කෝටි ගණන් සල්ලි බෙදා ඡන්දෙ ගත් මොනරාගල මන්ත්‍රී ගෙදර – ඓතිහාසික නඩු තීන්දුවක්

මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන පැෆරල් ගොනු කළ නඩුවක තීන්දුව ලබා දෙමින් මොනරාගල ප්‍රාදේශිය සභාවේ මදුරුකැටිය කොට්ඨාශයේ මන්ත්‍රීවරයා ධූරයෙන් ඉවත් කරන මෙන් මොනරාගල මහාධිකරණ විනිසුරු  රංග දිසානායක නියෝග කළේය.  2018 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේදී පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුවේ මොනරාගල මදුරුකැටිය කොට්ඨාශයට තරඟ කළ අපේක්ෂකයා වූ තරංග දිසානායක නමැත්තා ඡන්ද දායකයන්ට බඩු භාණ්ඩ බෙදා දීම, ජලය සහ විදුලිය ලබා දීම ඇතුළුව මැතිවරණ නීතියෙන් තහනම් ක්‍රියා සිදු කරමින් මැතිවරණ දූෂණයක නිරත වූ බව ඔහුට එරෙහි චෝදනා ගොනු කර තිබුණි.

ලංකාවේ මැතිවරණවලට අදාලව ප්‍රචාරණ වියදම් සීමාව හෝ ඒවායේ ස්වභාවය පිළිබඳ නීති සම්පාදනය වී නොතිබුණද මැතිවරණයකදී ඡන්දදායකයන්ට අල්ලස් ලබා දිය නොහැකි බව සඳහන් නීති ප්‍රතිපාදන තිබේ. ඒ අනුව මෙම නඩුකරය ගොනු කළ බව පවසන පැෆරල් හී විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ, තරංග දිසානායක මන්ත්‍රී ධුරයෙන් ඉවත් කරන මෙන් තමන් අධිකරණයෙන් ඉල්ලා සිටි බවයි. මෙම නඩුවට අදාලව සියලු තොරතුරු ලබා ගත්තේ 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනත මගින් බව සඳහන් කළ රෝහණ හෙට්ටිආරච්චි එය එම පනතේ සුවිශේෂී ජයග්‍රහණයක් බවද පෙන්වා දුන්නේ ය. “මේ තැනැත්තා ගමේ ගෙවල්වලට ජලය, විදුලිය අරන් දීලා තියෙනවා එක ගෙදරකට රුපියල් 30000ක් වගේ වියදම් කරලා. අපි ඒවාට අදාල තොරතුරු මුදල්  ගෙවූ අයගේ විස්තර එක්ක ගත්ත ආර්.ටී.අයි භාවිතා කරල. ආණ්ඩුවේ ආයතන අපිට විස්තර දුන්නේ තොරතුරු පනත නිසා. පනත නොතිබ්බ නම් විස්තර ලැබෙන්නෙත් නැහැ. නඩුව දිනන්නෙත් නැහැ.” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

අනාගතයේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයකදී මැතිවරණ දූෂණ සිදු වූ අවස්ථාවල මෙම තීන්දුව ගුරු කොට ගනිමින් අධිකරණ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ විය හැක

මේ පිළිබඳව අප කළ විමසුමකට ප්‍රතිචාර දැක් වූ නීති විශාරදයෙකු පැවසුවේ මෙම නඩු තීන්දුව ඓතිහාසික මෙන්ම පුරෝගාමී එකක් වන බවයි. අනාගතයේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයකදී මැතිවරණ දූෂණ සිදු වූ අවස්ථාවල මෙම තීන්දුව ගුරු කොට ගනිමින් අධිකරණ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ විය හැකි බව ඔහු පෙන්වා දුන්නේ ය.

අප විසින් කළ සොයා බැලීම්වලට අනුව සිය මන්ත්‍රී අසුන අහිමි වූ මෙම පුද්ගලයා ඡන්දදායකයන්ට අල්ලස් ලබා දීම සඳහා දළ වශයෙන් රුපියල් කෝටි 04කට ආසන්න මුදලක් වැය කොට තිබුණි. ප්‍රාදේශීය සභාවක් වැනි පළාත්පාලන ආයතනයක සභික ධූරයක් සඳහා මෙපමණ වියදමක් දැරීම පුදුම සහගතය.  මොනරාගල ජනයා පවසන්නේ, ඔහුට ප්‍රාදේශීය සභාවේ සභාපති  ධූරය ලබා දීම සඳහා ප්‍රදේශයේ දේශපාලන බලවතා පොරොන්දු වී තිබුණු නිසා තනතුර ලබා ගැනීමෙන් පසු වියදම් කළ මුදල් උපයා ගන්නා අපේක්ෂාව ඇතිව අල්ලස් ලබා දෙන්නට ඇති බවයි.  තරංග දිසානායක යනු මොනරාගල නගරයේ ඇති ප්‍රධානතම මත්පැන් අලෙවි සැලෙහි හිමිකරු වන අතර මෙපමණ මුදලක් වියදම් කිරීමට ඔහුට හැකියාව ලැබුණේ මත්පැන් අලෙවියෙන් පමණක්ද යන්න අනාවරණය වී නොමැත.

මොනරාගල දිස්ත්‍රික්කය සියලු මැතිවරණවලදී ඡන්ද දායකයන්ට භාණ්ඩ බෙදා දීම ඇතුළු ක්‍රියාකාරකම් සඳහා ඉහළ ප්‍රසිද්ධියක් උසුලයි.  මෙම ඓතිහාසික නඩු තීන්දුව ලංකාවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය බොහෝමයක් නොසළකා හැරීමද විශේෂිත ය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *