ගොවීන්ගෙන් වී මිලදී ගැනීමේදී මතුව ඇති ගැටලු විසඳීමට කඩිනමින් පියවර ගන්නවා – කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර

 ගොවීන්ගෙන් වී මිලදී ගැනීමේදී මතුව ඇති ගැටලු විසඳීමට කඩිනමින් පියවර ගන්නවා – කෘෂිකර්ම අමාත්‍ය  මහින්ද අමරවීර

ගොවීන්ගෙන් වී මිලදී ගැනීමේදී මතුව ඇති ගැටලු විසඳීමට කඩිනමින් පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයට ප්‍රමාණවත් මුදල් වෙන්කර නැති බැවින් මහා භාණ්ඩාගාරයෙන් ලැබුණු මුදල්වලින් වී යම් ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බවද අමාත්‍යවරයා පැවසීය. මෙම තත්ත්වය තුළ ගොවීන්ට අපේක්ෂිත මිල නොලැබීම හේතුවෙන් වී අලෙවි කිරීමට උනන්දු නොවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා (09) පාර්ලිමේන්තුවේ පැවති කෘෂිකර්ම කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී වී මිලදී ගැනීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් නැගූ ගැටලුවලට පිළිතුරු ලබාදෙමිනි.

වී මිලදී ගැනීම සඳහා නියම කර ඇති අවම මිලට වී මිලදී ගත්තද එම මිලට වඩා අඩු මිලකට සහල් අලෙවි කිරීමට වී අලෙවි මණ්ඩලයට සිදුවන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙම තත්ත්වය තුළ වී මිලදී ගැනීම සම්බන්ධයෙන් පවතින ගැටලු අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර විසඳා ගැනීමට පියවර ගන්නා බවද ඔහු දැනුම් දුන්නේය.

මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ගොවීන් අනෙකුත් ප්‍රදේශවලට පෙර කන්නය ආරම්භ කරන බැවින් වැඩි මිලට පොහොර මිලදී ගැනීමට සිදුව ඇති බව එම ප්‍රදේශවල මන්ත්‍රීවරු පෙන්වා දුන්හ. කන්නය තීරණය කිරීම සඳහා පැවැත්වෙන කන්න රැස්වීමේදී කන්නය ආරම්භ කරන දිනය පොදුවේ තීරණය කිරීම කෙරෙහි අවධානය යොමු කරන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය. මේ අනුව සමස්ත දිවයිනම බලපාන පරිදි කන්නය ආරම්භ වන දිනය පිළිබඳව ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම බිත්තර නිෂ්පාදනය අඩුවීම හේතුවෙන් බිත්තර මිල ඉහළ මට්ටමක පවතින බවත් නිෂ්පාදනය ක්‍රමයෙන් ඉහළ යාම හේතුවෙන් ඉදිරියේදී බිත්තර මිල අඩුවිය හැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *