ගෝලීය කොවිඩ් එන්නත්කරණය හා බැඳුණු ජාත්‍යන්තර දේශපාලනය

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපකුලපති, මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර

1945 දී දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් අනතුරුව ලෝකය කඳවුරු දෙකකට ඛෙදුණු අතර, ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ බටහිර යුරෝපයේ එකතුවෙන් ධනවාදී කඳවුරත් සෝවියට් දේශයේ නායකත්වයෙන් සමාජවාදී කඳවුරත් බිහිවූයේය. 1991 දෙසැම්බරයේ, සෝවියට් සමූහාණ්ඩු සංගමය බිඳ වැටෙන තෙක් ම, දශක හතරකට වැඩි කාලයක් තිස්සේ මෙම කඳවුරු දෙක අතර විවිධ ක්ෂේත්‍ර යටතේ තියුණු තරගයක් පැවතියේය. විවිධ ක්ෂේත්‍රවල එකිනෙකා පරදවා ඉදිරියට යාමේ තරගයක් පැවතියේය. ඊට සමගාමීව, ප්‍රබල ප්‍රචාරණ තරගයක් ද පැවති අතර, එම සටන සීතල යුද්ධය, නිරවි යුද්ධය, වාග් සංග්‍රාමය යනාදී නම්වලින් හඳුන්වනු ලැබුවේය. මෙම සීතල යුද්ධය මැද, අභ්‍යාවකාශයේ ආධිපත්‍යය ඉලක්ක කරගෙන ද සෝවියට් දේශය හා ඇමෙරිකා එක්සත් ජනපදය අතර තියුණු සටනක් පැවතියේය.

1957 ඔක්තෝබර් 4 දින, මානව ඉතිහාසයේ පළමු වතාවට ස්පුට්නික් නමින් හඳුන්වනු ලැබූ චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශගත කිරීමට සෝවියට් දේශය සමත්වීම ඇමෙරිකාව ඇතුළු බටහිර කඳවුරට එල්ල කළ අතුල් පහරක් වූ අතර, ඉන් අනතුරුව අභ්‍යාවකාශතරණයේ සුවිශේෂී ජයග්‍රහණ රාශියක් අත්පත් කරගනිමින් එහි පූර්ණ ආධිපත්‍යය තමන් නතුකර ගැනීමට සෝවියට් දේශය සමත් වූයේය. අභ්‍යාවකාශගත වූ පළමු මිනිසා හැටියට සෝවියට් ගගනගාමී යූරි ඇලෙක්සියේවිච් ගගාරින් 1961 අප්‍රේල් 12 දින අභ්‍යාවකාශයට යාම, පළමු කාන්තාව ලෙස වැලන්තීනා තෙරෂ්කෝවා 1963 ජූනි 16 දින අභ්‍යාවකාශයට යාම, මෙම තරගයේදී සෝවියට් දේශය ලැබූ විශේෂ ජයග්‍රහණ වන්නේය. එමෙන්ම, 1965 මාර්තු 18 දින, වස්හෝද්-2 නමැති සෝවියට් අභ්‍යාවකාශ යානයේ සිටි ගගනගාමියෙකු වූ ඇලෙක්සේයි ලියෝනොව් යානයෙන් එළියට පැමිණ මිනිත්තු 12ක කාලයක් අහ්‍යාවකාශයේ සැරිසරමින්, අභ්‍යාවකාශයේ සැරිසැරූ ප්‍රථම පුද්ගලයා බවට පත්වෙමින් වාර්තා පොත්වලට එකතු වූයේය. ඉන් අනතුරුව, මෙම අභ්‍යාවකාශ තරගයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 1969 ජූලි 20 දින ඇමෙරිකානු ගගනගාමී නීල් ආම්ස්ට්‍රෝං සඳ මත පා තබමින් මුල් වරට සඳ තරණය කිරීමේ ගෞරවය ඇමෙරිකා එක්සත් ජනපදයට ලබා දුන්නේය.

බටහිර මාධ්‍ය කවරාකාරයෙන් අර්ථ නිරූපණය කළද, සීතල යුද්ධ සමයේ සෝවියට් සමූහාණ්ඩු සංගමය හා ඇමෙරිකා එක්සත් ජනපදය අතර පැවති අභ්‍යාවකාශ තරගයේ වැඩි ගෞරවය හිමි විය යුත්තේ සෝවියට් දේශයටය. ඉහත කී පරිදි, සෝවියට් දේශය අවස්ථා ගණනාවකදී ම අභ්‍යාවකාශතරණයේ පළමු ස්ථානයට පත්වූයේය. ඇමෙරිකානු නිව්ස්වීක් සඟරාව වරක් පවසා තිබුණු පරිදි, 80 දශකයේ ආරම්භය වන විට, අභ්‍යාවකාශ තාක්ෂණය අතින් ඇමෙරිකාව සෝවියට් සමූහාණ්ඩු සංගමයට වඩා වසර 15කින් පමණ පසුපසින් සිටියේය. අනෙක් අතට, සෝවියට් දේශය හා ඇමෙරිකාව අතර දශක කිහිපයක් තිස්සේ පැවති මෙම අභ්‍යාවකාශ තරගය විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුවට ධනාත්මක බලපෑමක් ඇතිකළ බව ද බැහැර කළ නොහැකිය. අභ්‍යාවකාශ තරණයේ සුවිසල් ජයග්‍රහණ හේතුවෙන් විද්‍යාවේ හා තාක්ෂණයේ දැවැන්ත දියුණුවක් සිදු වූ බව ද බැහැර කළ නොහැකිය.

අභ්‍යාවකාශයේ ආධිපත්‍යය අරභයා සෝවියට් දේශය හා ඇමෙරිකා එක්සත් ජනපදය අතර පැවති තරගය මේ අවස්ථාවේ අපගේ මතකයට නැගුණේ, මේ දිනවල ද කොවිඩ් එන්නත්කරණයේ ආධිපත්‍යය අරභයා ලෝකයේ බලවත් රටවල් කිහිපයක් අතර තියුණු තරගයක් ඇතිව තිඛෙන නිසාය. දැනට එම තරගයේ ඉදිරියෙන් ම සිටින රුසියාව සිය කොවිඩ් එන්නත ස්පුට්නික් V යනුවෙන් නම් කරනු ලැබුවේ ආවාට ගියාට නොව, නිරවි යුද සමයේ අභ්‍යාවකාශ ජයග්‍රහණ පිළිබඳ මතකය අවදි කිරීම සඳහාය. ඒ පිළිබඳ සංකේතයක් හැටියටය. ස්පුට්නික් යන රුසියානු වචනයේ තේරුම ගමන් සගයා වන අතර, චන්ද්‍රිකාවක් යන්නට ද ස්පුට්නික් යන වදන භාවිත කෙරෙන්නේය. ස්පුට්නික් චන්ද්‍රිකාව මගින්, 1957 ඔක්තෝබරයේදී අභ්‍යාවකාශ තරගය ජයගත් ආකාරයට ම, ස්පුට්නික් V එන්නත හරහා කොවිඩ් එන්නත්කරණ තරගය ජයග්‍රහණය කීරීමට තමන්ට හැකි වූ බවට රුසියාව උදම් අනන්නේය. නව කොරෝනා වසංගතයට එරෙහි සටනේ ගමන් සගයා බවට ස්පුට්නික් එන්නත පත්වනු ඇතැයි රුසියාව උදම් අනන්නේය. ජාත්‍යන්තර දේශපාලනයේ බල අරගලය කොවිඩ් එන්නත්කරණ ක්‍රියාවලිය හරහා කොතෙක් දුරට නිරූපණය වන්නේ ද යන්න මේ අනුව පැහැදිලි වන්නේය.

කොවිඩ් එන්නතට අනුමැතිය ලබාගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත මුලින්ම අයදුම්පතක් ඉදිරිපත් කරනු ලැබුවේ රුසියාව වුවද, ඒ සඳහා දිගු කාලයක් බලා සිටීමට ඔවුනට සිදු විය. මේ වන විට ලෝකයේ රටවල් 60 කට වැඩි ප්‍රමාණයක් රුසියානු ස්පුට්නික් එන්නත අනුමත කොට තිබුණද, යුරෝපීය ඖෂධ ඒජන්සියේ අනුමැතිය තවම ලැබී නැත්තේය. එම ආයතනයේ නිලධාරියෙකු පසුගියදා මාධ්‍යයට පවසා තිබුණේ, රුසියානු ස්පුට්නික් එන්නතට අනුමැතිය ලබාදීම ලබන සැප්තැම්බරය දක්වා කල්ගත විය හැකි බවය. කෙසේ වුවද, යුරෝපීය සංගමයට අයත් රටවල් වන හංගේරියාව සහ ස්ලෝවැකියාව රුසියානු ස්පුට්නික් එන්නත ජනතාවට ලබාදීම ආරම්භ කොට තිඛෙන අතර, ජර්මනිය ද එන්නත ලබාගැනීම සඳහා රුසියානු බලධාරීන් සමඟ සාකච්ඡා කරන ලද බව වාර්තා වන්නේය. එපමණක් නොව, රුසියාව මේ වන විට මාත්‍රා දෙකකින් යුත් ස්පුට්නික් V එන්නත වෙනුවට, තනි මාත්‍රාවකින් යුත් ස්පුට්නික් ලයිට් නමැති අලූත් එන්නතක් ද අත්හදා බලමින් සිටින බව වාර්තා වන්නේය. මෙවන් පසුබිමක් තුළ, යුරෝපීය ඖෂධ ඒජන්සිය මෙන්ම අනෙකුත් බටහිර රටවල් රුසියානු කොවිඩ් එන්නතට අනුමැතිය ලබාදීම හිතාමතා ප්‍රමාද කරන්නේ ද යන සැකය මතුවන්නේය.

යුරෝපීය ඖෂධ ඒජන්සියේ පමණක් නොව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද එන්නත් අනුමත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ ගැටළු පවතින අතර, එය ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, ජපානය සහ බටහිර යුරෝපීය රටවල ඖෂධ නියාමන ප්‍රතිපත්තිවලට වඩා ගැලපෙන බවක් පෙනෙන්නට ඇත්තේය. උදාහරණයක් ලෙස, ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධානතම ඖෂධ නිෂ්පාදන සමාගමක් වන ෆයිසර් ආයතනය, ජර්මනියේ බයෝඑන්ටෙක් සමාගම හා එක්ව නිෂ්පාදනය කරන ලද කොවිඩ් එන්නතට අනුමැතිය ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානයට ගතවූයේ මාස දෙකක් තරම් වූ කෙටි කාලයක් පමණය. එහෙත්, ඊට කලින් ඉල්ලූම් කරන ලද, රුසියානු ස්පුට්නික් එන්නතට මෙන්ම චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් සහ සිනොවැක් එන්නත්වලට අනුමැතිය ලබාදීමට බොහෝ කාලයක් ගතවූයේය. කවර හෝ එන්නතකට අනුමැතිය ලබාදීම අදාළ පර්යේෂණ තොරතුරු මත පදනම්ව ඉතා ප්‍රවේශමෙන් කළයුතු කාර්යයක් බව ඇත්තක් වුවද, වත්මන් දරුණු වසංගතය හමුවේ ඖෂධ නියාමන ක්‍රමවේද අවස්ථානුකූලව වෙනස් විය යුතු බව සමහර විශේෂඥයන්ගේ මතය වන්නේය. විශේෂයෙන්, අදාළ කොවිඩ් එන්නත් නිෂ්පාදනය කරන රටේ ඖෂධ නියාමන ආයතන හා එක්ව එන්නත් අනුමත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගතයුතු බව සමහර විශේෂඥයන්ගේ මතය වන්නේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරන ආකාරයට, මේ වන විට ලෝකයේ විවිධ කණ්ඩායම් 185ක් කොරෝනා එන්නත් නිර්මාණය කිරීමේ පර්යේෂණවල නිරතව සිටිති. ඒ අතරින්, එන්නත් 102ක් සායනික පර්යේෂණ මට්ටමේ පවතින අතර, එන්නත් 16ක් දැනටමත් භාවිතයට ගැනෙන්නේය. භාවිත කරන කොවිඩ් එන්නත් අතරට අලූතින්ම එක්වූ සාමාජිකයා වන්නේ ඉරානයේ නිෂ්පාදිත එන්නතකි. ෆයිසර්, ඇස්ට්‍රාසෙනෙකා, මොඩර්නා, ජොන්සන් සහ ජොන්සන්, ස්පුට්නික්, සයිනොෆාම්, සිනොවැක් යන එන්නත් දැනට ලෝකයේ වැඩිපුරම භාවිත වන කොවිඩ් එන්නත් අතර වන්නේය. පසුගිය ජූනි 16 දින වන විට ලෝ පුරා බිලියන 2.5කට කොවිඩ් එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලබාදී තිබුණු අතර, එය සමස්ත ලෝක ජනගහණයෙන් සියයට 20.9ක් පමණ වන්නේය. මාත්‍රා දෙක ම ලබාදුන් ප්‍රමාණය මිලියන 480ක් (ලෝක ජනගහණයෙන් සියයට 6.29ක්) පමණ වන්නේය.

සමස්ත ලෝක තත්ත්වය එසේ වුවද, පොහොසත් රටවල් රාශියක් මේ වන විටත් එන්නත්කරණ ගමනේ බොහෝ දුර ගොස් හමාරය. නිදසුනක් ලෙස, ඇමෙරිකා එක්සත් ජනපදයේ මුළු ජනගහණයෙන් සියයට 44.4කට, එනම් මිලියන 146කට, මේ වන විටත් එන්නත් මාත්‍රා දෙක ම ලබාදී හමාරය. එක්සත් රාජධානියේ ජනගහණයෙන් සියයට 45.3කට, මිලියන 30.2කට, මාත්‍රා දෙක ම ලබාදී හමාරය. ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤය වැනි රටවල ද සමස්ත ජනගහණයෙන් සියයට 20කට වැඩි පිරිසකට කොවිඩ් එන්නත් මාත්‍රා දෙක ම ලබාදී හමාරය. කෙටියෙන් කියතොත්, ලෝක ජනහණයෙන් සියයට 16ක් පමණ වෙසෙන ධනවත් රටවල් දැනට ලබාදී ඇති කොවිඩ් එන්නත් ප්‍රමාණයෙන් අඩකටත් වැඩියෙන් ලබාගෙන ඇත්තේය. අනෙක් අතට අඩු ආදායම්ලාභී රටවල, එක් මාත්‍රාවක් හෝ ලබාදී ඇත්තේ මුළු ජනගහණයෙන් සියයට 0.8ක් තරම් වූ සුළු ප්‍රමාණයකට වන අතර, තවමත් එන්නත්කරණය ආරම්භ නොවුණු රටවල් ගණනාවක් ම ඇත්තේය. ගෝලීය කොවිඩ් එන්නත්කරණ ක්‍රියාවලියේ විෂමතාවය, අසමතුලිතතාවය, අසාධාරණය, මේ අනුව පැහැදිලි වන්නේය. ගෝලීය කොවිඩ් එන්නත්කරණ ක්‍රියාවලිය තුළ, පොහොසත් රටවලට කිරි, දුප්පත් රටවලට කැකිරි තත්ත්වයක් උදාවී ඇති බව මේ අනුව පැහැදිලි වන්නේය. මෙම තත්ත්වය, ගෝලීය කොවිඩ් එන්නත්කරණයේ වර්ණභේදවාදය ලෙස ද ඇතැම්හු හඳුන්වති.

එන්නත් සහ ප්‍රතිශක්තීකරණය සඳහා වූ ගෝලීය සන්ධානය නොහොත් ගැවී ආයතනය, ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්ව අඩු ආදායම්ලාභී රටවලට කොවිඩ් එන්නත ලබාදීමේ විශේෂ වැඩපිළිවෙලක් සකස් කරනු ලැබුවේ මෙම අනතුර කල්තියා දුටු නිසා විය යුතුය. කොවැක්ස් පහසුකම නමින් හැඳින්වෙන එම වැඩසටහනේ ඉලක්කය වී ඇත්තේ ආසියානු, අප්‍රිකානු හා ලතින් ඇමෙරිකානු රටවල වෙසෙන වඩා අවදානම් සහගත ජනකොටස්වලට කොවිඩ් එන්නත ලබාදීමය. එහෙත්, මුදල් හිඟකම, එන්නත් හිඟකම, ගිවිසුම් ගතවීමේ සංකීර්ණතා, ආනයන අපනයන ගැටළු වැනි කරුණු හේතුවෙන් කොවැක්ස් ඉලක්ක සපුරා ගැනීම අසීරු වී ඇති බව වාර්තා වන්නේය. 2021 වසර සඳහා කොවැක්ස් පහසුකමට අවශ්‍ය ඇස්තමේන්තුගත මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 6.8ක් වුවද, දැනට ලැබී ඇත්තේ ඩොලර් බිලියන 4ක් පමණක් බව වාර්තා වන්නේය. මීට අමතරව, කොවිඩ් එන්නතේ ඉල්ලූමේ තරමට සැපයුම නොමැතිවීම ද තවත් ප්‍රධාන බාධකයක් වී ඇත්තේය. ලෝකයේ කොවිඩ් එන්නත් අවශ්‍යතාවයෙන් සියයට 70ක් ම ඉන්දියාව විසින් සපුරාලීමට නියමිතව තිබුණු අතර, ඇස්ට්‍රාසෙනෙකා එන්නත නිෂ්පාදනය කිරීමේ අවසරය ඉන්දියාවේ සීරම් ආයතනයට ලැබී ඇත්තේය. කොවැක්ස් පහසුකම යටතේ සීරම් ආයතනය නිපදවන කොවිෂීල්ඩ් එන්නත් විශාල ප්‍රමාණයක් ලබාදීමට නියමිතව තිබුණද, පසුගිය අප්‍රේල් මාසයේ සිට ඉන්දියාව දරුණු කොවිඩ් රැල්ලකට මුහුණ දී සිටින බැවින් එරට නිෂ්පාදනය කෙරෙන කොවිඩ් එන්නත් අපනයනය තාවකාලිකව නවතා දමා ඇත්තේය.

මීට සමගාමීව, ලෝකයේ ධනවත් රටවල් විසින් කොවිඩ් එන්නත් ඩැහැ ගැනීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම අතිශය කනගාටුදායක වනවා පමණක් නොව, කොවිඩ් වසංගතය මර්දනය කිරීමේ ක්‍රියාවලියට හානිකර ද වන්නේය. පළමු කොවිඩ් එන්නත් තුනට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී මාසයක් ගතවීමටත් කලියෙන්, 2021 වසරේ අපේක්ෂිත එන්නත් නිෂ්පාදනයෙන් සියයට 85කට වැඩි ප්‍රමාණයක් ධනවත් රටවල් විසින් ඇණවුම් කොට වෙන්කර ගත්හ. තම රටේ මුළු ජනගහණයට තුන් හතර වතාවක් එන්නත් කළ හැකි තරමට සමහර රටවල් එන්නත් වෙන්කරගෙන ඇත්තේය. නිදසුනක් ලෙස, සිය ජනගහණයට පස් වතාවක් එන්නත් කළ හැකි තරමට කැනඩාව විසින් එන්නත් වෙන්කරගෙන ඇත්තේය. එක්සත් රාජධානිය අවශ්‍ය ප්‍රමාණයට වඩා 3.6 ගුණයක් ද, යුරෝපා සංගමය අවශ්‍ය ප්‍රමාණයට වඩා 2.7 ගුණයක් ද එන්නත් වෙන්කරගෙන ඇත්තේය. මෙයාකාරයට, ධනවත් රටවල් කිහිපයක් විසින් එන්නත් තොග රැස්කිරීම, ගෝලීය කොවිඩ් එන්නත්කරණ වර්ණභේදවාදයේ තවත් මුහුණුවරක් ලෙස ඇතැම්හු අර්ථදක්වති. මෙම තත්ත්වය තවදුරටත් පැවතියහොත්, කොවැක්ස් පහසුකම යටතේ එන්නත් බලාපොරොත්තුවෙන් සිටින අඩු ආදායම්ලාභී රටවලට සිය අවශ්‍යතාවය සපුරා ගැනීම 2022 අවසානය තෙක් බලා සිටීමට සිදුවිය හැකි බවට අනාවැකි පළවන්නේය.

කොවිඩ් එන්නත් නිෂ්පාදනය වැඩි කිරීම සඳහා ගතහැකි වැදගත් පියවරක් වන්නේ, කොවිඩ් එන්නත් සම්බන්ධයෙන් වූ පේටන්ට් බලපත්‍ර අයිතිය තාවකාලිකව, එනම් වසරකට හෝ දෙකකට අහෝසි කිරීමය. කොවිඩ් එන්නත් නිපදවන ලද සමාගම් හා ආයතන එවැන්නකට එකඟ වීමය. මුළු ලෝකයට ම එකසේ වදදෙන මෙම නව කොරානා වසංගතය හමුවේ, එන්නත් වෙළදාමෙන් ලැඛෙන ලාභය සුළුවෙන් හෝ අඩුකිරීමට කොවිඩ් එන්නත් නිෂ්පාදන සමාගම් එකඟ වන්නේ නම්, ගෝලීය කොවිඩ් එන්නත්කරණ ක්‍රියාවලියට මහත් සහනයක් වනු ඇත්තේය. කොවැක්ස් පහසුකමේ ඉදිරි කටයුතුවලට ද මහත් සහනයක් වනු ඇත්තේය. පේටන්ට් බලපත්‍ර අයිතිය තාවකාලිකව අත්හැරීම ගැන සලකා බලන්නැයි ඉන්දියාව හා දකුණු අප්‍රිකාව පසුගිය වසරේ ලෝක වෙළඳ සංවිධානයෙන් ඉල්ලා සිටි අතර, මේ වන විට ඇමෙරිකානු හා රුසියානු රාජ්‍ය නායකයින් වෙතින් ද ඒ ගැන යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇතැයි වාර්තා වන්නේය.

කෙසේ වුවද, මේ අවස්ථාවේදී, දුප්පත්-පොහොසත්, ලොකු-කුඩා භේදයකින් තොරව, ලෝ පුරා සියලූම රටවල්, සියලූම ජාතීන් වටහා ගතයුතු සරල සත්‍යයක් ඇත්තේය. එනම්, මෙම ගෝලීය වසංගතය මර්දනය කිරීම, ඉන් බේරීම තනි රටකට හෝ රටවල් කිහිපයකට පමණක් කළ නොහැකි බවය. කිසියම් රටක් සිය ජනගහණය මුළුමනින් ම එන්නත්කරණයට ලක්කළද, ඉන් ලැඛෙන ආරක්ෂාව තාවකාලික එකක් විය හැක්කේය. මන්ද යත්, ලෝකයේ කවර හෝ අස්සක මුල්ලක වසංගතය තදින් පැතිර ගියහොත්, එය මුළු ලෝකය පුරාම පැතිර යා හැක්කේය. ඉන්දියාවෙන් හමු වූ ඩෙල්ටා වෛරස ප්‍රභේදය, එන්නත්කරණයෙන් ඉදිරියෙන් සිටින ඇමෙරිකාව, එංගලන්තය වැනි රටවල ද යළි පැතිරීමෙන් මේ බව තහවුරු වන්නේය. අනෙක් අතට, අන්තර්ජාතික වෙළඳ කටයුතු, ජාත්‍යන්තර ගුවන් ගමන් කොතෙක් නම් කාලයක් නවතා තබන්නද? සෙසු රටවල් සමඟ ගනුදෙනු නවතා ධනවත් රටවලට පමණක් හුදෙකලාව පැවතිය හැකිද? වර්තමාන ලෝකය කොතෙක් දුරට එකිනෙකා හා සම්බන්ධ වී ඇත්ද යත්, කිසිදු රටකට තනිව පැවැත්මක් නැත්තේය. කොවිඩ්-19 ගෝලීය වසංගතය මර්දනය කිරීම සඳහා ද, මුළු මානව සංහතියේ ඒකාබද්ධ, සාමූහික ප්‍රයත්නයක් අවශ්‍ය වන්නේ ඒ නිසාය. ගෝලීය කොවිඩ් එන්නත්කරණ ක්‍රියාවලිය තුළ දළුලන වර්ණභේදවාදය මුලිනුපුටා දැමිය යුත්තේ ඒ නිසාය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *