තලවකැලේදී ජපුර සිසුන්ට බඹර පහර

 තලවකැලේදී ජපුර සිසුන්ට බඹර පහර

තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කඳුවැටිය තරණය කිරිමට ගිය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් බඹර ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් සිසුන් නව දෙනෙකු ඊයේ (16) පස්වරුවේ ලිදුල ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර තිබේ.
තලවකැලේ ග්‍රේට්වෙස්ටර්න් කදුවැටිය සම්බන්ධයෙන් අධ්‍යයන කටයුත්තක් සදහා මෙම විශ්ව විද්‍යාල සිසුන් කන්ද තරණය කර කඳු මුදුනේ කඳවුරු බැඳීමට ගිය අවස්ථාවේ බඹර ප්‍රහාරයට ලක්ව තිබෙන බව පොලීසිය පවසයි.
මෙම සිසු පිරිස (15) දින කොළඹ සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියෙන් ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථානය වෙත පැමිණ තිබේ.ඔවුන් 16 දින පෙරවරු 9.00 ට පමණ කන්ද තරණය කිරීම ආරම්භ කර ඇත.
ග්‍රේට්වෙස්ටර්න් රක්ෂිතයේ ගසක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සීම නිසා තමන් ඇතුළු සිසුන් 09 දෙනෙකු බඹර ප්‍රහාරයට ලක්වූ බව ලිඳුල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සිසුවෙකු ප්‍රකාශ කළේය.
ග්‍රේට් වෙස්ටර්න් කදුවැටිය ආශ්‍රිත රක්ෂිතයේ බඹරුන් විශාල වශයෙන් කූඩු බැද ඇති නිසා කන්ද තරණය කිරිම අවදානම් බවත් මේ පිළිබඳව පැමිණෙන පිරිස් දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙන බවත් ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපතිවරයා පැවසුවේය.
බඹර ප්‍රහාරයට ලක්වූ සිසුන් 119 පොලිස් හදිසි ඇමතුම් අංකය වෙත දැනුම් දිමෙන් පසු තලවකැලේ සහ ලිදුල පොලිස් ස්ථානවල සම්බන්ධීකරණය යටතේ ගිලන් රථ කිහිපයක් ග්‍රේට්වෙස්ටර්න් කදු පාමුලට ගෙන ගොස් සිසුන් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබේ.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *