ගහපු බෝලෙකුත් නැති හදපු ක්‍රීඩාවකුත් නැති ඌවේ වොලිබෝල් පිට්ටනි

ඌව, මධ්‍යම, උතුරු මැද හා නැගෙනහිර පළාත්වල වොලිබෝල් ක්‍රීඩාව සංවර්ධනය කිරීමේ අරමුණ ඇතිව එවකට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති හා වරාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටි නීතීඥ ඩිලාන් පෙරේරා මහතාගේ සංකල්පයකට අනුව රුපියල් ලක්ෂ සියයකට ආසන්න මුදලක් වැය කොට ගිරාඳුරුකෝට්ටේ මහවැලි ක්‍රීඩාංගණයට යාබද රථවාහන අංගනයේ තාර කාපට් යොදා ඉදිකරන ලද එළිමහන් වොලිබෝල් ක්‍රීඩා පිටිය භාවිතයට නොගෙනම විනාශ මුඛයට ඇදෙමින් පවතී.

ඉදිකර වසර 06ක් පමණ ඉක්ම ගොස් ඇති මෙම තාර කාපට් යෙදූ වොලිබෝල් ක්‍රීඩා පිටිය   භාවිතයට නොගන්නා නිසාම  තාර අතුරණය මුලුමනින්ම පාහේ අව්වට වියැලී, වැස්සට තෙමෙමින් තැනින් තැන ගැලවී කොන්ක්‍රීට් මතුව ඇත. දිවා කාලයේදී ගවයින් හා සුනඛයින්ගේ විවේකස්ථානයක් බවට පත්ව ඇති මෙය ඌව පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයට පවරා ඇත. ඒ අනුව ඌව පළාත් සභා අරමුදලින්  රුපියල් ලක්ෂ හතරක පමණ මුදලක් වැය කොට ආරක්ෂිත දැල් වැටක් ඉදි කර ඇති නමුත් මෙම පිටිය සංරක්ෂණය කිරීම හෝ භාවිතය සඳහා සුදුසු වැඩ පිළිවෙලක් යොදා නොමැතිවීම පිළිබඳව ප්‍රදේශවාසීහු සිය කනස්සල්ල පල කර සිටිති.

ආසියානු වොලිබෝල් සම්මේලනයේ අනුග්‍රහයෙන් මෙම ක්‍රීඩා පිටිය ඉදිකළ බව පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවසූ අතර මෙවන් ක්‍රීඩා පිටි 06ක් ඉදි කිරීමට සැලසුම් කර තිබූ බවත් ඉන් දෙකක් එවකට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපතිවරයා නියෝජනය කරන බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල අධ්‍යාපන සම්පත් මධ්‍යස්ථානය ආශ්‍රිතව හා ගිරාඳුරුකෝට්ටේ මහවැලි ක්‍රීඩාංගණයට යාබද රථවාහන අංගනයේ ඉදි කර ඇත.

මෙම ක්‍රීඩා පිටිය ඉදිකිරීම පිළිබඳ කිසිදු ලේඛනයක් පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය සතුව නොමැති බව නම හෙළි කිරීමට අකැමැති වූ අමාත්‍යාංශ නිලධාරියා පැවසූ අතර තම මතකයෙන් අප වෙත විස්තර ලබා දුන්නේය. ක්‍රිඩා පිටිය සඳහා ලබාදුන් කණු දැල් ආදී ආම්පන්න මහවැලි ක්‍රීඩාංගණය භාරයේ පවතින බවද ඔහු පැවසීය.

වැසි ආවරණයක්, පිටිය වටා ආරක්ෂිත වැටක් මෙන්ම ප්‍රේක්ෂකයින් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා රුපියල් මිලියන හතරක පමණ මුදලක් ලැබෙන්නේ නම් මෙම ක්‍රීඩා පිටිය ප්‍රයෝජනයට ගත හැකි පරිදි සකස් කර ගත හැකි බව පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

අමෙරිකානු ඩොලර් මිලියන 30-40 අතර මුදලක් වැය කොට ලංකාවේ විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණ ඉදි කිරීමට සිහින දකින දේශපාලකයින්ගේ ඇස් වලට මෙලෙස ග්‍රාමීය පෙදෙස්වල දුප්පත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ඉදිකරන ලදුව වැනසී යන, ලංකාවේ ජාතික ක්‍රීඩාව නංවාලීමට ඉදිකළ ක්‍රීඩා පිටි පිළිබඳ සිහින නොපෙනෙන්නේ මන්දැයි ජනතාව තුළ ඇත්තේ විමතියකි.

වොලිබෝල් ක්‍රීඩාවේ සංවර්ධනය උදෙසා ඉදිකළ මෙම ක්‍රීඩා පිටිය වැනසී යා නොදී නවීකරණය කර දෙන්නේ නම් එය රටේ ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාවට මා හැඟි අත්වැලක් වන බව ක්‍රීඩාවට ලැදි කාගේත් අදහසයි.

චාමින්ද බුලත්සිංහල

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *