ජනතාවට වුවමනා ජීවිත බේරා ගැනීම, ආණ්ඩුවට ඡන්දය – තිළිණ තෙන්නකෝන්

ජනතාවට මේ මොහොතේ අවශ්‍යවී තිබෙන්නේ කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් මිදී සාමාන්‍ය ජීවන රටාවට යොමුවීම වුවත් ආණ්ඩුව ඒ සියල්ල අමතක කර මැතිවරණයකට යාමේ උත්සාහයක නිරතව සිටීම නිසා ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාවට තර්ජනයක් එල්ලවී ඇතැයි සමඟි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක, පාතදුම්බර එජාප සංවිධායක, මධ්‍යම පළාත් සභාවේ හිටපු අමාත්‍ය තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රධාන බලකණු තුන විධායකය,ව්‍යවස්ථාදායකය හා අධිකරණය බවත් මින් එකක් මේ අවස්ථාවේ ක්‍රියාත්මක නොවන බවත් ඒ මහතා කීය.
මේ නිසා මහ මැතිවරණයක් පවත්වා ව්‍යවස්ථාදායකයට මහජන නියෝජිතයින් පත්කර ගැනීම සිදුකළ යුතු බවත් එයට මෙය අවස්ථාව නොවන බව ආණ්ඩුව තේරුම්ගත යුතුව තිබෙන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරු ආණ්ඩුවේ සල්ලි ටික ජනතාව අතර බෙදාදී ඡන්ද ලබා ගැනීමට සිතන්නේ නම් එය සිහිනයක් බවත් ආණ්ඩුවෙන් ලැබෙන මුදල් බෙදීමට වඩා එහා ගිය ජනතා සේවයක් සිදු කිරීමේ වගකීම සියලු මහජන නියෝජිතයින් වෙත පැවරී තිබෙන බවත් හිටපු අමැතිවරයා පැවසුවේය.
රැකියාවක නිරත වීමට නොහැකිව අති දුෂ්කරතාවට පත්ව සිටින ස්ථිර ආදායමක් නොමැති විශාල ජන පිරිසක් මහනුවර දිස්ත්‍රික්කයේද සිටින බවත් ඔවුන් නිවෙස් වලටවී දුක් කඳුළු හෙළද්දී මැති ඇමැතිවරු මාධ්‍ය ඉදිරියට පැමිණ රටේ සියලු ප්‍රශ්න විසඳා ඇති ආකාරයෙන් කතා කිරීම කනගාටුවට කරුණක් බවත් තෙන්නකෝන් මහතා කීය.
කොවිඩ්-19 වෛරසය පාලනය කිරීම සඳහා වන වැඩපිළිවෙළ ආණ්ඩුව විසින් මුල් අවස්ථාවේ ඉතා හොඳින් සිදුකළ බවත් පසුව මැතිවරණය ඉලක්කර කටයුතු කරන්නට යෑමෙන් එය යම් ප්‍රමාණයකට අවුල්වූ ස්වභාවයක් ඉස්මතුවූ බවත් කී ඒ මහතා ආණ්ඩුව කෙරෙහි පවතින විශ්වාසය දැන් ජනතාව අතරින් ක්‍රමයෙන් ගිලිහී යමින් තිබෙන බවද අවධාරණය කළේය.
මුල් අවස්ථාවේ ඇඳිරි නීතිය පනවා තිබියදීත් නිවෙස් වලින් පිටතට පැමිණීමට උත්සහ කළ ජනතාව දැන් ආණ්ඩුව ඇඳිරි නීතිය ලිහිල් කළත් මහපාරට බසින්නට බියවී සිටින බවත් ඒ බව පසුගිය දිනවල පැහැදිලිව දක්නට ලැබුණු බවත් හිටපු ඇමැතිවරයා පැවසුවේය.
ඇඳිරි නීතිය ඉවත්කර තිබියදී මහනුවර නගර කිහිපයකම ව්‍යාපාරික ස්ථාන විවෘත නොකිරීමට ව්‍යාපාරික සංගම් කටයුතු කළේ මේ නිසා බවද හෙතෙම අවධාරණය කළේය.
