කොවිඩ් සමයේ; සොඳුරු ගෙවත්තක් මනසට සුවයක්,

 කොවිඩ් සමයේ; සොඳුරු ගෙවත්තක් මනසට සුවයක්,

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපකුලපති
මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර.

පියවි ඇසට නොපෙනෙන, නැනෝ මීටර් 125ක තරම් විෂ්කම්භයක් ඇති, ඉතා කුඩා ක්‍ෂුද්‍ර අංශුවක්, මුළු ලෝකයටම, මුළු මානව සංහතියටම අපූරු පාඩමක් ඉගැන්වූයේය. ඉතා කුඩා ක්‍ෂුද්‍ර ජීවියෙකු වන කොවිඩ්-19 වෛරසය ලෝ පුරා අප හැමෝටම පාඩම් රාශියක් ඉගැන්වූයේය. මෙම ක්‍ෂුද්‍ර ජීවියා, දැන් සති ගණනාවක් තිස්සේ, ලෝ පුරා බහුතරයක් නිවාස අඩස්සියේ තබාගෙන සිටින්නේය. නූතන විද්‍යාවේ සහ තාක්‍ෂණයේ දියුණුව ගැන පුන පුනා පුරසාරම් දෙඩූ අපි, මෙම කුඩා ක්‍ෂුද්‍ර ජීවියා ඉදිරියේ අසරණ වී සිටින්නෙමු. මෙම ක්‍ෂුද්‍ර ජීවියාට බියෙන්, ඊට එරෙහිව කිසිවක් කරකියාගත නොහැකිව, නිවෙස් තුළට කොටුවී කාලය ගෙවන්නෙමු. ලෝකය පුරා, දුප්පත්-පොහොසත් භේදයකින් තොරව, ජාති ආගම් කුල භේදයකින් තොරව, අපි සියල්ලන්ම එකසේ අසරණ වී සිටින්නෙමු.
අප මෙතෙක් හුරුපුරුදු වී සිටි, අප ඇබ්බැහි වී සිටි ජීවන රටා ගැන අලූත් ආරකට සිතන්නට, මෙම ක්‍ෂුද්‍ර ජීවියා, එනම් කොවිඩ්-19 වෛරසය අපට බලකර සිටින්නේය. අපේ ජීවිතයට නැතුවම බැරි ආහාරපාන පිළිබඳව අලූත් ආරකට සිතන්නට, කොවිඩ්-19 වෛරසය අපට බලකර සිටින්නේය. අප පුරුදු වී සිටි ආකාරයට, කඩමණ්ඩියට හෝ සුපිරි වෙළඳසැලට ගොස් අපට රිසි අන්දමට ආහාර ද්‍රව්‍ය, බඩුමුට්ටු මිලදී ගැනීමට නොහැකි වන අයුරින්, මේ දිනවල සීමා පැනවී ඇත්තේය. අප වැඩි කැමැත්තක් දක්වන එළවළු-පළතුරු අපට රිසි අන්දමට මිලදී ගැනීමට නොහැකි වන අයුරින් සීමා පැනවී ඇත්තේය. වාහනවලින් ගෙදරට රැගෙන එන එළවළු-පළතුරු මිලදී ගැනීමට සිදුව ඇත්තේද එක්තරා අන්දමක චකිතයකින් සැකයකින් යුතුවය. එසේ මිලදී ගන්නා එළවළු-පළතුරු පවා ගේ ඇතුළට ගැනීමට පෙරාතුව හොඳින් සෝදා පිරිසිදු කිරීමට සිදුව ඇත්තේය. මේ මොහොතේ අපේ පවුලට අවශ්‍ය එළවළු-පළතුරු අපේම ගෙවත්තෙන් කඩාගැනීමට හැකිවූයේ නම්…..! පසුගිය සති කිහිපය තුළ ඔබටද, ඉඳහිට හෝ, එබඳු හැඟීමක් ඇතිවූයේ නම් එය පුදුමයට කරුණක් නොවන්නේය.

නිවෙස තුළ හුදෙකලා වූ දරුවන් වෙනුවෙන් පාඩම් ලිවීමට ආ ගුරුවරියක්. මේ සීමාවන් මනෝ විඩාවක් නොවන්නේද?

අනාගතයේ දිනෙක ලෝක ආහාර හිඟයක් ඇතිවීමේ තර්ජනයක් තිබෙන බැවින්, ලෝකයේ සියලූම රටවල් ආහාර සුරක්‍ෂිතතාවය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකළ යුතු බවට හඬ නැගුණේ මීට වසර ගණනාවකට ඉහතදීය. ජනගහන වර්ධනය, දේශගුණික විපර්යාස, ස්වභාවික විපත් හා වසංගත, නූතන මානවයාගේ ආහාර රටා වැනි කරුණු හේතුකොටගෙන ලෝක ආහාර හිඟයක් ඇතිවිය හැකි බවට හඬ නැගුණේ මීට වසර ගණනාවකට ඉහතදීය. කෘෂි කර්මාන්තය මුළුමනින් පසෙක ලා, තනිකර තාක්‍ෂණයෙන් යැපෙන කර්මාන්තවලින් පමණක් කිසිදු රටකට දීර්ඝකාලීන පැවැත්මක් නොමැති බවට හඬ නැගුණේ මීට වසර ගණනාවකට ඉහතදීය. එහෙත්, ඒ කිසිදු අනතුරු ඇඟවීමකට සවන් නොදුන් අපි බිහිරන් ලෙසින් ඉදිරියට ගියෙමු. ගොවිතැන පසෙක ලා, සෙසු ආදායම් මාර්ග ගැන පමණක් සිතමින් ඉදිරියට ගියෙමු. ”අසරණ ගොවියා”,    ”දුප්පත් ගොවියා” වැනි වදන් භාවිත කරමින්, ගොවිතැනේ අගය පහත හෙලූවෙමු. අප රටේ ජනගහනයෙන් 25%ක ප‍්‍රමාණයක් දිවි රැකගන්නේ කෘෂි කර්මාන්තයෙන් බව හිතාමතාම අමතක කළෙමු.
අනෙක් අතට, රට ආහාරවලින් ස්වයංපෝෂිත විය යුතු බවට පසුගිය දශක කිහිපය පුරා විටින් විට සංවාද දියත් වූ බවද, විවිධ වැඩසටහන් ක‍්‍රියාත්මක වූ බවද බැහැර කළ නොහැකිය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන්, 1970-77 සමගි පෙරමුණු රජය යටතේ දියත් කෙරුණු වගා සංග‍්‍රාමය මෙහිලා අපගේ මතකයට නැගෙන්නේය. හාල් පොලූ, මිරිස් පොලූ හරහා නිදහසට තහංචි දැම්මේ යැයි කියමින් ඇතමෙකු සමච්චල් කළද, එදා වගා සංග‍්‍රාමය සාර්ථක වූයේ නම් අද තත්ත්වය මීට වඩා සතුටුදායක විය හැකිව තිබුණේය.

70-77 ආර්ථිකය දැවැන්ත දේශපාලන පිම්මකින් මරු දුටුවේය.

1970-77 සමයට පසුවද, ”හරිත ලංකා”, ”අපි වවමු රට නගමු”, ”දැයට සෙවණ”, ”දිවිනැගුම” වැනි වැඩසටහන් හරහා පොදුවේ කෘෂි කර්මාන්තය කෙරෙහිද, ගෙවතු වගා සංවර්ධනය කෙරෙහිද අවධානය යොමු වූයේය. වත්මන් කොරෝනා වසංගතය හමුවේද, ඉදිරියේ මුහුණදීමට සිදුවිය හැකි ආහාර හිඟයට පිළියම් සෙවීමේ අටියෙන්, කෙටිකාලීන සහ දීර්ඝකාලීන ආහාර නිෂ්පාදන වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමට වත්මන් රජය පියවර ගෙන ඇත්තේය. ගෙවතු මිලියනයක් සංවර්ධනය කිරීමේ ”සෞභාග්‍යා” වැඩසටහන ඉන් මුල් තැනට එන්නේය.
ඒ අනුව බලනා විට, වත්මන් වසංගත තත්ත්වය තුළ, ගෙවතු වගා කෙරෙහි වූ අවධානය, සැලකිල්ල වැඩිවී ඇත්තේය. අපට, අපේ පවුලට අවශ්‍ය එළවළු-පළතුරු අපේ ගෙවත්තේම වගා කිරීම කෙරෙහි අවධානය වැඩිවී ඇත්තේය. මෙහිලා, අප අමතක නොකළයුතු දෙයක් වන්නේ, ගෙවතු වගා සංකල්පය ලාංකේය අපට අලූත් දෙයක් නොවන බවය. පැරණි රජ දවසේ පවා දිවයින පුරා ගෙවතු වගා පැවති බවට සාක්‍ෂි ඇත්තේය. ශ්‍රී ලංකාවේ පමණක් නොව, ලෝකයේ බොහෝ රටවල ඈත අතීතයේ සිටම ගෙවතු වගා පැවති බවට සාක්‍ෂි ඇත්තේය.

වසර එකොළහක කාලයක් මොස්කව් නුවර පැටි‍්‍රස් ලූමුම්බා මිත‍්‍රත්ව විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අපට, ඒ කාලයේ සෝවියට් දේශය පුරා ව්‍යාප්තව පැවති,     ”දාචා” නමින් හඳුන්වනු ලැබූ විශේෂ රුසියානු ගෙවත්තක් පිළිබඳ අත්දැකීම් ඇත්තේය. Summer House, Country House යන ඉංග‍්‍රීසි වදන්වලට සමාන තේරුමක් ඇති රුසියානු ”දාචා”, නගරයට ටිකක් දුරින් පිටිසර පරිසරයක පිහිටි කුඩා නිවසකින් සහ ගෙවත්තකින් සමන්විත වූයේය. නිවාඩුවක් ලැබුණු විගස දාචා කරා යන රුසියානුවෝ, ගෙවත්තේ වගා කටයුතුවල නිරත වෙමින් මහත් ආශ්වාදයක් ලබති. උදේ සිට සවස් වනතුරු කය වෙහෙසා වැඩකොට සිරුරට අවශ්‍ය ව්‍යායාමය ලබාගනිති. හවස් වරුවේ කුඩා නිවසට වී, ගෙවත්තෙන් නෙළාගත් එළවළු-පළතුරු බුදිමින් විනෝද වෙති.
අප මෙහිලා කියන්නට උත්සාහ දරන්නේ, ගෙවතු වගාවන්හි නිරත වීමෙන් අපට වාසි රැසක් අත්වන බවය.

රුසියානු දාචා නිවසක ප්‍රීතිය භුක්ති විඳින පවුලක්.

පළමුකොටම, වසවිසෙන් තොර නැවුම් එළවළු-පළතුරු ආහාරයට ගැනීමේ අවස්ථාව අපට ලැබෙන්නේය. දෙවනුව, ගෙවත්තෙන් ලැබෙන අස්වැන්න අපේ පවුලේ අවශ්‍යතාවයට වඩා වැඩිනම්, ඒවා විකුණා අමතර ආදායමක් ලබාගැනීමේ අවස්ථාව අපට ලැබෙන්නේය. තෙවනුව, දිනපතා ටික වේලාවක් ගෙවත්තේ වැඩකිරීමෙන් අපට අවශ්‍ය ශාරීරික ව්‍යායාමය නොමිලයේම ලැබෙන්නේය.
සිව්වැනි, වඩාත් වැදගත් කාරණය වන්නේ, ටික වේලාවක් ගෙවත්තේ ගතකිරීමෙන් අපට ලැබෙන මානසික සුවයයි. අප විසින් සිටවන ලද පැළයක් වැඞී, පසුව ගෙඩි හටගන්නා විට අපට ඇතිවන සතුට වචනවලින් විස්තර කළ නොහැකිය. තවද, ගෙවත්තේ ගස්කොළන් වැඩෙනා විට, සමනළයින්, මී මැස්සන්, බත්කූරන් වැනි සත්තු නිරතුරුව සැරිසරන්නට පටන් ගනිති. මේ සතුන් දෙස බලා සිටීමෙන්, උන්ගේ හඬට සවන්දීමෙන් අපට ලැබෙන වින්දනය වචනවලින් විස්තර කළ නොහැකිය. කලබලකාරී ඝෝෂාකාරී නාගරික ජීවිතයට කොටුවී සිටිනා අප අතරින් වැඩි දෙනෙක් ස්වභාවික පරිසරයෙන් ඈත්ව සිටිති. පරිසරයේ සුන්දරත්වය විඳීමට අප අතරින් වැඩි දෙනෙකුට අවස්ථාවක් නැත්තේය. එහෙත්, අපේ ඉඩමේ ඉඩකඩ ඇති පරිද්දෙන් සකස් කරගනු ලබන කුඩා ගෙවත්ත හරහා පරිසරය විඳීමේ අවස්ථාව අපට ලැබෙන්නේය.

සුන්දර ගෙවත්ත මනසට සුවයකි.

ගස්කොළන්වලට සවන් දීමේ අවස්ථාව අපට ලැබෙන්නේය. ගස්කොළන්වලට සතා සීපාවාට ආදරය කරන්නට, අපේ කුඩා ගෙවත්ත විසින් අපට බලකරනු ඇත්තේය. අපේ ගෙවත්තෙන් අප ලබන මානසික සුවය වචනවලින් විස්තර කළ නොහැකි යැයි අප කියන්නේ මේ නිසාය.
සාමන්‍යයෙන් අප මානසික ආතතියට පත්වූ විට, අපේ ශරීරයේ ඇති කෝටිසෝල් නමැති හෝමෝනයේ වැඩිවීමක් දක්නට ලැබෙන්නේය. ජපාන විද්‍යාඥයින් පිරිසක් විසින් කරනා ලද පර්යේෂණයක ප‍්‍රතිඵලවලට අනුව, අප මානසික පීඩනයක් ඇති අවස්ථාවක මිනිත්තු තිහක කාලයක් ගෙවත්තේ ගතකළහොත්, අපේ ශරීරයේ ඇති කෝටිසෝල් ප‍්‍රමාණය සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇත්තේය. ඊට සමගාමීව, රුධිර පීඩනයද සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇත්තේය. කොරෝනා වසංගතය හමුවේ නිවෙස්වලට කොටුවී, මානසික පීඩනයට සහ ආතතියට පත්ව සිටිනා අපට ගෙවත්තෙන් අපූර්ව මානසික සුවයක් ලබාගත හැකි යැයි අප කියන්නේ මෙම පසුබිම තුළය. අපේ ගෙවත්ත ගස්කොළන්වලින් එළවළු-පළතුරුවලින් පිරි සුන්දර තැනක් කරගැනීමට මෙය අපූර්ව අවස්ථාවක් යැයි අප කියන්නේ මෙම පසුබිම තුළය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *