ගුරු සටන මහ පාරේ දිය වෙයිද?

අගෝස්තු 02වැනි දින සන්ධ්‍යාවේ කැබිනට් රැස්වීම හමාර ව නැවත එමින් සිටි අමාත්‍යවරුන් අතරින් ගාමිණී ලොකුගේ ගුරුවරුන්ගේ වැටුප් වැඩි වීම ගැන ඇසූ මාධ්‍ය වෙත “වොයිස් කට්” දුන්නේ ය. අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේ ගුරු වැටුප වැඩි  නොකිරීමට ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය තීන්දු කළ  බවයි. “මේ වෙලාවේ වැටුප් වැඩි කිරීමට රටේ සල්ලි නොමැති බවද එළඹෙන අයවැයේදී ඒ සම්බන්ධයෙන් කිසියම් තීන්දුවක් ගන්නා බවද ප්‍රකාශ කළ ඔහු ජනාධිපතිවරයාගේ මතය එය බවද තහවුරු කළේය”.

රජය ගුරු වැටුප මේ අවස්ථාවේ වැඩි නොකිරීමට එවැනි අනම්‍ය තීන්දුවක් ගෙන තිබියදී මෑත ඉතිහාසයේ දියත් වූ බලවත්ම ගුරු විරෝධතා රැල්ල දිනෙන් දින රටේ විවිධ ප්‍රදේශවල ඉස්මතු වෙයි. ඔන්ලයින් ඉගැන්වීම්වලින් බැහැර ව සිටින බව සපථ කර ඇති ගුරුවරු ඊයේ අගෝස්තු 02වැනි දින සේවයට කැඳවා නිකුත් කළ චක්‍රලේඛයද නොසළකා හරින බව පැවසූහ. ඒ අනුව ඔවුන් පාසල් වෙත සේවයට වාර්තා නොකරන අතර පාසල් ආරම්භ ව නොමැති පසුබිමක ඉන් දරුවන්ට අත්වන පාඩුවක්ද නැත. කෙසේවෙතත් රැකියා විරහිත උපාධිධාරීන් වුවමනා තරම් රටේ ඉන්නා නිසා වර්ජනයේ නිරත ගුරුවරුන් සේවයෙන් පහ කරන මෙන් රජයට උපදෙස් දෙන රාෂ්ඨ්‍ර හිතෛෂීන් සමාජමාධ්‍ය පෝස්ටු පළ කරද්දී, පැතිර යමින් පවතින වසංගතය පිළිබඳව භීතියට පත්ව සිටින ඇතැම් ජනයාද ගුරු සටන පිළිබඳ මිශ්‍ර හා ඍනාත්මක ප්‍රතිචාර එක් කරන්නට පටන් ගෙන ඇත.  එසේ නමුත් ගුරුවරුන් සේවයෙන් පහ කොට නව පිරිස් බඳවා ගැනීම ෆේස්බුක් පෝස්ටු දමන තරම් පහසු නොවන අතර සිදු කළ යුත්තක්ද නොවේ.  ඒ උපාධිධාරීන් වූ පළියට පුහුණු ගුරුවරයෙකුගේ ශක්‍යතාවය අත්කර ගනිමින් ඉගැන්වීමේ කාර්යය සිදු කිරීම කළ නොහැකි නිසා ය.

ඇත්තටම ගුරු වැටුප ප්‍රමාණවත් නැතිද?

මේ මොහොතේ රට මුහුණ දෙමින් සිටින්නේ බරපතල ආර්ථික අවපාතයකට ය. ප්‍රධාන වශයෙන් ගෝලීය කොව්ඩ් වසංගතය හේතුවෙන් සංචාරක ව්‍යාපාරය ඇතුළු විදේශ විනිමය ගලා එන මාර්ග ඇහිරීම හේතුවෙන් රටට ලැබෙන මුදල දිනෙන් දින අඩු වේ.  රුපියල අවප්‍රමාණය වීම ඇතුළු සාධක කිහිපයක් නිසා භාණ්ඩ මිල වැඩිවෙමින් පවතින අතර භාණ්ඩ හිඟයක්ද නිර්මාණය වී ඇත.  මේ වනවිට දිවයිනේ බොහෝ නගරවල කිරිපිටි වැනි ආහාර ද්‍රව්‍ය මිලට ගැනීමට නොහැකි ය.  නමුත් ආර්ථික අවපාතයට සැබෑ හේතුව කොවිඩ් ව්‍යසනය නොවේ. අවශ්‍යතා නිසිපරිදි තක්සේරු නොකළ ආර්ථික කළමනාකරණය, අන්ත දූෂිත පාලන තන්ත්‍රය, අකාර්යක්ෂම, දූෂිත හා රටට බරක් වූ රාජ්‍ය සේවයක් නිදහසින් පසු අත්විඳින පසුබිමක මේ ලැබෙමින් පවතින්නේ ඒවායේ අස්වැන්න ය. එවැනි අස්වැන්නක් භුක්ති විඳින්නට සිදුව තිබියදී අතට ලැබෙන වැටුප ආහාර මිලදී ගැනීමට වියදම් කළ පසු ඉතිරියක් නැති ඛේදවාචකයට සමස්ත රට වැසියාම මුහුණ දී සිටිති. බොහෝ රටවල් අතර ආහාර සඳහා වැඩිම මිල ප්‍රතිශතයක් ආදායමට අනුව දරන්නට සිදුවන රටක් ලෙස ලංකාව පෙරමුණේ පසු වේ. රාජ්‍ය සේවයේ වැඩිමනත් සේවකයන්ද, පුද්ගලික අංශයේ විධායක නොවන තනතුරු දරන්නන්ද දැන් මේ අහේනියට මුහුණ දී තිබේ. ගුරුවරු ලබන වැටුප ගැන ඔවුන් පවසන සංඛ්‍යාත්මක අගය ආසන්න වශයෙන් 35000ක පමණ සීමාවේ පැවතියද, සියලු ගුරුවරුන් රුපියල් 35000ක වැටුපක් ලබන බව ඉන් අදහස් නොවේ. ඇතැම් ගුරුවරු රුපියල් 60000 ඉක්ම වූ වැටුපක්ද ලබති. ඉන් අදහස් වන්නේ ගුරු වැටුප් වැඩි නොකළ යුතු බව නොවේ. පවතින වැටුප් විෂමතා සළකා බලා සමස්ත ගුරු සේවයේ වැටුප සාධාරණ ලෙස වැඩි කළ යුතු බව අවිවාදිත ය.  එහෙත් ගැටලුව වන්නේ නැවත ඊට සාපේක්ෂව සමස්ත රාජ්‍ය සේවයේ වැටුප නියාමනය කිරීමයි.

ගුරුවරයා අරගලය පිළිබඳ සවිඥානිකද?

මේ අවස්ථාවේ සමාජය ප්‍රශ්න කළ යුතු වන්නේ ගුරුවරයාගේ දේශපාලන සවිඥානිකත්වයි.  මේ ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා රාජ්‍ය සේවකයන් ලබා දුන් තැපැල් ඡන්ද අතිමහත් කන්දරාවෙන් වැඩි පංගුව ගුරුවරුන්ගේ වීම උත්ප්‍රාසජනක ය. ඇතැම් ගුරුවරු දේශපාලන සදාචාරය බල්ලාට දමමින් තම ටියුෂන් පංතියේ මතු නොව පාසලේ පංති කාමරයේදීද දරුවන් ඉදිරිපිට දේශපාලන රංගනවල නිතර වූ අතර ඔවුන් ලවා අසවලාට ඡන්දය දෙන්නැයි දෙමව්පියන්ට බලපෑම් කළ අවස්ථා අපමණ වාර්තා විය.  මෙරට ඕනෑම දේශපාලනඥයෙකුගේ කාර්යාල හෙංචයියන් අතර සේවාවෙන් අනුයුක්ත කරන ලද ගුරුවරු දුසිම් ගණනක් සොයා ගත හැකිය. මේ මහපාරේ කරන අරගලවලදීද එහි දිශානතිය සොයා ගැනීමට ගුරුවරු අපොහොසත් විය හැකි ය. ඒ ඔවුන්ගේ දේශපාලන විඥානය ප්‍රශ්නකාරී නිසා ය.  අරගලය තුළ වැටුප් ගැටලුව ප්‍රමුඛ මාතෘකාවක් වෙද්දී ගුණාත්මක අධ්‍යාපනයකට රටේ දරුවන්ට ඇති අයිතිය හා කන්නන්ගර චින්තනයෙන් උපන් නිදහස් අධ්‍යාපනය ඇති බාධක නිසි පරිදි වටහා ගැනීමට ඔවුන් සමත් විය යුතුය.  කොතලාවල පනතට විරුද්ධ වීම යනු එම ආයතනයට විරුද්ධ වීම නොවන බව වටහා ගත යුතුය.  නමුත් බැලූ බැල්මට එවැනි පදනමක් පෙනෙන්නට නැත. හෙට දවසේ ගුරු වැටුප ඉල්ලන ප්‍රතිශතයෙන්ම වැඩි වුවද, අයිස්ලන්ත හෝ ෆින්ලන්ත පන්නයේ සාධනීය වෙනස්කම් සහිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවකට අදාල සංවාදයක් ඔවුන් අතර ඇති වනු ඇතැයි සිතීම දුෂ්කර ය. ඒ අනුව දැනෙන සුලු වැටුප් වැඩිවීමක් සමගද ගුරුවරු ටියුෂන් පංතියටද යනු ඇත. ඒ ඇතැම් විට පාසලේ ඉගැන්වීම් කාර්යය හරිහැටි නොකරන ගුරු නාමධාරීන්ද සමගය. එහිදී වැඩිවන වැටුප සිය බදු මුදලින් ගෙවන මහජනයාට නොකා නොබී ටියුෂන් පංතිවලටද මුදල් වැය කරන්නට සිදු වේ. එවැනි තත්ත්වයකින් බැහැර වීමට නම් ප්‍රායෝගික පැවරුම් සාධන බහුල, විභාග ප්‍රශ්න පත්තරවලට උත්තර ලියා ජීවිතය තීන්දු කරන මේ අධ්‍යාපන ක්‍රමය සංශෝධනය විය යුතුය.  පාසල, ගුරු භූමිකාව සහ සංවාද අධ්‍යාපනයට සූදානම් ශිෂ්‍යයාද ඇතුළුව ක්‍රමය උඩු යටිකුරු විය යුතුය. සංවර්ධනය වූ රටක් බවට පත් වීමේ අපේ ඉලක්ක සපුරා ගත හැකි වන්නේද එවිටය. නමුත් අවාසනාවකට තවමත් පෙනෙන්නට නැත්තේ ඒ සඳහා වන ප්‍රවේශ සාකච්ඡාවයි.

මහජන මතය වෙනස් වන්නට ඉඩ තිබේ.

මේ වනවිට මහජනයා ගුරුවරුන්ට පක්ෂපාතී ය. ඊට හේතුවන සංස්කෘතික පසුබිමක්ද මෙරට තිබේ. ලක් වැසියන්ට ගුරුවරයාද දෙවියෙකි. එහිදී ගුරුවරුනගේ පූර්ව දේශපාලන භුමිකා අමතක කරන්නට පවා ජනයා සූදානම් ය. සාධාරණ වෘත්තීය අරගලයකදී සමස්ත රටවැසියා මෙලෙස සහය දීම ඉතා ප්‍රශස්තය. අගය කළ යුතුය. සාමූහික සමාජ විඥානයක් පිළිබඳ හැඟීම් ඇතිවන්නේ එවිට ය. එහෙත් දැන් දැන් ගුරු සටනේ ස්වභාවය ගැන මහජන නොකැමැත්තේ ආලෝක පුංජයන්ද යම්තමින් දැල්වෙමින් පවතින බව සමාජ මාධ්‍ය නිරීක්ෂණය කිරීමේදී හා බිම් මට්ටමේ ජන හඬට සවන් දීමේදී පෙනී යයි.  ඒවා තවම මතවාදී වශයෙන් බලවත් නොවූවද එළි දහසක් එක් වූ පසු දීප්තිය වැඩි වීමට ඉඩ තිබේ. ආණ්ඩුව නිහඬව පසු වන්නේ මේ ස්වභාවික ප්‍රතිවිරෝධතාවලට උත්පාද වීමට අවකාශ සළසා දීමේ අරමුණෙන් විය හැකිය.  බිහිසුණු ලෙස වසංගතය ව්‍යාප්ත වෙමින් තිබියදී ගුරුවරු තම අරගලයේ උපාය මාර්ග වෙනස් නොකළහොත් සහ නිදහස් අධ්‍යාපනය සම්බන්ධ සංකල්ප හා භාවිතය නව්‍යකරණය කිරීමට අදාල කතිකාවකට මුල පිරීම අතපසු නොකළහොත් ප්‍රතිවිරෝධතාවේ කුඩා එළි දැවැන්ත ගින්නක් වනු ඇත. එවිට ගුරු අරගලය මහ පාරේ දියව යනු ඇත.  ගුරුවරුන්ට ඉල්ලූ තරමට නොවන වැටුප් වැඩිවීමක්ද මහජනයාට හෙට දවසේත් නොවුමනා තරමේ ටියුෂන් වැය ශීර්ෂයක් ගෙදර අයවැයේ වෙන් කිරීමේ අවස්ථාවද තවදුරටත් ලැබෙනු ඇත.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.