ගවේෂණාත්මක මාධ්‍යවේදීන් ඇගයීමට ලක්වේ.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් සංවිධානය කළ අල්ලස් හා දූෂණ තුරන් කිරීම සම්බන්ධ ගවේෂණාත්මක ජනමාධ්‍යවේදය පිළිබඳ වැඩමුළු මාලාවට සහභාගී වීමෙන් පසු ගවේෂණාත්මක ප්‍රවෘත්ති වාර්තා ඉදිරිපත් කළ ජනමාධ්‍යවේදීන් අගයා සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවය පසුගියදා යාපනය ග්‍රීන් ග්‍රාස් හෝටලයේදී පැවැත්විනි.
උතුරු සහ නැගෙනහිර පළාත්වල පවත්වන ලද මාධ්‍ය වැඩමුළුවලින් අනතුරුව ගවේෂණාත්මක වාර්තාකරණයේ යෙදී, පුවත් වාර්තා ඉදිරිපත් කළ ජනමාධ්‍යවේදීන් නව දෙනෙකු මෙහිදී සම්මානයට පාත්‍ර විය.
ජනමාධ්‍යවේදීන් අල්ලස් හා දූෂණ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිය භාවිතා කොට ගවේෂණයේ යෙදී සිටි අතර, ඔවුන්ගේ වාර්තා ගවේෂණාත්මක බවින් යුතු වීම, මහජන යහපත පිණිස වීම, වෘත්තාන්තමය ලක්ෂණ සහිත වීම යන කරුණු මත පදනම්ව ගවේෂණාත්මක ජනමාධ්‍යවේදය උදෙසා සහතිකපතක් සහ රු. 50,000, රු. 40,000 සහ රු. 25,000 මුදල් ත්‍යාගයන් ද පිරිනමන ලදී.
මෙහිදී ගවේෂණාත්මක පුවත් වාර්තා ඉදිරිපත් කළ ජනමාධ්‍යවේදීන් ලෙස කේ. බී. ලක්මාල්, යූ. එල්. මබ්රූක්, මංගලනාත් ලියනාරච්චි, සුමිති තංගරාසා, යශෝධරා බාලසිංහම්, තර්මිනි පත්මනාදන්, ඒ. එම්. ෆායිස්, දිව්‍යන්තිනී සිවකුමාර් යන අය සම්මානයට පාත්‍ර වූයේ ඔවුන්ව ධෛර්යමත් කිරීම සඳහා වූ මුදල් ත්‍යාග ද සමගිනි.
සම්මාන ප්‍රදානෝත්සවයට අමතරව, ජනමාධ්‍යවේදීන්ගේ ඉදිරිපත් කිරීම් ගැන සහ අල්ලස් හා දූෂණ තුරන් කිරීම සඳහා සිවිල් සමාජ සංවිධානවල දායකත්වය ගැන සාකච්ඡාවක් ද පැවැත්විනි.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සී. දොඩාවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ සම්මාන ප්‍රදානෝත්සවය සඳහා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ භාණ්ඩාගාරික තාහා මුසම්මිල්, හිටපු කැඳවුම්කරු විරංජන හේරත්, ජනමාධ්‍ය පුහුණු වැඩමුළු උපදේශක අමීර් හුසේන්, වැඩසටහන් සම්බන්ධීකාරක ආදිල් අලි සබ්රි, ඉන්ෆාස් ඉසදීන් ඇතුළු සිවිල් සමාජ සංවිධානවල නියෝජිතයන් ද සහභාගී වූහ.