ජනතාව ගැන හිතන ආණ්ඩුව කටයුතු කරන්නේ ව්‍යවස්ථාවට අනුවයි – උදිත ලොකුබණ්ඩාර

 ජනතාව ගැන හිතන ආණ්ඩුව කටයුතු කරන්නේ ව්‍යවස්ථාවට අනුවයි – උදිත ලොකුබණ්ඩාර

පොදුජන පෙරමුණට ජනපතිධූරය, අගමැති ධූරය සහ තමන්ගේම කැබිනට්ටුවක් පවා ඇතිව බලය තිබියදී ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් නියමිත කාලයට මැතිවරණ පැවැත්වීම බල ලෝභයක් හැටියට පෙනෙන්නේ ජනතාවගේ ඡන්ද අයිතිය එදා වෙඩි උණ්ඩයට, ටයර් සෑයට යටකළ පක්ෂවලට පමණක් බව බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම් උදිත ලොකුබණ්ඩාර පවසයි. මෙවර බදුල්ල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වන හෙතෙම පෙන්වා දෙන්නේ ආණ්ඩුවට ජන ජීවිත තරම් බලය වැදගත් නොවන නමුත් ව්‍යවස්ථාවට ගරු කරන ආණ්ඩුවක් ලෙස කටයුතු කරන බවයි. බලයට කෑදර නම් ආණ්ඩුව කළ යුත්තේ මැතිවරණ නොපැවැත්වීම වුවත් පොදුජන පෙරමුණේ නායකයින්ට එවැනි වුවමනාවක් නැති බවත් පවසන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොකුබණ්ඩාර මහතා සඳහන් කරන්නේ යුද්ධය පැවති සමයේ තම ජීවිත පවා නොතකා ජනතාව වෙනුවෙන් තීන්දු තීරණ ගත් නායකයින් දෙපළක් රටේ පාලනය හොබවන නිසා ලෝක ව්‍යාප්ත වසංගතයකින් මේ තරමින් හෝ බේරී සිටීමට මෙරට ජනයාට අවස්ථාව ලැබී ඇති බවයි. එබැවින් ආණ්ඩුව ජනතාව විපතට පත්වීමට කිසිසේත් ඉඩ නොතබන බවද හිටපු මන්ත්‍රීවරයා පවසයි.

“සීමාන්විත කාලයකින් පසුව මුදල් වෙන්කිරීමේ බලතල ජනාධිපතිවරයාට නොමැති බව පවසන ඇතැම් පිරිස් පැවති පාර්ලිමේන්තුව නැවත කැඳවන මෙන් ඉල්ලා සිටින්නේ බලය අහිමි වීම නිසා සහ අනාගත පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාවගෙන් ප්‍රතික්ෂේප වීමට ඉඩ ඇති නිසාය.” ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව පෙන්වා දී ඇති නීතිමය ප්‍රතිපාදන මත පිහිටා නීති විශාරදයන්ගේ උපදෙස් හා මඟ පෙන්වීම ඇතිව කටයුතු කරන ජනාධිපතිතුමා සහ රජය නිසි අවස්ථාවේ කළ යුත්ත දනී. මීළඟ මැතිවරණ ප්‍රථිඵලයේදී ඇප කැන්සල් වීමට ඉඩ ඇති දේශපාලන ගොඩපෙරකදෝරුවන් තමන්ට අහිමි වූ පැන්ෂන් හදා ගැනීමට සහ මහජන මුදල් දවසකට ලක්ෂ අනූවක් සියයක් වියදම් කිරීමට පැවති පාර්ලිමේන්තුව නැවත කැඳවන්නැයි පවසන්නේ කල් ඉකුත් වූ ජනවරමකට මුවාවෙමින් බවයි උදිත ලොකු බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ. “යළිත් වතාවක් රට අගාධයට ඇද දමන්න ඉඩ දෙනවා ද කියන ප්‍රශ්නාර්ථය තමයි අද තියෙන්නේ. තත්වය පාලනය කර ගන්න බැරිව ලෝකයේ බලවත් රටවල් පවා දණින් වැටී සිටිය දී රටේ ජනතාව බේරා ගෙන, ප්‍රජාතන්ත්‍රවාදය රැක ගෙන සැබෑ ජනමතයට හිස ඔසවන්න දෙන අවස්ථාව වැළැක්වීම සදහා ගෙනෙන පුහු තර්ක අපි අහක දැමිය යුතු ය”. යනුවෙන්ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පවසයි.

අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාද මේ අවස්ථාවේ රට වෙනුවෙන් කැපවන අන්දම එතුමන්ගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස තමන් හොඳින්ම දන්නා බවත් එතුමා කැඳවූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හමුවට සහභාගී වීම ප්‍රතික්ෂේප කරමින් උමතුවෙන් හැසිරෙන ජ.වි.පෙ වැනි පක්ෂ තමන්ට තිබෙන ජනවරමත් නැති කරගැනීමට උත්සාහ ගන්නා බැවින් එවැනි පක්ෂවලට මේ මොහොතේ පිළිතුරු දීමවත් නොකළ යුතු බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත ලොකුබණ්ඩාර පවසයි. ඔහුට අනුව ආණ්ඩුව මේ මොහොතේ අසීරුවකින් තොරව කටයුතු කිරීමට තරම් ශක්තිමත් ය.

තමන් බදුල්ලේ ජනතාව වෙනුවෙන් මැතිවරණයට ඉදිරිපත් වන්නේ හිටපු අමාත්‍ය සහ කතානායක ජනතා මිත්‍ර වි.ජ.මු ලොකුබණ්ඩාරගේ පුත්‍රයා ලෙස සහ ඌව වෙල්ලස්සේ මිනිසෙක් ලෙස නිසා බදුල්ලේ යැයි කියන වෙනත් කිසිවෙකු තමන්ට අභියෝගයක් නොවන බව පවසන උදිත ලොකුබණ්ඩාර සඳහන් කරන්නේ, මේ වනවිටත් ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාර තමන්ට ශක්තියක් බවයි.

“බදුල්ල දිස්ත්‍රික්කයේ දේශපාලන නායකයා වන්නේ බදුල්ලේ උගත් බුද්ධිමත් ජනතාවගේ ජන විඥාණය. එය පොස්ටර්, කටවුට්, බැනර්වලින්වත්, ඩිෆෙන්ඩර්, ප්‍රාඩෝ පෝලිම්වලින්වත්, මල් වෙඩි සංදර්ශන සංගීත ප්‍රසංගවලින්වත් මැනෙන්නේ නැත. මගේ පියාගේ දේශපාලන ගුරුහරුකම මෙයයි. යුධ ගිනිවලින් පිළිස්සි ගිය, ආර්ථීක පරිහානියෙන් විනාශ වී ගිය දේශයක්, නිල්ල පිරුණු රටක් බවට පත් කොට සාමයේ සිසිලෙන් තෙත් කොට ආසියාවේ ආශ්චර්ය බවට අප මාතෘභූමිය ඔසවා තැබු ජන නායකයාගේ සෙවනේ සිටිමින් උගත් පාඩම් වලින් සෞභාග්‍යයේ දොරටු විවර කරමින්, අප දේශය ගෝඨාභය රාජපක්ෂ සෙන්පතියාණන්ගේ නායකත්වයෙන් ගමන් කරන විට අපේ නිජබිම වූ ඌව වෙල්ලස්සේ බදුලූ දිසාව, එම ගමනේ පුරෝගාමී දිස්ත්‍රික්කයක් බවට පත් කිරීමට කටයුතු කිරීමයි මාගේ පරම අධිෂ්ඨානය. කෘෂි ආර්ථීකය නඟා සිටුවමින්, වචනයෙන් නොව ක්‍රියාවෙන් ගොවියා රජ කරලීම සදහා නව තාක්ෂණය, බීජ, පොහොර, විද්‍යානුකූල වාණිජ ගොවිතැන ගොවියාට ලබා දෙමින් එක් පැලැන්තියකට පමණක් සීමා වූ ඉහත කී සෑම දේ අප ජනතාවට ද සේන්දු කරමින්, බදුලූ දිසාවේ එළවලු ගොවියා හා එළවලු වෙළෙන්දා අතරමැදියෙකු පොහොසත් කරන්න මහන්සි වෙනවා වෙනුවට ඌව වෙල්ලස්ස මේ පින් බිමෙන් ලැඛෙන රන් අස්වැන්නට හිමි නියම වාණිජමය වටිනාකම බදුලූ දිස්ත්‍රික්කයේ ජනතාවට ලබා දෙන්න කටයුතු කරන ගමන්, බදුල්ලේ තරුණයාට ලෝකය විවෘත කරමින් පරිගණක හා සන්නිවේදන තාක්ෂණය, නව නිපැයුම් සදහා යොමු කිරීම, සංචාරක ක්ෂේත්‍රයේ හිනිපෙත්තටම යමින් ආර්ථීක දියුණුව ලගා කර ගැනීම සහ වරායවල් ගුවන්තොටුපලවල් නිසි කළමණාකරණයකට ලක් වූ මාර්ග පද්ධති ඔස්සේ බදුලූ දිස්ත්‍රීක් ජනතාවට ලං කරවීම, සෞඛ්‍ය සම්පන්න දිවි පෙවතක් ගත කරන ජනතාවක් වෙසෙන බදුලූ දිසාවක් නිර්මාණය කරවීම තුළින් ආසියාවේ ආශ්චර්යක් බවට පත් වන ශ්‍රී ලංකාවේ දිදුලන දිසාව බවට බදුල්ල පත් කිරීම මාගේ බලාපොරොත්තුවයි.” යනුවෙන් සිය අභිප්‍රාය පිළිබඳ අදහස් දැක්වූ මන්ත්‍රීවරයා  වැඩිදුරටත් සඳහන් කළේ, “කිසිවෙක් නැති හොඳම ගුරුවරයාගේ හිස් වෙච්ච පන්ති කාමරයේ තනි ශිෂ්‍යයා වීමට 2015 ද්‍රෝහින් මට ලබා දුන් ස්වර්ණමය අවස්ථාව නිසා මහින්ද රාජපක්ෂයන්ගේ ප්‍රතාපවත් සෙවනැල්ලේ මා උගත් දේ බොහෝ යි. එම දැනුම බදුලූ දිසාව අප රටේ ඉහළින්ම තැඛෙන දිස්ත්‍රික්කයක් බවට පත් කිරීමට ඉවහල් වන බව මා හොදින් දන්නවා. එම පන්නරයෙන් ඔබ අප සිහින දකින බදුල්ල නිර්මාණය කිරීමට මට හැකි බව ක්‍රියාවෙන් ඔප්පු කිරීමට ලබන පාර්ලිමේන්තුවේ දී බදුලූ දිස්ත්‍රීක්කයේ ජනතාවගේ ජනවරමින් මා බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *