ජන දුක විකුණන වෙල්ලස්සේ ජඩමාධ්‍ය කරුමාන්තය

 ජන දුක විකුණන වෙල්ලස්සේ ජඩමාධ්‍ය කරුමාන්තය

මේ කතාව ඇරඹෙන්නේ දෙරණ රූපවාහිනියේ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන සංඛ අමරජිත් ආලවට්ටම් දමා පැවසූ යාං හෑල්ලකට පසු පෙන්වූ මොනරාගල බුත්තල වැසියෙකු කන්නට බොන්නට යමක් නැතිව දරුවන්ට පොවන්නට කිරිපිටිද නැතිව කුරුම්බා කපා පොවන අන්දම පෙන්වන දසුනකිනි. දෙරණ පෙන්වූ මේ ජනකරුමය යාං හෑල්ලක් පමණක් වන්නේ නිලධාරීන්ටද දෝෂාරෝපණය කරන දර්ශන රැගත් එය තමන්ගේ යූටියුබ් චැනලය ඔස්සේද පෙන්වන ප්‍රාදේශීය මාධ්‍යවේදියා තමන් විසින්ම තිර පිටපත ලියූවක් දෙරණට යවා ඇති බව හෙළිකරමින් බුත්තල ප්‍රාදේශීය ලේකම්වරයා රාජකාරි මට්ටමේ ලිපියක් ලිවීම නිසාය. එහෙත්, දෙරණ ඒ ලිපියට නිසි ගුවන්කාලයක් වෙන්කර ප්‍රචාරයක් නොදෙන අතර එවැනි ලිපියක් නිකුත්ව ඇති වග ජනතාව දැනගන්නේ බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ෆේස්බුක් පිටුව නිසා ය.

බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ෆේස්බුක් සටහන

බුත්තල ප්‍රාදේශීය ලේකම් ආර්.එම්.ආර්.එස් තිලකරත්න මහතාගේ අත්සනින් දෙරණ හිමිකරු දිලිත් ජයවීර අමතා  නිකුත් වූ ලිපිය හෙළිකරන්නේ බුත්තල පැලවත්ත වසමේ පදිංචි යූ.ඩී. සිරිසේන නමැති වාණිජ මට්ටමෙන් ගඩොල් කපා විකුණන සමෘද්ධි ආධාර හිමි සහ කොවිඩ් සමයේ රජය පිරිනැමූ රුපියල් 5000 දීමනාවද ලද පුරවැසියා සම්බන්ධයෙන් වැල්ලවාය ප්‍රාදේශීය වාර්තාකාර යූ.එස්.පී බණ්ඩාර නමැත්තා එවා ඇති වාර්තාව සාවද්‍ය බවයි. ප්‍රාදේශීය ලේකම් තිලකරත්න මහතා පවසන්නේ, බණ්ඩාර නමැති වාර්තාකරුවා විවිධ පාර්ශවවලින් මුදල් ලබා ගැනීමේ අභිප්‍රායයෙන් ගොතන ලද සිද්ධියකට අනුව, තමන්ට දරුවන් සඳහා කිරිපිටි ගන්නට මුදල් නොමැති බැවින් කුරුම්බා පොවා ජීවත් කරවන බව යූ.ඩී. සිරිසේන පවසන බවයි. පසුගිය කාලය පුරාම සිරිසේනගේ පවුලට රජය සපයා ඇති සහන පිළිබඳ විස්තරද එම ලිපියේ දැක්වෙයි.

බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පෙන්වා දෙන පරිදි සිරිසේනගේ පවුලට රජය දුන් සහන

දෙරණ සිද්ධිය ප්‍රචාරය කිරීමෙන් අනතුරුව යූ.ඩී සිරිසේනගේ නිවසට ගිය නිලධාරීන්ට ඔහු පවසා ඇත්තේ “තමා මළ පොතේ අකුරක් නොදන්නා අතර මේ වාර්තාකාර මහතා නිවසට පැමිණ ඔහු පවසන අන්දමට කටයුතු කරන්නේ නම්” විවිධ ප්‍රතිලාභ ලබා දෙන බව පැවසූ බවයි. බුත්තල ප්‍රාදේශීය ලේකම් තිලකරත්න මහතා අප වෙත මේ සිදුවීම සම්බන්ධයෙන් පවසා සිටියේ “මේක ජාවාරමක් මොනරාගල දුප්පත් මිනිස්සු රවටලා, විදේශවල ඉන්න ලාංකිකයොත් රවටලා තමන්ගෙ ගිණුම්වලට මුදල් ගෙන්වා ගන්න අය ඉන්නවා. එක්කෙනෙක් ඔය බණ්ඩාර. අපි ගියා සිරිසේනලා ගෙදර. යද්දි කිසි හිඟයක් නැතිව කෑම බීම තිබ්බා. එයා වැඩකරලා තියෙන්නෙ මාධ්‍යවේදියාගෙ පිටපතට. වාණිජ වශයෙන් ගඩොල් ව්‍යාපාරය කරන, සමෘද්ධියත් තියෙන, යතුරුපැදියක්, ත්‍රිරෝද රථයක් තියෙන කෙනෙක්. ගේ හදලා නැහැ. ඒ නිසා 2020 දිරිය පියස වැඩසටහනට ඇතුළු කරලා තියෙනවා. මනුස්සයා කියනවා තමන්ට පොල් ගහේ නගින්න බැහැ. ලොකු ළමයා කඩල තිබ්බ කුරුම්බ මාධ්‍ය මහත්තයම අතට දීලා පොඩි දෙන්නට කපලා දෙන්න කිව්වා කියලා” දෙරණ  ප්‍රාදේශීය මාධ්‍යවේදී  බණ්ඩාරගේ මේ නාටකයේ ඒ ඇත්ත කතාව බුත්තල රාජ්‍ය නිලධාරීන් සමාජ මාධ්‍යවල වීඩියෝ සහිතව පළ කළ විට මාධ්‍යවේදියා නැවත වරක් එහි ගොස් ඇත. එවර ඔහු සිරිසේන ලවා කියවා ගන්නේ, රාජ්‍ය නිලධාරීන් පැමිණි විට බියට තමන් මොනවා හෝ පැවසූ බවයි. පුදුම වන්නට දෙයක් නැත ඒ සිරිසේනලාගේ හැටිය. මේ සියලු ආටක නාටක බණ්ඩාරගේ ෆේස්බුක් පිටුවේ සහ වෙල්ලස්ස ටී.වී. නමැති යූ ටියුබ් චැනලයේද, බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ෆේස්බුක් පිටුවේද දැකගත හැකිය.

ප්‍රාදේශීය මාධ්‍යවේදියා සහ බණ්ඩාරලා

එවක වැල්ලවායේ ගරු කටයුතු මාධ්‍යවේදීහු සිටියහ. දඹේගොඩ ජිනදාස වැනි පැරැණියන් ජීවමාන උදාහරණ ය. පසුව මාධ්‍ය කලාව අරක්ගත්තේ තමන් කරන ඕනෑම නිහීන කාර්යයක් “ජනතාවගේ තොරතුරු අයිතිය වෙනුවෙන් යැයි” කියා ගැලවිය හැකි යැයි සිතන තක්කඩින් පිරිසකි. සැබෑ මාධ්‍ය කලාව රැඳී ඇති පුවත්පත්වලට ලිපියක්, විශේෂාංගයක් ලියා ගන්නට නොහැකි කැමරාවක් අල්ලන්නට දත් පමණින් මාධ්‍යවේදීන් බවට රූපාන්තරණය විය හැකි ඔවුන්ට මෙරට රූපවාහිනී නාළිකාවලින්ද කදිම ඉල්ලුමක් නිර්මාණය විය. වැල්ලවායේ යූ.එස්.පී බණ්ඩාරද  එම ඉල්ලුමට සැපයුම දෙන්නට තරම් දක්ෂ කෛරාටිකයෙකි. ඔහු සිරස, හිරු, දෙරණ ආදී සියලු නාළිකාවලට වාර්තා සපයමින් අසීරුවෙන් ජීවිකාව සරි කරගත්තෙකි. පසුකලෙක දේශපාලන හිතවත්කම් ඇතිකරගන්නා හෙතෙම වැල්ලවාය බස්නැවතුම අසළ වෙළඳ සංකීර්ණයේ ඉඩක් වෙන්කරගෙන කාර්යාලයක් අටවා ගන්නා අතර යූ ටියුබ් ආශිර්වාදයක් කර ගනිමින් “වෙල්ලස්ස සුපර් ස්ටාර්” නම් තරඟයක් ආරම්භ කළේය. එසමයෙහි මොනරාගල හා ඌවේ ජනයාද රූපවාහිනී නාළිකාවල තරු තෝරන තරඟවලින් ඇස් ගිනි කණ වැටී සිටි හෙයින් බණ්ඩාරගේ සුපර් ස්ටාර් වෙන්නට හෝ සිතා දරුවන් ඊට එවූහ. බණ්ඩාර ජයග්‍රාහකයන්ට දෙන්නට යතුරුපැදියක් වැනි තෑග්ගක් සොයා ගන්නට සමත් වූ අතර තමන්ද සිය බිරිඳ හා දරුවන්ද තරු අතර රඳවන්නට අපූරු උපක්‍රමයක් සොයා ගත්තේය. එනම් මේ තරඟයේදීද දිනන්නට නම් SMS වැඩිපුර ලැබිය යුතු වූ අතර ඒවා එවිය හැක්කේ බණ්ඩාරට SMS එකකට රුපියල් 10 බැගින් ගෙවා මිලට ගන්නා කූපන් ඇත්නම් පමණි. බණ්ඩාර වෙල්ලස්සේ බිහිකළ සියලු තරු ඇතැම් ඒවා ඔහුට වෙනත් ප්‍රයෝජනද ලබා දීමෙන් පසු නිවී ගිය අතර ඔහුගේ ලෝකයට පමණක් නිවෙස ඉදිවී, වාහනයක් ගන්නට හැකි වී  තරු පායා ආවේය. ඒ හම්බ කළ ලක්ෂ ගණනක කූපන් සල්ලිවලිනි.

මොනරාගල ලංකාවේ දරිද්‍රතා දර්ශකයේ අංක එකේ දිස්ත්‍රික්කයයි. ක්ෂුදු මූල්‍ය මරඋගුලට පවා මේ ජනයා සිරව සිටින්නේ ඉසිලිය නොහෙන ආර්ථික පීඩනය හා නූගත්කම නිසායි. සානුකම්පිතව බැලිය යුතු විශේෂයෙන්ම සමාජ වගකීම විශ්වාස කරන මාධ්‍යවේදීන්ගේ අවධානයට යොමුවිය යුතු මේ තත්ත්වය ජාවාරමක් බවට පත්කරගත හැකි බව බණ්ඩාර සිය තුන්කල් දක්නා නුවණින් දුටුවේය. එහි ප්‍රථිඵලයක් ලෙස ඔහුගේ මීළඟ ගොදුර බවට පත් වුණේ මොන්ටිසෝරි ටීචර්ලා සහ අහිංසක මල් කැකුළුවල දෙමව්පියන් ය. මොන්ටිසෝරි ගුරුවරියන් පුහුණු කරන වැඩසටහන් සහ ඒවායේ වාර්ෂික උත්සවද, සිය යූ ටියුබ් චැනලය වූ ඊනියා වෙල්ලස්ස ටී.වී උපයෝගී කරගනිමින් පැවැත් වූ ඔහු එහිලා කළ මුදල් ඉපයීමෙන් එහා ගිය කටයුතු ජුගුප්සාජනක බැවින් සහ ඇතැම් වනිතාවන්ට වන අයහපත සළකා හෙළි කළ නොහැක.

වැල්ලවායේ බණ්ඩාර මන්ත්‍රී

ජඩකම් කිරීම උදෙසා විලිබිය සිඳගත් බොහෝ පුද්ගලයන් අවසානයේ එළඹෙන්නේ දේශපාලනයටයි. බණ්ඩාරද දේශපාලනයට පිවිසීමට සිතා ප්‍රධාන පක්ෂ දෙකෙන් නාමයෝජනා අපේක්ෂා කළත් නොලැබුණු නිසා ස්වාධීන කණ්ඩායමක් අටවා ගෙන කොට්ඨාශයක් නොදින්නත් සමස්ත ඡන්ද ප්‍රමාණය අනුව වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීකමකට පත් විය. ඒ කණ්ඩායමේ මුල් පෙළ ඡන්ද ලබා ගැනීමෙන් නොව තමන් නායතයා බව කියා සහ මාධ්‍ය හයිය පෙන්වා අනෙක් අපේක්ෂකයන් රැවටීමෙනි. තමන්ගේ වැල්ලවාය ප්‍රාදේශීය වාර්තාකරුවා ක්‍රියාකාරී දේශපාලනඥයෙකු වීම සහ දේශපාලන හබයක් නිසා ප්‍රාදේශීය සභාවේ සභාපති හරමානිස්ගෙන් සැසි සභාවේදී ගුටි කෑම දෙරණට හෝ ඔහු වාර්තා සපයන නාළිකාවලට පුවතක් වූයේ නැත.

මීළඟට මාධ්‍යවේදී, මන්ත්‍රී බණ්ඩාරගේ කූට අක්ෂියට හසුවන්නේ බුදුන් සහ ශ්‍රද්ධාවෙන් අන්ධ වූ බෞද්ධයින් ය. ඔවුන් රැවටීමට ඔහු නිර්මාණය කළ සැළැස්මට අනුව පසුව මුදල් දෙනවා යැයි සඳහන් කරමින් නමුත් මුලු මුදල කිසිදිනෙක නොදෙන චේතනාව ඇතිව වැල්ලවාය රන්දෙණියේ බුදු පිළිම නිෂ්පාදකයෙකු ගෙන් අඩි දෙකහමාරක් පමණ උස පිළිම සියයක් (100) මිලට ගැනීම මුල්ම කාර්යය විය. අනතුරුව ඔහු වාහන දෙක තුනක් සරසා පිරිත් කියමින් පිළිම එම වාහනවල වඩම්මා ගෙන දිස්ත්‍රික්කය පුරා කරක් ගැසුවේය. එම රථවාහන පෙළ සමග ගිය ඔහු කළ බුදු ගුණ වැනීමෙන් අන්ධ වූ උපාසක ජනයා පිදූ පඬුරු මුට්ටි කාසි සියල්ල බණ්ඩාරගේ පතුළ නොපෙනෙන සාක්කුවට බැර විය.

ඊටත් වඩා පුදුම උපදවන කරුණ නම් පිළිම නිෂ්පාදකයා වෙත ගොස් රුපියල් 2000කට පමණ ඕනෑම අයෙකුට මිළට ගත හැකි මෙම පිළිමවල විශේෂත්වයක් ඇති බැවින් බර පැන් අරවා කැමති තැනකට පූජා කරන්නැයි ඔහු කළ ඉල්ලීමෙන් මුසපත් වූ බෞද්ධයෝ ඒවා එකක් රුපියල් 7500 ගණනේ බරපැන් අරවා බණ්ඩාරට මුදල් පූජා කිරීමයි.

මේ කදිම උදාහරණවලින් පෙනෙන්නේ වැල්ලවායේ යූ. එස්.පී බණ්ඩාර තමන් සේවය සළසන මාධ්‍ය ආයතනවල හිමිකරුවන්ගේ නියම කපාපු පලුවක් බවයි.

අප පෙර කී, බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ආරවුලකට ඔහු පැටලෙන්නේ ජන දුක නිවීමට යැයි කියා තවත් මගඩියක් කරමින් සිටින අතරේ ය. සිය ෆේස්බුක් පිටුව හා වෙල්ලස්ස ටී.වී නම් යූටියුබ් චැනලය භාවිතා කරමින් කරන එම මගඩිය දැන් මහනුවර දිස්ත්‍රික්කයේ මිණිපේ සහ හසලක වැනි ප්‍රදේශවලටත් ව්‍යාප්ත වී ඇත්තේ දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු නිලධාරීන්ගේ නොදැනුවත්කම නිසාය.

මහනුවර දිස්ත්‍රික්කයේ මිණිපේ ප්‍රදේශයටද ඔහු සිය ජාවාරම ව්‍යාප්ත කරමින් සිටී.

මෙහිදී ඔහු මුලින්ම සිදුකරන්නේ, ආබාධිත අසරණ එමෙන්ම නිවෙස් නොමැති පවුලක්  සොයා ගැනීමයි. එහි යන බණ්ඩාර සිය ගෝල නඩයද සමග නැතිබැරිකම ඡායාරූප ගතකර, වීඩියෝකර ෆේස්බුක් සහ යූ ටියුබ් දමන්නේ “එන්න අපි අපේ අයට උදව් කරමු” යන උදාන වාක්‍යයද සමගයි. එය දකින විදෙස්ගත ලාංකික ප්‍රජාව සහ මෙරට සිටින ආධාර කරන්නන් මුදල් එවීමට විමසන අතර බණ්ඩාර සිය ගිණුම් අංකයට මුදල් බැර කර ගනියි. මුල් පියවර, එම මුදලින් බඩු මුට්ටු ටිකක් රැගෙන අදාල අසරණ ජනයා වෙත ගොස් ඒවා පිරිනමමින් ආධාර දායකයාට ඔවුන් හා වට්ස්ඇප් හෝ වෙනත් තාක්ෂණයක් ඔස්සේ කතා කිරීමට සැළැස්වීමයි. එසේ කරන්නේ දෙපාර්ශවයේම  විශ්වාසය දිනා ගැනීමටයි. ඉන්පසු නිවෙස තැනීම හෝ අදාල කටයුත්ත පිළිබඳ නිරන්තර යාවත්කාලීන කිරීම් සමාජ මාධ්‍යවල පළවන අතර ගිණුමට මුදල් බැර වේ. අවසන නිවෙසක් තැනුවද ඊට වැයකළ මුදල මෙන් දෙතුන් ගුණයක් බණ්ඩාරගේ සාක්කුවට බැරවෙන්නේ මෙවැන්නක් විගණනයට යටත් නොවන නිසාය. ඇරත් මේවා පිළිබඳ ප්‍රශ්න කරන්නට ජනයා බිය ය. ඒ බණ්ඩාර සහ මොනරාගල ගෙවල් හදන මාධ්‍යවේදීන් ඒවා විවෘත කරන්නට හා වෙනත් වැඩවලට ආරාධනා කරන්නේ පොලීසියට නිසා ය. කාගේ හෝ වැඩකින් නම හදාගන්නට දඟලන විලිලැජ්ජා නැති ප්‍රාදේශීය පොලිස් ලොක්කෝ අභිරුචියෙන් ඒවාට සහභාගී වන අතර පසුගියදා බණ්ඩාර මැදගම, බිබිල හා මහියංගණය පොලිස් කොට්ඨාශවල නිලධාරීන්ගේ බාහුවල පෙරුම්කායම් ගැටගසා පොටෝද ගෙන ෆේස්බුක් දැම්මේය. මේවා දකින අහිංසක ජනයා බණ්ඩාර මහත්තයා මහ කෙරුමෙක් ලෙස කල්පනා කරන අතර ඔහුගේ අකටයුතුකම් රටට කියන්නේ හොඳටම බැට කෑ පසුය.

බණ්ඩාරගෙන් පෙරුම්කායම් බැඳගන්නා පොලිස් නිලධාරීන්

එවැනි එක් දරුවෙකුට ඉගෙනීමට ලැප්ටොප් එකක් වුවමනා යැයි කී බණ්ඩාර එය ප්‍රචාරය කිරීමෙන් පසු ලද ලැප්ටොප් පරිගණකය තමන්ම කොල්ල කෑවේය. දරුවා තවම එය ලැබෙනතුරු බලා සිටී. බණ්ඩාරගේ නොපනත්කමක් ගැන තව සාක්ෂියකි මේ. “මගේ නම දිලී කුමාරිද සිල්වා. මගේ මහත්තයා නාදික එයා කරන්නේ මේසන් වැඩ. අපිට ඉන්නවා ආබාධිත නිවුන් දරුවො. කකුල් ඇදයි. පපුවෙ හිල් තියෙනවා. එක දරුවෙකුට පේන්නෙ නැහැ. අනික් දරුවට කන් ඇහෙන්නේ නැහැ. බණ්ඩාර මහත්තයා වැල්ලවාය නුගයාය  අපේ ගෙදරට ඇවිත් පොටෝ ගහගෙන ගිණුම් අංක ඉල්ලගෙන අපේ දුක වීඩියෝ කරගෙන ගියා. ටික දවසකින් රට ඉන්න කෙනෙක් සල්ලි එවලා කියලා රුපියල් 8000ක් අරගෙන ඇවිත් ඒක අපිට දීලා එවපු කෙනා කියලා කා එක්කද කතා කරන්න දුන්නා. ඒ වගේ කතා කරන්න අපි දන්නෙ නැහැ. අපිට ලොකු පෝන් නැහැ. ඉතිං අපි බැලුවම අපේ ගිණුමට නම් සල්ලි දාලා නැහැ. බණ්ඩාර මහත්තයාගෙ ගිණුමට වැටෙනව ඇති සල්ලි. වරින්වර ඇවිත් ගේ මොනවහරි ටිකක් හදලා අර වගේම පොටෝ ගහගෙන යනවා. ගෙවල් ගාව මල්ලි කෙනෙක් කිව්වා බණ්ඩාර මහත්තයා අපිට දෙන්න කියලා සුමේධ හාඩ්වෙයාර් එකෙන් ඇස්බැස්ටෝස් පහළවක් අරගෙන බිලත් එක්ක අපි ගැනත් කියලා ෆේස්බුක් දාලා තිබ්බා කියලා. හැබැයි ඒවා අපිට දුන්නෙ නැහැ. අපිට කියලා ගන්න සිමෙන්ති අපේ ගෙදර බාන්නෙ නැතිව එයාලා ගෙදර බාලා ඒ ගේ හදාගත්ත. ගිය සිංහල අවුරුද්දට පිටරට ඉන්න අය කවුද ලව්වා කොළඹින් අරන් එව්ව රෙදි කියලා රෙදි වගයක් ගෙනත් දුන්නා. ඒක අස්සෙ බැරිවීමකින් තිබ්බ බිලක්. ඒ බිලේ තිබ්බෙ බබාලගෙ ඇඳුම්. හැබැයි අපිට ඒ ඔක්කොම දුන්නෙ නැහැ. ඒවා එයා ගෙදර ගෙනියන්න ඇති. අපේ මහත්තයා මේසන් වැඩකරන නිසා එයාගෙ ගෙදර වැඩ කරවගත්ත. පස්සෙ අපිට ගන්න තිබ්බ පඩි සල්ලි 19000 ඉල්ලුවම “මං උදව් කරන්නෙ මටත් යමක් ගන්න එහෙම නැත්තං මගෙන් උදව් නැහැ කියලා තරහ වුණා” ඉතිං ඒකෙන් අපේ ගේ හදාගන්න බැරිවෙලා අපි තෙමි තෙමී ඉන්නවා. එයාගෙ ගෙදර වැඩ ඉවර කරගත්තා. වැල්ලවාය ටවුමෙ හෝටලයකුත් ඇරගත්තා. අහළපහල මිනිස්සු කිව්වා උඹලගෙ දුක පොඩි එකෙකුට කිව්වත් ෆේස්බුක් දායි ඇයි ඔය හොරාට අහුවුණේ කියලා. අපි කරදරේ වැටිලා පිදුරු ගහෙත් එල්ලෙන්න බලා ඉන්න මිනිස්සු හින්දයි එහෙම වුණේ.”

මේ එවැනි තවත් සාක්ෂියකි. “මම පී. ඒ ජගත් කුමාරසිරි. බුත්තල පැල්වත්තෙ ඉන්නෙ. මං වඩුවෙක් හැබැයි අත්දෙකේම ඇඟිලි දෙකතුනක් අඩුයි. දුවයි, පුතාලා දෙන්නයි මායි ඉන්නෙ කුලී ගේක. බණ්ඩාර මහත්තයා අපේ ගෙදර ඇවිල්ලා කෑම වගයක් දීලා පොටෝ ගහලා වීඩියෝ කරලා ඉන්ටර්නෙට් දැම්මා. ඊටපස්සෙ බුත්තල සතොස ගාවදි හම්බවෙලා  කුවේට් ඉන්න නෝනා කෙනෙකුට කතා කරලා මට දෙන්න රුපියල් 20000ක් දම්ම ගත්ත. ඒ සල්ලි මට දෙන්නෙ නැතිව 1800ක ෆෝන් එකක් අරන් දුන්නා. මං වඩුවෙක් නිසා එයා හදන ගෙවල්වලට කියලා මගෙන් වැඩ ගත්තා සල්ලි දුන්නෙ නැහැ. පස්සෙ මට අර නෝනා දීපු සල්ලියි වැඩවල සල්ලියි 54000ක්ගන්න තිබිලා ඉල්ලලා කරදර කළාම ඔෆිස් එකට එන්න කිව්වා. මං ගියාම කැමරා ඔන් කරලා මාත් එක්ක කතා කරන ගමන් එතැන වැඩකරන ගෑණු ළමයෙක් මගේ ඇඟට තල්ලු කරලා වීඩියෝ කරලා මං එයාව දූෂණය කරන්න ගියා කියලා පොලීසියට කතා කරා. මාව පොලීසි ගෙනිච්චම මං ඇහුවා මේකද යුක්තිය හොරා එළියේ මං ඇතුළේ කියලා. මං පොලිස් ලොක්කටත් බැන්නා. කූඩුවේ තිබ්බ දවස් එකහමාරම මං කෑවෙ බිව්වෙ නැහැ. අන්තිමේදී පාරෙ කෝලහාල කළා කියලයි මාව උසාවි දැම්මෙ.”

සීලරතනගේ ජනසෙත පෙරමුණ හා බණ්ඩාර මන්ත්‍රී

මේ දිනවල තමන්ගේ නාළිකාවට ජනසෙත හැදීම ගැන වාර්තා එවන වැල්ලවායේ බණ්ඩාර මන්ත්‍රී ගැන දිලිත් ජයවීර නොදන්නවා වන්නට ඇත. ඒ නිසා දිලිත්ට සහ දෙරණට ඔහු ගැන කියා දීම අපගේ යුතුකමය. ජනදුක නිවා ජනසෙත සැදීමට වුවමනා බණ්ඩාර ජනසෙත පෙරමුණට එක්ව සිටී. පවත්වන්නට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ ජනසෙත පෙරමුණ මොනරාගල දිසා කණ්ඩායම් නායකයා වැල්ලවායේ නුගේයාය පදිංචි ප්‍රේමතිලක බණ්ඩාර හෙවත් අප කතානායකයා ය. ඔහුගේ ජාතික හැඳුනුම්පත් අංකය 721274896 V ය. මින් පැන නඟින තවත් ගැටලුවක් වේ. තෙමේම මාධ්‍ය වාර්තා පළ කරමින් හා පුරාජේරු දොඩමින් දිස්ත්‍රික්කය පුරා සැරිසරන්නේ මැතිවරණ අපේක්ෂකයෙකි. ඔහු ප්‍රාදේශීය වාර්තාකරුවෙකු ලෙස සළකා වැටුප් ගෙවන දෙරණ හා සෙසු මාධ්‍ය මුදල් අය නොකර මැතිවරණ ප්‍රචාරයද ලබා දේ. තවත්  බිහිසුණු  ඇත්තක් නම් මොනරාගල තේරීම් භාර නිලධාරි, සහකාර මැතිවරණ කොමසාරිස් හා සෙසු දේශපාලන පක්ෂද, නිරීක්ෂණ සංවිධානද බණ්ඩාර හමුවේ නිදිවැදී සිටීමයි. මැතිවරණයක් ප්‍රකාශයට පත්ව තිබියදී බඩු බෙදීමේ තහනම් කටයුත්ත යහමින් සිදුකරන ඔහු ලැජ්ජා බය නැතිව ඒ පින්තූර ෆේස්බුක් දමයි.

තවත් යමක් පෙන්වා දිය යුතුය. රාජ්‍ය නොවන සංවිධානයක් මොනරාගලට වැඩක් කරන්නට ආවේනම් කිතිකැවෙන නිලධාරීන් බණ්ඩාර හමුවේ නිහඬ වීමයි ඒ. තමන්ගේ දිස්ත්‍රික්කයේ ජනයා වෙනුවෙන් ගෙවල් හදනවා යැයි පවසා  ගසාකන්නට ඕනෑම පුද්ගලයෙකුට ඉඩ දී බලධාරීන් නිහඬ වන්නේ ඇයි? මේ ජාවාරම ක්‍රියාත්මක කරන උදවිය ඉන්නේත් මොනරාගල පමණි. ඔවුන් විදෙස්ගත ශ්‍රමිකයන් හා මෙරට පරිත්‍යාගශීලීන්ගෙන් එකතු කරන මුදල්වලට කුමක් වන්නේදැයි සොයා බැලීමට හෝ විගණනයට යටත් කිරීමට බලධාරීන් උත්සුක නොවන්නේ නීතියේ අඩුවක් නිසාද? තමන්ගේ වසමේ ජනයා ගසා කන හැටි සොයා බැලීමේ වගකීම ග්‍රාම නිලධාරිගේ සිට දිසාපති දක්වා නැතිද? ඇත්තටම මේක බණ්ඩාරලාටම ගිය රටද?

නයන ආලෝකබණ්ඩාර

මෙම ලිපිය කරුණු සහිතව ලියන ලද ගවේෂණාත්මක ලිපියකි. මහජන යහපත සළකා කරන හෙළිදරව් කිරීමක් බැවින් යූ.එස්.පී බණ්ඩාරගේ කරුණු දැක්වීම මේ අවස්ථාවේ පළ කර නොමැත්තේ අප ඉදිරිපත් කරන කරුණු තහවුරු කරගෙනද ඇති නිසාය. කෙසේවෙතත්, ඔහුටද පිළිතුරු දීමට අයිතියක් ඇති අතර අප වෙත විද්‍යුත් තැපෑලෙන් ලියන පිළිතුරු පළ කරමු. මේ කාරණයට අදාලව අප සොයාගත් තවත් කරුණු තිබේ.

සංස්කාරක (ලේඛකයා වෙනුවෙනි.)

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *