leptospirosis

ජීවිත දෙකක් මීයන්ට බිලි තවත් පිරිසක් මහනුවර රෝහලේ

මහනුවර ජාතික රෝහලේ මී උණ බවට සැක ක‍ෙරෙන රෝගීන් 24 දෙනෙකු ඇතුළත්ව ඇති බවත් ඔවුන්ගෙන් 12 දෙනෙකුට මී උණ ඇති බවට තහවුරුව තිබෙන බවත් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි.මේවන විට රෝහලට ඇතුළත් කළ මී උණ රෝගීන් දෙදෙනෙකු මරණයට පත්ව තිබෙන බවත් ඔවුන් දෙදෙනාම තරුණ වයසේ පසුවන්නන් බවත් ඒ මහතා කීය. මහනුවර ජාතික රෝහලේ පැවැති මාධ්‍ය හමුවකදී අධ්‍යක්ෂවරයා පෙරේදා (24) මේ බව ප්‍රකාශ කළේය. රෝගයට ගොදුරු වූවන් කඩිනම් ප්‍රතිකාර වලට යොමු නොවීම නිසා අසාධ්‍ය තත්ත්වයට පත්ව විවිධ සංකූලතා සහිතව රෝහලට පැමිණෙන බවත් එම අවස්ථාවල ඔවුන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත්කර ප්‍රතිකාර ලබාදීමට සිදුවන බවත් රත්නායක මහතා පැවසුවේය.

කොවිඩ්-19 ප්‍රශ්නයත් සමඟ නිවෙස් වලට වී සිටි ජනතාව ගොවිතැන් කටයුතු වල නිරත වීමට වැඩි නැඹුරුවක් පසුගිය කාලයේ දැක්වූ බවත් පුරන් කුඹුරු අස්වැද්දීම වැනි කටයුතු වලට යොමුවීමේදී මි උණ රෝගයෙන් ආරක්ෂා වීමට වගබලා ගැනීම ඉතා වැදගත් බවත් මහනුවර ජාතික රෝහලේ කායික වෛද්‍ය විශේෂඥ ඩබ්ලිව්.කේ.එස් කුලරත්න මහතා පවසයි. ජලය එක්රැස්වී තිබෙන කුඹුරු ඇතුළු වගා බිම් වලට බැසීමට පෙර ඩොක්සිසයික්ලීන් (Doxycycline)ප්‍රතිජීවක ඖෂධය වෛද්‍ය උපදෙස් මත ලබා ගැනීම මගින් මී උණ රෝගයෙන් ආරක්ෂා විය හැකි බවද ඒ මහතා කීය. මී උණ රෝගීන් බහුලව වාර්තා වන්නේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් බවත් ගාල්ල එහි දෙවන ස්ථානයේ පසුවන බවත් කී කුලරත්න මහතා මෙයට අමතරව දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින්ද රෝගීන් වාර්තා වී ඇතැයි ප්‍රකාශ කළේය.

රෝගයට ගොදුරුවන පිරිසෙන් සියයට 90ක් පමණම නිසි ප්‍රතිකාර ලබාදීමෙන් සුවකළ හැකි බවත් වැඩි පිරිසක් මරණයට පත්වන්නේ රෝග ලක්ෂණ තිබියදී ඒවා නොසලකා හැර ප්‍රතිකාර ලබා නොගෙන සිටීමෙන් බවත් හෙතෙම පැවසුවේය. බැක්ටීරියාව ශරීරගතව දින 02 ත් 14 ත් අතර රෝග ලක්ෂණ මතුවන බවත් උණ සහ කෙණ්ඩාවල තදබල වේදනාව සමඟ හිසරදය,ඇස් කහ වීම,මූතා වල වර්ණය වෙනස්වීම දැකිය හැකි බවත් ඒ මහතා කීය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *