ගිගිරි මුතු ගිලිහුණු උඩරට කලාකරුවෝ
උඩරට සම්ප්‍රදායික නර්ථන කලාව ජීවන වෘත්තිය කරගත් සහ පරම්පරාවෙන් පරම්පරාවට උරුමයක් ලෙසින් රැකගෙන පැමිණි කලාකරුවෝ බොහොමයක් ජීවත් වන්නේ මහනුවර සිංහලයේ අවසන් රාජධානිය කේන්ද්‍ර කරගනිමිනි. විවිධවූ දුෂ්කරතා මධ්‍යයේ වුව රටට බරක් නොවී ජීවත්වූ මෙම කලාකරුවන් අතරින් බොහෝ දෙනෙකු කොරෝනා බලපෑම හමුවේ අද දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින්නේ කීයක් හෝ සොයාගත් වැඩකටයුතු වල පෙර පරිදි යෙදීමට නොහැකි වීම නිසාය. වෙනදා මෙරට සංස්කෘතිය හා බැඳි පවතින පෙරහර මංගල්‍යයන්, පූජ්‍ය ස්ථානවල තේවා කටයුතු, බලියාග, කොහොඹා කංකාරී ශාන්ති කර්ම, සූවිසි විවරණ පමණක් නොව මංගල උත්සව වල පෝරුව චාරිත්‍ර ඉටු කිරීමේ සිට විදේශිය සංචාරකයින් වෙනුවෙන් උඩරට වෙස් නැටුම් සංදර්ශන පැවැත්වීම දක්වා පුළුල්ව පැතිර ගිය ක්ෂේත්‍රයක කටයුතු කරමින් ඔවුහූ ආදායම් සරිකර ගත්හ. උඩරට සම්ප්‍රදායික කලාකරුවන් සහසම්බන්ධවූ මේ කටයුතු සියල්ල ඇනහිට තිබීම නිසා ඇතැම් කලාකරුවන්ට කලාව අත හැර කුලී වැඩක් සොයා යෑමට සිදුව තිබීම අභාග්‍යසම්පන්න තත්ත්වයකි.

උඩරට නර්ථන කලාව යනු නැටුම පමණක් නොවන අතර ඒ තුළ ගායනය, වාදනය, නර්තනය, නක්ෂත්‍රය, වෙදකම, චිත්‍ර හා ඇඹුම් කලාව අන්තර්ගතය. එහෙත්, මේ නර්ථන කලාවේ උත්තරීතර ස්ථානය හිමිවන වෙස් නැටුමට ප්‍රචලිත ප්‍රධාන පරම්පරා කිහිපයක්ම උඩරට පවතී. ඒවා නම් නිත්තවෙල, තිත්තපජ්ජල, අමුණුගම හා තල්ගහගොඩය. “මම මහනුවර ප්‍රධාන දේවාළ හතරෙන් එකක් වන විෂ්ණු මහ දේවාළයේ තේවා කටයුතු වලට වසර ගණනාවක ඉඳන් සම්බන්ධ වී සිටිනවා.කොරෝනා බලපෑම නිසා දේවාළය මාස ගානක් තිස්සේ වහලා.තේවා වාදන කටයුතු වලට තුන් දෙනෙක් සම්බන්ධ වෙනවා.මේ අයට දේවාළයෙන් වැටුපක් හෝ දීමනාවක් ලැබෙන්නේ නැහැ.දේවාළයේ කඩේ කරන කෙනාට ඒ එන ආදායමෙන් තේවාවට සම්බන්ධ වෙන අයටත් ගෙවීමක් කරන්න කියලා තමයි බස්නායක නිළමේතුමන් දැනුම් දී තිබෙන්නේ.මේ දිනවල දේවාළයට කවුරුත් එන්නේ නැති නිසා තෙල්,මල්,පහන් අළෙවියක් නොවෙන නිසා කඩේ වහලා.එතන ආදායමක් නැති නිසා තේවාවට එන අයට පඩි ගෙවන්න විදිහක් නෑ.කඩේ කරන කෙනා එයාගේ හිතවත් දෙන්නෙක් එක්ක තේවාව කරනවා.ඒ අයට මුදලක් දෙන්නේ නැහැ.මට පඩි ගෙවන්න විදිහක් නෑ කියලා කිව්වම මම නතර වුණා.රජයෙන් දුන්න රුපියල් 5000.00 ලැබුණ එක ලොකු දෙයක් වුණා”….තම් මැට්ටම් වාදනයට ප්‍රචලිත යකාවෙල පරම්පරාවේ වත්මන් ප්‍රවීණයා වන පීල්ලදෙණියේ ගෙදර විමලසිරි (දළුකේ) පවසයි. උඩරට නැටුම් කලාවේදී යොදා ගන්නා වාදන භාණ්ඩ අතර ප්‍රධාන වන්නේ ගැට බෙරය, දවුල, තම්මැට්ටම හා උඩැක්කියයි. ගැට බෙර පරම්පරාවන් ලෙස එරමුදුගොල්ල, අමුණුගම, අරළුවාගොඩ, හිද්දවුල, වේගිරිය හඳුන්වා දිය හැකිය. උඩුවෙල, මාලගම්මන, ඉහළවෙළ, මොළගොඩ හා හපුගොඩ පරම්පරාවන් වඩා ප්‍රචලිතව තිබෙන්නේ දවුල් වාදනයටය. තම්මැට්ටම් වාදනයට හපන්කම් දක්වමින් ඉතිහාසයේ නම රන්දා තිබෙන්නේ යකා වෙල පරම්පරාවයි. නාපාන පරම්පරාව ප්‍රසිද්ධව සිටින්නේ උඩැක්කි වාදනයටය. බලි පරම්පරාවන් ලෙස අත්තරගම, තල්ගහගොඩ, තිත්තපජ්ජල, ලැහැඹේ ප්‍රචලිතව තිබේ. මෙම කලාවන් මේ තාක් ආරක්ෂාවී පැවතුණේ එම කලාපරම්පරාවන්ට අයත් කලාව වෘත්තිය කරගත් ශිල්පීන්ට පින්සිදු වන්නටය. එසේ දිවිහිමියෙන් පාරම්පරික කලාව ආරක්ෂාකර ගැනීමට කැපවූවන් බොහෝ දෙනෙකුට අද සිදුව තිබෙන්නේ කලාව නොව තමන්ගේ ජීවිතය රැක ගැනීම සඳහා සටන් කරන්නටය.



“පුංචි කාලේ ඉඳලම මම කළේ බෙර ගහන එකයි.වෙන කිසිදේකට මම හිත යොමු කළේ නැහැ.දරුවෙක් මල්ලෙක් නැති මටයි නෝනටයි බෙහෙත් ගන්නයි කෑම වේල හොයා ගන්නයි මම මහන්සි නොබලා බෙර වාදන වැඩවලට ගියා.සුදු ජාතිකයින්ට පෙන්වන්න මහනුවර උඩරට නර්තන ප්‍රසංග සංවිධානය කරන තැන් තියෙනවා.මම ඒ වගේ තැනක වැඩ කළා.ෂෝ එකක් තිබුණොත් රුපියල් 2000.00 ක් විතර හොයා ගන්න පුළුවන්.දැන් මාස දෙකක් තිස්සේ ප්‍රසංග කෙරෙන්නේ නැහැ.පෙරහර මංගල්‍යයන්,උපසම්පදා උත්සව මොනවත්ම නැහැ.ආණ්ඩුවෙන් දෙවතාවකට දුන්න රුපියල් 10000.00 හම්බ නොවෙන්නේ ලොකු අමාරුවක් වැටෙනවා.දළදා මාලිගාවේ දියවඩන නිළමේතුමන් රුපියල් 5000.00 ක් දුන්නා.එතුමා මේ විදිහට හරි අපි ගැන හොයලා බලන එක ගැන සතුටුයි.” එලෙස පවසන හැත්තෑ හතර වැනි වියේ පසුවන ඉලන්කාලි ගෙදර සිරිසෝම එරමුදුගොල්ල බෙර වාදන පරම්පරා නාමය මෙතෙක් කාලයක් රැක ගැනීමට ඉහළින්ම දායක වූවෙකි.මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට ගැටබෙර වාදන ශිල්පියෙකු ලෙස එක්ව ඔහු දැක්වූ දක්ෂතා කොපමණද කියන්නට නිවසේ ඇති 15 කට වැඩි ජනාධිපති සම්මානම ප්‍රමාණවත්ය. වසර 67 ක් පුරා බෙරය හඬවා රටක් නැලවූ ඔහුට අද හඬන්නට සිදුව තිබෙන්නේ නිශ්චිත ආදායම් මාර්ගයක් නොමැති වීම නිසාය. ප්‍රවීණ දවුල් වාදන ශිල්පියෙකු වන තිලකරත්න ජෝතිරත්න මහතා අදහස් දක්වමින් මෙසේ පැවසුවේය. “පිංකම්, පෙරහර සතියකට දෙක තුනක් තියෙනවාමයි.මේ කොරෝනා ප්‍රශ්නේ ආවට පස්සේ වැඩ ඔක්කොම නැවතුණා.මම පෝරුව චාරිත්‍ර කරනවා.මේ මාසේ තිබ්බ වැඩ ගොඩක් කල්ගියා.මේ මාස දෙකට මම බාරගත් වැඩ 19 ක් කැන්සල් වුණා.ඉතිං කොහොමද අපි ජීවත් වෙන්නේ.”
අමුණුගම මධ්‍යම ලංකා නෘත්‍ය මණ්ඩලයේ ලේඛකාධිකාරී,සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය, ආචාර්ය වෛද්‍යවතී රාජපක්ෂ මහත්මිය මේ සම්බන්ධයෙන් දැක්වූ අදහස් මෙසේය.ශ්‍රී දළදා මාලිගාවේත් සතර මහ දේවාළ වලත් සෙසු විහාර හා දේවාළ වලත් තේවා කටයුුතු වලට වාදයෙන් සම්බන්ධ වෙන්නේ පාරම්පරික වාදන ශිල්පීන්.මේවා ඇත්තටම මේ ශිල්පීන්ට ඒ අයගේ පරම්පරාවෙන් උරුම වූ රාජකාරි.ඒ සඳහා ඔවුන් බොහෝ දෙනෙකුට රජකාලේ නින්ද ගම් ලැබිලා තියෙනවා.මේ රාජකාරි වලින් ඔවුන්ට ලොකු මුදලක් ලැබෙන්නේ නැහැ.මේ නිසා මේ ශිල්පීන් බලි තොවිල්,සූවිසි,කොහොඹා කංකාරී,දාන පිංකම් වගේ දේවල් වලට සම්බන්ධ වෙලා කීයක් හරි හොයා ගන්නවා.මේ රටට එන විදේශිකයින්ට උඩරට නර්ථන සංදර්ශන පවත්වනවා.ඒවට මේ ශිල්පීන් සම්බන්ධ වෙනවා.මේවා සංවිධානය කරන්නේ ව්‍යාපාරිකයින්.දැන් විදේශිකයෝ නැති නිසා ප්‍රසංගත් නැහැ.හැම පැත්තෙන්ම මේ කලා ශිල්පීන් හිරවෙලා ඉන්නේ.දළදා මාලිගාවේ දියවඩන නිළමේතුමා දළදා මාලිගාවේ පරෙහරට සම්බන්ධ වෙන ශිල්පීන්ට යම් මුදල් ආධාරයක් ලබාදී තිබෙනවා.එය අපි අගය කළ යුතුයි.නොයෙක් ආර්ථික අපහසුතා නිසා ශිල්පීන් වෙනත් රැකියා සොයාගෙන යනවා.මේ කලාවේ තිබෙන අවිනිශ්චිත බව නිසා මේ අය ආපහු කලා කටයුුත වලට එයිද කියන එකත් සැකයි.ඇත්තටම මේක ලොකු ප්‍රශ්නයක්.පාරම්පරික කලාකරුවන්ට විශ්‍රාම වැටුපක් ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කරන්න කියලා කාලයක් පටන් කීවත් තාමත් ඒක ඉෂ්ඨ වුණේ නැහැ.

නර්තනයෙන්, වාදනයෙන් හා ගායනයෙන් අනුන් සතුටු කර හුදෙකලාව හිතින් වැළපෙන පාරම්පරික කලාකරුවන් ඇගයීම පිණිස රාජ්‍යය මට්ටමින් විධිමත් වැඩපිළිවෙළක් දැන් හෝ ක්‍රියාත්මක කළ යුතුව තිබේ. හෙළයේ විචිත්‍රවක් මහා කලා මංග්‍යය ලෙසින් ප්‍රකට මහනුවර ඇසළ පෙරහර විචිත්‍රවත් කරන්නට සියවස් ගණනාවක් තිස්සේ මේ කලා පරම්පරාවන් හෙළූ දහඩිය කිරි මුහුද යැයි නම් ලද මහනුවර වැව පිරී ඉතිරි යන්නට තරම් වනු ඇත.සිංහලේ රජවරු ගම්වර සමඟ එදා ගරු නාම පවා පුද කරමින් මෙම ශිල්පීන් ඇගවූහ.ශ්‍රී දළදා සමිඳුන් හා සතර මහ දෙවිවරුන් වෙනුවෙන් පූජෝපහාරයක් ලෙසින් පවත්වන්නාවූ ඇසළ පෙරහරට ජීවය කැවූ මේ කලාකරුවෝ බොහොමයක් දෙනා ගොවියෝය. මුදල් හමුවේ කිසි විටෙකත් ඔවුහූ කලාව පාවා නොදුන්හ.
ගයාන් යද්දෙහිගේ