ගොවීන් මහ පාරට ඇද දමන පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය

විමුක්ති ද සිල්වා.

පහළ මල්වතුඔය ජලාශ ව්‍යාපෘතියෙන් අවතැන් වූ ජනතාවගේ ගොවි සංවිධාන එකමුතුව 2021/08/05 දින මාධ්‍ය සාකච්ජාවක් පවත්වමින් එහි කැඳවුම්කරු වන අමරසිංහ මහතා කියා සිටියේ 2021 අප්‍රේල් මස බහු කාර්‍ය ජල ව්‍යාපෘතිය මුල් ගල් තබමින් ආරම්භ කළත් මේ වන විට කිසිදු හේතුවක් නිසා ගොවින් ට සිදුවන හානිය පිළිබඳව හෝ ඒ හේතුවෙන් අවතැන් වන පවුල් සංඛ්‍යාව පිළිබඳ පැහැදිලි අදහසක් තවමත් පවසා නැත.පලමුවෙන් පවුල් 360 ක් අවතැන් වන බව පැවසුවත් දැන් මේ වන විට පවසා සිටින්නේ වසස්ථාන අහිමි වන පිරිස 204 ක් බවයි. නමුත් ජනාධිපති ලේකම් විසින් එවන ලද ලිපියේ දැනුම් දී ඇත්තේ පවුල් 2002ක් බලපෑමට ලක් වන බවයි. නමුත් මේ වන විටත් ඒ
පිලිබඳව කිසිදු සඳහනක් ගොවින් වන ඔවුන් වෙත දන්වා නැති බව ඔහු පෙන්වා දෙයි.

යන එන මං නැතිවන්නේ ගොවීන් ට ය.

ඔහු පවසන්නේ මෙම ව්‍යාපෘතිය සඳහා දිස්ත්‍රික්ක දෙකක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 4ක ගම්මාන 22ක , වැව් 22 ක ගොඩ මඩ ඉඩම් අක්කර 7000ක් පමණ මේ නිසා විනාශ වන බවයි. එමෙන්ම මේ වන විට ගොවීන් පවසා සිටින්නේ ව්‍යාපෘතිය හේතුවෙන් අක්කර 6568 ක භූමි ප්‍රදේශයක් විනාශ වන බවයි . නමුත් පසුගිය රජය පවසා සිටියේ පහල මල්වතුඔය ජලාශය ඉදිකිරිමට පෙර අවතැන් ජනතාවට සාධාරණ වන්දි මුදලක්ද ,පදිංචියට සුදුසු ප්‍රදේශද ඉදි කළ නිවාසයක් බැගින්ද ලබාදීමටත් එම පවුල් සඳහා යල ,මහ වගා කළ හැකි කුඹුරු ඉඩම් ලබා දෙන බවයි. නමුත් දෙවන වතාවට ව්‍යාපෘතිය ආරම්භ කිරිමේදී කිසිදු සොයා බැලීමක් නොකළ බවත් ගොවීහු පවසති.

රස්මික වැව, ආර්.සිරිපාල මහතා කියා සිටියේ 2015 දී ඔවුන් මෙම ව්‍යාපෘතිය පිළබඳව දැනුවත් වූ බවත් ,ඒ සඳහා තන්තිරිමලේ රජ මහා විහාරයේ ස්වාමින් වහන්සේගේ මුලිකත්වයෙන් සෑම ගමකම අවතැන්වන්නන්ගේ සමිති ආරම්භ කළ බවත් එහිදී මඩින් අක්කරයක් හා ගොඩ ඉඩම් වලින් අක්කර 1 1/2 ක් බැගින් ලබා දෙන බව පැවසූ බවත් ය. “නමුත් දැන් කියනවා අක්කර 1/2 දෙනවා කියලා . නමුත් අපි ගොවියෝ අපි දන්නේ ගොවිතැන් කරන්න. අපිට ඔය කියන නගර සැලසුම් වලින් වැඩක් නැහැ. මේ ගම් වල 80% ක් ඉන්නේ ගොවියෝ ඒ වගේම 50% කට වඩා ඉන්නේ කිරි ගොවියෝ ඉන්නේ .ඉතින් අපිට ඔය කියන ඉඩම් ප්‍රමාණය කොහොමවත් ප්‍රමාණවත් නැහැ. අපි මෙහෙට ආවේ 1982 -83 කාලයේ සාගිනි නිවිමේ ව්‍යාපාරය යටතේ ඉඩම් ලැබිලා. අපි හොදට ගොඩ මඩ වවනවා. අපේ ගමේ සමෘද්ධි පවුල් ඉන්නෙත් කිහිපයයි. අපි ඒක නිසා ආණ්ඩු අපිට කල දේවල් වලට ණය නැහැ.” යනුවෙන් ඔහු පවසයි.

අනුලාවතී මහත්මිය කියා සිටියේ, “අපි වසර 30ක් පැවති යුද්ධය නිසා පීඩා වින්දා .නමුත් දැන් අපි හොදට ගොවිතැන් කරගෙන ඉන්නවා. අපි දාඩිය මහන්සියෙන් ජීවත් වෙන මිනිස්සු .දැන් ඩෑම් එක හදන්න පටන් අරන් තියෙන්නේ අලි මාරු වන බිම් ප්‍රදේශයක දැනටම ඔවුන්ගේ ගමන් මාර්ග වෙනස් වෙලා නිසා අලි ගම් වැදිලා සඳමල් එලිය ගමේ ගෙවල් කීපයක් අලි කඩා දාලා. දැන් මහ දවල්ටත් අලි පාරේ . මෙහෙම ගියොත් වන සත්තු ගම් වදිනවා. ඒක සිදුවෙන්නෙත් මේ ව්‍යාපෘතිය නිසා නම් අපිත් මෙහි අවතැන් වන ජනතාවක් වෙනවා. අපිට වන සත්තු එක්ක ඔට්ටු වෙවි ගොවිතැන් කරන්නවත් ජීවත් වෙන්නවත් බැහැ.කොහොම වුනත් අපි කියන්නේ මේ ප්‍රදේශයේ පවුල් 12500 ක් විතර මේ ව්‍යාපෘතිය හේතුවෙන් විපතට පත් වෙයි කියලා.”

මධ්‍යම නුවර ගම් පළාත ප්‍රාදේශිය සභාවේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන සුමිත් මහතා කියා සිටියේ මෙම ව්‍යාපෘතිය තුළ විශාල අක්‍රමිකතා ප්‍රමාණයක් සිදුවන බවත් ජනතාවට සහන සලසන ක්‍රමවේදයක් පිළිබඳව තවමත් පැහැදිලි අදහසක් නොමැති අතර ප්‍රදේශයේ ජනතාව විසින් නැවත ඉඩම් ලබා දීම පිළිබඳව විකල්ප ඉදිරිපත් කර ඇති අතර ඒ ගැනද කිසිදු සැලකිල්ලක් නොමැති බවත් ය. 2015 සිට ප්‍රදේශවාසින් මෙම ව්‍යාපෘතිය නැවත්වීමට උත්සාහ ගෙන තිබුණත් මේ වනවිට ව්‍යාපෘතිය ආරම්භ කර ඇති නිසාත් උමා ඔය, යාන් ඔය ව්‍යාපෘතින් හේතුවෙන් අවතැන් වූ ජනතාව තවමත් නිසි ලෙස වන්දි හෝ ඉඩම් ලබා ගෙන නොමැති නිසාත් ඔවුන් ඒ සදහා ඔවුන්ගේ අරගලය ගෙන යන බවත් ඔහු පැවසුවේය. එමෙන්ම
ව්‍යාපෘති ආරම්භක යෝජනාවෙහිදී කියා තිබුණේ අවතැන් වන ජනතාවට එහි රැකියා අවස්ථා සදහා ප්‍රමුඛතාව ලබා දෙන බවයි. නමුත් මේ වන විට ඒ සඳහා ඉතා අධික මුදලක් ගෙවමින් අම්පාර ප්‍රදේශයේ පුද්ගලයන් කම්කරුවන් ලෙස බඳවා ගෙන ඇත. එමෙන්ම මෙහි පස් අදින ටිපර් පවා අම්පාර “ආදම්බාවා” නම් කොන්ත්‍රාත්කරුවකු වෙත ලබා දී ඇති බවත් ගොවි ජනයා පවසති. මෙවැනි අක්‍රමිකතා සිදුකරම්න් ව්‍යාපෘතියේ ප්‍රතිපාදන මංකොල්ල කන බව ජනයාගේ චෝදනාවයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *