තවමත් ලාදුරු තුරන් වී නැහැ – වෛද්‍ය චම්පා අලුත්වීර

මෙරටින් වාර්ෂිකව ලාදුරු රෝගීන් 2000 ක් පමණ වාර්තා වන බවත් ඒ අතරින් 10.9 % ක් වයස අවුරුදු 15 අඩු ළමුන් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චම්පා අලුත්වීර මහත්මිය පවසයි.
වර්ෂ 2019 දී මෙරටින් ලාදුරු රෝගීන් 1792 දෙනෙකු වාර්තා වූ බවත් වැඩිහ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතින් බවත් ඇය කීවාය.
මෙරට ලාදුරු ව්‍යාප්තිය අවම කිරීම පිණිස ලාදුරු මර්දන ව්‍යාපාරය යටතේ දිස්ත්‍රික් මට්ටමින් සිදුකරන වැඩපිළිවෙළ සමාලෝචනයට ලක්කිරීම නිමිත්තෙන් ඊයේ (17) පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී පැවැති රැස්වීමකදී අධ්‍යක්ෂවරිය මේ බව ප්‍රකාශ කළාය. නිසිලෙස ප්‍රතිකාර ගැනීමෙන් ලාදුරු නිට්ටාවට සුව කළ හැකි බවත් ඇතැම් රෝගීන් අඛන්ඩව ප්‍රතිකාර නොගැනීම නිසා ගැටලු රැසක් පැන නැගී තිබෙන බවත් ඇය කීවාය.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලාදුරු මර්දන ව්‍යාපාරයේ විශේෂඥ වෛද්‍ය කපිල පියසේන මහතා කොවිඩ් තත්ත්වය හමුවේ රට වසා සංචරණ සීමා පනවා තිබියදී 2020 වසරේදී ලාදුරු රෝගීන් 1200 ක් පමණ වාර්තා වූ බවත් මෙය ඉතා අවධානම් තත්ත්වයක් බවත් ප්‍රකාශ කළේය.
දැනට හඳුනාගෙන තිබෙන ලාදුරු රෝගීන් අතරින් 70% ක් පමණම රෝගය සෙසු අයට බෝකිරීමේ හැකියාව ඇති අය බවත් ඔවුන්ට වසරක පමණ කාලයක් අඛන්ඩව ප්‍රතිකාර ලබා ගැනීමෙන් සාමාන්‍ය ජීවිතයත් ගතකළ හැකි බවත් කී ඒ මහතා රෝග කාරක බැක්ටීරියාව ශරීරගතව ඇතත් වෙනත් අයට රෝගය බෝ කළ නොහැකි අයට ප්‍රතිකාර ලබාගත යුත්තේ මාස හයක පමණ කාලයක් පමණක් බවද අවධාරණය කළේය.

වැලිසර ලාදුරු රෝහලේ එකළ රෝගීන් 800 ක් පමණ රඳවා සිටි නමුත් අදවන විට එම සංඛ්‍යාව 32 ක පමණ සංඛ්‍යාවක් දක්වා පහත බැස තිබෙන බවද ඒ මහතා කීය. මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මහේන්ද්‍ර ආන්ල්ඩ්,මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සේනක තලගල,මධ්‍යම පළාත් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ සුරංගල ප්‍රනාන්දු,මහනුවර දිස්ත්‍රික් ලාදුරු මර්දන මහජන පරීක්ෂක ජානක පනම්පිටිය යන මහත්වරුද සහභාගි වූහ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *