ජනපති වැඩ ගැන මහින්දානන්දගෙන් සහතික

අනවශ්‍යය වියදම් සියල්ල කපා හරිමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය කාලය තුළ අති විශාල මුදලක් රටට ඉතිරිකර දී තිබෙන බවත් තමන් බලයේ සිට පසුගිය වසර 1 1/2 ක කාලය තුළ විදේශ සංචාර සඳහා එතුමා වැයකර තිබෙන්නේ රුපියල් ලක්ෂ 32 ක් පමණක් බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2019 වසරේදී ජනාධිපති ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය යටතේ රුපියල් බිලියන 3.02 ක් වැය කරත්දී වත්මන් ජනපතිවරයා 2020 වසරේදී වැයකර තිබෙන්නේ රුපියල් බිලියන 1.2 ක් පමණක් බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ කාලය තුළ ජනපති ලේකම් කාර්යාලයෙන් පමණක් රුපියල් බිලියන 1.7 ක් ඉතිරිකර දී තිබෙන බවත් ඒ මහතා කීය.
ශ්‍රී ලංකා පොදුජන නීතීඥ සංගමයේ මහනුවර දිස්ත්‍රික් සංවිධානයේ මෙහෙයවීමෙන් පසුගියදා මහනුවර රෝයල් කැන්ඩියන් හෝටලයේදී පැවැති රැස්වීමකදී ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් කතා කළ මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙසේද කීවේය. විසිවන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් පසු ජනපතිවරයා කැබිනට් ඇමැතිධූර සංඛ්‍යාව 30 ක සීමාව අභිබවා විශාල සංඛ්‍යාවකින් වැඩිකරාවී යැයි ඇතමුන් පැවසුවා. නමුත් එතුමා එකදු ඇමැතිකමක් හෝ වැඩි කිරීමට කටයුතු කළේ නැහැ. අද ඇමැතිවරුන්ට වාහන ගන්න බැහැ. ඒවා තහනම් කරලා. රජයේ ආයතන වලට පත්කරන සභාපතිවරුන්ට පසුගිය ආණ්ඩුව සමයේ වැටුප් ලබා දුන්නේ මිලියන ගණනින්. ටෙලිකොම් සභාපති ධූරය හෙබවූ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහෝදරයාට මාසිකව රුලියල් ලක්ෂ 42 ක වැටුපක් ලබා දුන්නා. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිදු ආයතන සභාපතිවරයෙකුට රුපියල් ලක්ෂයකට වඩා වැඩි වැටුපක් ගන්න එපා කිව්වා. එතුමා මේවා කළේ ප්‍රසිද්ධිය බලාගෙන නෙවෙයි. ජනාධිපති තුමා පසුගිය වසර 1 1/2 දී මොනවද කළේ කියලා අහන අයට අපි මේවා මතක් කර දිය යුතුයි.
පාතාලය හා මත්කුඩු මර්දනය කරන්න ඉතාමත්ම සාර්ථක වැඩපිළිවෙළක් රජය දියත් කරමින් සිටිනවා. කොවිඩ් තත්ත්වයත් සමඟ අද සංචාරක ව්‍යාපාරය බිඳ වැටිලා. විදේශ ශ්‍රමිකයින් ගෙන් රටට සල්ලි එන්නේ නැහැ. ආයෝජකයෝ මුදල් යොදවන්න අකමැතියි. ඒත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞභාග්‍යයේ ඉදිරි දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ඒ අයුරින්ම ක්‍රියාවට නන්වමින් සිටිනවා. මාර්ග කිලෝ මීටර ලක්ෂයක් කාපට් කරනවා. උපාධිධාරීන් 60000 ක ටත් අඩුආදායම් ලාභි පවුල් වල ලක්ෂයකට රැකියා දුන්නා. යැපුම් ආර්ථිකයෙන් මිදී නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීම පිණිස අපි දැන් කටයුතු කරමින් සිටිනවා. ඉදිරි සිව් වසර තුළ මේ රටේ නිෂ්පාදනය කළ හැකි සියලු දේ රටේම නිපදවීමට අපි සැළසුම් කළා. අල,මිරිස්,බී ළූණු ආනයනය කිරීමට වසරකට බිලියන 250 ක් වැය වෙනවා. කිරිපිටි ආනයනය කිරීමට දිනකට වැය කරන මුදල ඇමරිකානු ඩොලර් මිලියනයක්. ඉදිරි වසර හතර තුළ කිරි වලින් අපි ස්වයංපෝෂිත විය යුතුයි.

ශ්‍රී ලංකා පොදුජන නීතිඥ සංගමයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති,මහනුවර දිස්ත්‍රික් සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී,නීතීඥ උදයන කිරිඳිගොඩ මහතා මෙසේ කීවේය. තිස් අවුරුදු ත්‍රස්තවාදයෙන් රට මුදා ගැනීමෙන් පසු රාජපක්ෂවරු පිළිබඳ නොයෙකුත් බොරු කතා සමාජගත කරමින් යහ පාලන ආණ්ඩුව බලයට ගෙන ඒමට පිරිසක් කටයුතු කළා. ඒ ආණ්ඩුව බලයට පැමිණ ඉතාම කෙටි කාලයකදී ජනතාවට තේරුණා තමන් ගත්තේ වැරදි තීන්දුවක් බව. ජාතික ආරක්ෂාව බිංදුවට වැටී මාරයා දොරකඩට එනකොට තමයි ජනතාවට ආයෙත් රාජපක්ෂවරුන්ගේ අගය තේරුණේ. යහ පාලන ආණ්ඩුව මේ රටට අහිතකර ගිවිසුම් 12 කට අත්සන් තැබුවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ධූරයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුනෙන් දෙකක බලයක් සහිතව ආණ්ඩු බලය ලබා ගත්තා. රටට අහිතිකර එම්.සී.සී ගිවිසුම අපි අවලංගු කළා.මේ ආණ්ඩුව මොකද කළේ කියලා අහන අයට මම කියන්න කැමතියි ඒවා අමතක ඇයි කියලා. අද ජාතික ආරක්ෂාව සම්බන්ධව ජනතාවට කිසිදු සැකයක් බියක් නැහැ. බුද්ධි අංශ ශක්තිමත් කරලා ඔවුන් නිසිලෙස ක්‍රියාත්මක වෙනවා. නීතීඥවරු කියන්නේ තමන්ගේ මහන්සියෙන් මුදල් උපයලා ආණ්ඩුවට බදු ගෙවන පිරිසක්.පසුගිය ජනපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදීද ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ නීතීඥ සංගමය සුවිශාල කර්යභාරයක් කළා.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන දිළුම් අමුණුගම,අනුරාධ ජයරත්න,පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ වසන්ත යාපා බණ්ඩාර,ශ්‍රී ලංකා පොදුජන නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ ඩබ්ලිව් දයාරත්න,ලේකම් අතුලද සිල්වා,මහනුවර සංවිධානයේ ලේකම් ජානක සකලසූරිය යන මහත්වරුද කතා කළහ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.