගත්තොත් අපිට විදේශ විනිමය උපයන්න පුළුවන්.නිතීය හරියට ක්‍රියාත්මක වුණොත්,විනයක් ඇතිව රට පාලනය කළොත් හොඳ ආනාගතයක් ජනතාවට දෙන්න පුළුවන්.ඒ වෙනුවෙන් එකතු වෙන සියලු දෙනා එක්ක අපි වැඩ කරනවා.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.