තවත් කඳුකර කොටියෙක් මරා දැමේ.

මන්දකට හසුවී තුවාල ලත් කොටියෙකු මන්දත් සමඟ ගසකට නැගීමෙන් පසු එම ගසේ දෙබළක සිරවී සිටියදී පශු වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් විසින් පැය තුනක මෙහෙයුමකින් පසු කොටියා පහළට ගැනීමට සමත් වුවත් ඉන් පැය කිහිපකට පසු කොටියා මියගොස් ඇත.
බරපතල තුවාල ලැබ සිටි කොටියා ප්‍රතිකාර සඳහා රණිදෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත රැගෙන යන අතරතුර ඊයේ (18) රාත්‍රියේ මියගිය නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වන සත්ත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.
මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මොර් තේ වත්තේ තම්බතැන්න කොටසේ විශාල ගසක අඩි 20 ක පමණ උසක පිහිටි දෙබළක කොටියා සිරවී සිටි ඇත.උදරප්‍රදේශයේ සිරවූ මන්දත් සමඟ ගසට නගින ලද කොටියා ගස් දෙබළේ සිරවී පැය ගණනාවක් සිට ඇති අතර ගසින් බැසීමට උත්සහ කළ අවස්ථාවේ සතාගේ උදර ප්‍රදේශය තවත් සිරවි තිබෙන බව වනජීවී නිලධාරීහු පවසති.
මන්දට අසුව තුවාල ලැබ සිටි කොටියාට වතු කම්කරුවන් පිරිසක් ගල් මුගුරු වලින් පහරදී තිබෙන අතර එම අවස්ථාවේ ඔවුන්ගෙන් බේරීමට කොටියා ගසට නැග තිබෙන බව පරීක්ෂණ මගින් හෙළිවී ඇත.
රන්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ පශු වෛද්‍යයවරුන් නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින් සමඟ එක්ව දැඩි පරිශ්‍රමයක් දරා නිර්වින්දනය කර කොටියා ගසින් පහළට ගෙන තිබේ.උදර ප්‍රදේශයේ සිරවී තිබු මන්ද දැඩි පරිශ්‍රමයක් දරා කපා ඉවත්කර ආරක්ෂිත කුඩුවක දමා වැඩි දුර ප්‍රතිකාර සදහා කොටියා රණ්දෙණිගල පශු වෛද්‍යය රෝහල වෙත රැගෙන යන අතරතුර මිය ගොස් ඇත.
ශ්‍රි පාද රක්ෂිතයේ සැරිසැරූ මෙම කොටියා අවුරුදු 4 ක පමණ වයසේ පසුවන බවත් ඌ අඩි හතරක පමණ දිිගකින් යුතු බවත් වනජීවි නිලධාරිහූ ප්‍රකාශ කරති.
දිගු වේලාවක් මන්දේ සිරවී සිටියදී බේරි යාමට උත්සහ කිරිම නිසා කොටියාගේ උදර ප්‍රදේශයට දැඩි ලෙස තුවාල සිදුව තිබෙන බවත් සතාගේ වකුගඩු වලට දැඩි ලෙස හානි සිදුවීම මරණයට හේතුවී තිබෙන බවත් ප්‍රභාෂ් කරුණාතිලක මහතා කීය.
මිය ගිය කොටියා සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කරන බවද ඒ මහතා පැවසීය.