ජෛව සම්පත් හොරකමේ ආ රුසියානුවන් අල්ලයි
හොර්ටන්තැන්න ජාතික වන උද්‍යානයට ඇතුළුවී උද්‍යානය තුළ වෙසෙන මෙරටට ආවේනික සතුන් අල්ලා රැගෙන යාමට තැත් කළ රුසියානු ජාතිකයින් තිදෙනෙකු හොර්ටන්තැන්න ජාතික වන උද්‍යානයේ නිලධාරින් විසින් ඊයේ (03) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණයේ දිසා විනිසුරු ප්‍රබෝධ ජයසේකර මහතා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ මෙම මස 12 දින දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
මෙම රුසියානු ජාතිකයින් තිදෙනා මෙයට දින 15 කට ප්‍රථම මෙරටට පැමිණ තිබෙන බව පරීක්ෂණ මගින් අනාවරණයවී තිබේ.
අවුරුදු 30 -40 වයස් කාණ්ඩවල පසුවන මොවුන් හොර්ටන්තැන්න ජාතික වන උද්‍යානය වෙත ඇතුළුවී උද්‍යානය තුළ වෙසෙන මෙරටට ආවේනික ගෝනුස්සන්, කටුස්සන්,සමනලයන් ඇතුළු තවත් සතුන් කිහිපදෙනෙකු අල්ලා විශේෂ බඳුන් වලට දමා ගනිමින් සිටියදි හොර්ටන්තැන්න වන උද්‍යානයේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත.
සැකකාර රුසියානු ජාතිකයන් තිදෙනා ඊයේ (03) හෝර්ටන්තැන්න ජාතික වන උද්‍යානයට ඇතුළුවී ඇති බවත් සැකකරුවන් තිදෙනා දිවයිනේ ස්ථාන කිහියකම සංචාරය කර මෙරටට පමණක් ආවේනිකවූ කුඩා වන සතුන් අල්ලා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙන බවත් පරීක්ෂණ මගින් හෙළිව තිබේ.
සතුන් ඇල්ලිම සදහා උපයෝගි කරගත් උපකරණ රැසක් සමඟ සැකකරුවන් විසින් අල්ලා ප්ලාස්ටික් බඳුන් වල දමා තිබු වන සතුන් කිහිප දෙනෙකුද වනජිවි නිලධාරින් භාරයට ගෙන ඇත.
