ජනාධිපති කොමිෂන් සභාව ජනාධිපතිට අගෞරවයක් – අධිකරණය කියයි

2015 ජනවාරි සිට 2019 නොවැම්බර් මාසය දක්වා කාලය තුල සිදුවූ දේශපාලන පළිගැනීම් පිලිබඳව සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාව, ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ පවතින නඩු කටයුතු සම්බන්ධව බලපාන අන්දමින් සිදුකරන ක‍්‍රියාකලාපය අධිකරණය විසින් දැඩිලෙස විවේචනය කළ බව අද 2020 මාර්තු 11 වන දින දිනමිණ මුල් පිටුව වාර්තා කරයි.
දේශපාලන පළිගැනීම් පිලිබඳ ජනාධිපති කොමිෂන් සභාව
2020 ජනවාරි 9 වන දින අංක 2157/44 දරන අති විශේෂ ගැසට් පත‍්‍රය මගින් ජනාධිපතිතුමන් විසින් මෙම කොමිෂන් සභාව පත් කරන ලදී. ජනාධිපතිවරයා එම කොමිෂන් සභාව පත් කරන ලද්දේ පරීක්‍ෂණ කොමිෂන් සභා පනතේ (393 අධිකාරිය වන) 2 වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුවය. පසුව 2020 ජනවාරි 20 වන දින අංක 2159/16 දරන අති විශේෂ ගැසට් පත‍්‍රය මගින් කොමිෂන් සභාවේ බලතල තවදුරටත් ව්‍යාප්ත කරන ලදී. මෙම ගැසට් පත‍්‍රයට එරෙහිව විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය මේ වන විට මූලික අයිතිවාසිකම් නඩුවක් පවරා තිබේ. ඔවුන්ගේ තර්කය වන්නේ ජනාධිපතිවරයා විසින් නිකුත්කළ ඉහත ගැසට් පත‍්‍රය පරීක්‍ෂණ කොමිෂන් සභා පනත මගින් ලබාදී ඇති බලතල ඉක්මවා යන බවයි.
කොමිෂන් සභාවේ කාර්යය
මෙම කොමිෂන් සභාව සදහා මූලිකවම පැවරී ඇති වගකීම වන්නේ පසුගිය යහපාලන රජය සමයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, ශ‍්‍රී ලංකා පොලීසියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හෝ ශ‍්‍රී ලංකා පොලීසියේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය හෝ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව යන ආයතන විසින් සිදුකරන ලද විමර්ශන හා පරීක්‍ෂණ සඳහා එවකට අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති දූෂණ විරෝධී විශේෂ ඒකකය මගින් දේශපාලන බලපෑමක් සිදුවීද, එකී පරීක්‍ෂණ හා විමර්ශණ මගින් දේශපාලන පළිගැනීම් සිදුවීද හා ඒමගින් ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් සිදුවී තිබේද යන්න පරීක්‍ෂා කර ජනාධිපතිවරයාට නිර්දේශ ඉදිරිපත් කිරීමය.
ශ‍්‍රී ලංකා පොලිසියේ අල්ලස් කොමිෂන් සභාවේ හෝ නීතිපතිවරයාගේ ක‍්‍රියාමාර්ගයන්ට අගතියක් වෙන්න බැහැ
2020 ජනවාරි 9 වන දින අති විශේෂ ගැසට් පත‍්‍රයේ සදහන් වනනේ “තවද, මේ අධිකාරී පත‍්‍රය යටතේ කරනු ලබන පරීක්ෂණය වූ කලී ශ‍්‍රී ලංකා පොලීසිය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ නීතිපතිවරයා ඇතුළු අදාල බලධාරීන් විසින් ගනු ලැබ ඇති හෝ ගනු ලැබිය හැකි කිසියම් ක‍්‍රියා මාර්ගයන්ට අමතර වශයෙන් සහ අගතියකින් තොරව වන බැව් සනිටුහන් කරනු ලබන හෙයින් ද” යනුවෙනි. ඒ අනුව කොමිෂන් සභාවේ පරීක්‍ෂණ කටයුතු ඉහත ආයතනවල විමර්ශන පරීක්‍ෂණ හා අධිකරණ කටයුතු වලට අගතියක් විය නොහැකි බව දක්වා තිබේ.
අධිකරණ කටයුතු හා කොමිෂන් සභාවේ ක‍්‍රියාකාරකම්
2020 ජනවාරි මාසයේදී කොමිෂන් සභාව විසින් නීතිපතිවරයාට දැනුම්දී ඇත්තේ යම් නඩු කටයුත්තක් කොමිෂන් සභාවේ විමර්ශන නිමවන තෙක් බහා තබන ලෙසයි. නීතිපතිවරයා විසින් ප‍්‍රතිචාර දක්වමින් එය සිදුකළ නොහැකි බව දන්වා තිබිණි. එසේම නීතිපතිවරයාගේ ස්ථාවරය, තමන් කොමිෂන් සභාව හමුවේ පෙනී නොසිටීම බවද මෙම ලිපිය පළවන මොහොතේ සමාජ මාධ්‍යවල සඳහන් විය.
පසුව පෙබරවාරි මාසයේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඇතුළු වූ කොමිෂන් සභාවේ නියෝජිත පිරිසක් ත‍්‍රිපුද්ගල මහාධීකරණයේ නඩුකටයුතු වලට අදාල ලිපි ගොනු රැගෙන ගිය බව මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි.
ත‍්‍රිපුද්ගල මහාධීකරණය විසින් කොමිෂන් සභාවේ ලේකම්වරියට කැඳවීමක් කර තිබුණේ අධිකරණ කටයුතු සඳහා අවශ්‍ය ලිපි ගොනු නැවත ලබාගැනීම සඳහාය.
මේ අතරතුර කොමිෂන් සභාව විසින් නීතිපතිවරයාටද එම සභාව විසින් සොයාගන්නා ලද තොරතුරු පරීක්‍ෂණ කටයුතු සඳහා ලබාදීම හෝ නොදීම පිලිබද තම ස්ථාවරය දක්වා තිබිණි.
දිනමිණ වාර්තාව
අද (මාර්තු 11) දිනමිණ මුල් පිටුවේ කැපී පෙනෙන වැදගත්කමකින් යුක්තව පළකර තිබූ පුවතේ සිරස්තලය වන්නේ “ දේශපාලන පළිගැනීම් සොයන කොමිසමේ කටයුතු ජනපතිගේ ක්‍රියාපටිපාටියට පටහැනියි, ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල කියයි” යන්නයි.
පුවත්පත වැඩිදුරටත් වාර්තා කළේ “දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිතුමා හොඳ චේතනාවෙන් ආරම්භ කළ කොමිෂන් සභාව කටයුතු කරනුයේ ජනාධිපතිතුමාටත් අගෞරව වන ආකාරයට බව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (10) ප්‍රකාශ කළහ” යනුවෙනි.
අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් 07කට එරෙහි නඩුවේ කොමිසම භාරයේ ඇති රහස් පොලිස් විමර්ශන ගොනු නඩුවේ සාක්කි විභාගය සඳහා අධිකරණයට ඉදිරිපත් නොකොට අධිකරණ ක්‍රියාදාමය හෑල්ලුවට ලක්කරන බව විනිසුරුවන් සඳහන් කළ බවද පුවත්පත වාර්තා කරයි. අනාගත නඩු සම්බන්ධයෙන්ද කොමිෂන් සභා මේ අන්දමට කටයුතු කළහොත් අධිකරණයට යුක්තිය පසිඳලීමේ කාර්යය ඉටු කළ නොහැකිවනු ඇති බවද සඳහන් කළ විනිසුරු මඩුල්ල නීතිපතිවරයාගේ රාජකාරියට බාධා කරන කොමිසමට එරෙහිව ක්‍රියා කිරීමට ඔහු කටයුතු නොකරන්නේ මන්ද යන්නද විමසා සිටි බව පුවත්පත සඳහන් කරයි.
සුරංජිත් දේවාදිත්‍ය