කොවිඩ් සමයේ, සතොස කැඩූ නුවරඑළිය නගරාධිපතිගේ දූෂණ හෙළිදරව් වේ.

නුවරඑළිය මහ නගරසභාවට අයත් සතොස වෙළඳ සංකීර්ණය පවත්වා ගෙන ගිය රුපියල් ලක්ෂ 3000ක වර්තමාන වෙළඳපොළ වටිනාකමත් ඇතැයි තක්සේරු කර ඇති පෞරාණික ගොඩනැගිල්ල කඩා දැමීමට නුවරඑළිය නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න පියවර ගෙන තිබේ. නුවරඑළිය මහනගර සභාවේ හිටපු නගරාධිපති මහින්ද දොඩම්පේගමගේ ගේ පාලන සමයේ මධ්‍යම වෙළඳ සංකීර්ණය ඉදි කිරීම සඳහා සැළසුම් සකස් කොට අනුමැතිය ලබාගෙන තිබුණද සතොස ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීම එම සැළසුමට අයත් නොවිණි. එම නිසා විමතිය දනවන කරුණ වන්නේ, වත්මන් නගරාධිපතිවරයා වටිනාකමෙන් ඉහළ සතොස ගොඩනැගිල්ල එක් රැයක් තුළ කාගේ බලපෑමකින් කුමන වුවමනාවක් මත කඩා දැමුවේද යන්න බව නගරයේ ව්‍යාපාරික ප්‍රජාව පවසති. නුවරඑළිය මධ්‍යම වෙළඳ සංකීර්ණය ඉදිකිරීම නාගරික සංවර්ධන අධිකාරියේ සහය ඇතිව ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් බැවින් මෙම ගොඩනැගිල්ල කඩා දැමීම ඔවුන් විසින් කරන ලද්දකැයි හැඟවීමට ඇතැම් පාර්ශව උත්සාහ දැරුවත් ගොඩනැගිලි කඩා ඉවත්කිරීමේ කාර්යයන් පැවරී තිබුණෙ මහ නගර සභාවටය. කඩා දැමීමට තීරණයක් ගෙන නොතිබූ මෙම ගොඩනැගිල්ල ඊට යාබද ගොඩනැගිලි කඩනවිට හානියට පත් වූ බව ඇතැම් පාර්ශව හා නගරාධ්පතිවරයා පවසා තිබුණත් එය පිළිගැනීමට අසීරුය. ඊට හේතුව යාබද ගොඩනැගිලි හා මෙම ගොඩනැගිල්ල අතර ගිනි අවකාශ (fire gaps) තිබීමයි. එසේම එය ඉදිකර තිබුණේද ගල් වලින් පුළුල් බිත්ති සහිතවය. එවැන්නක් එසේ කඩා වැටීමට ඇති හැකියාව අල්පය.
එසේම සතොස වෙළඳ සංකීර්ණය පවත්වා ගෙනගිය 1894 බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉදිකළ මෙම ගොඩනැගිල්ල පුරා විද්‍යාත්මක වටිනාකමක් තිබියදී කඩා දැමුවේ කෙසේද යන්නද ගැටලුවකි.
නුවරඑළිය වර්තමාන නගරාධිපති චන්දනලාල් කරුණාරත්නගේ මීට පෙර ධූර කාලයේදී මෙම ගොඩනැගිල්ල ව්‍යාජ බදු ගිවිසුම් සකස් කොට සැම්සන් සිල්වා නමැත්තෙකුට දීර්ඝකාලීන බදු පදනම මත කුලියට දී තිබුණි. එසේම එම මුලු කාලය පුරා ඉතා සූක්ෂම අයුරින් නුවරඑළිය මහනගර සභාව නොමඟ යවා දෙවන පාර්ශවයක් වන නගරාධිපති චන්දනලාල් කරුණාරත්නගේ සොහොයුරාටද එම ගොඩනැගිල්ලේම වෙළඳ සංකීර්ණයක් පවත්වා ගෙන යාමට අවස්ථාව ලබා දී තිබුණි.
එම වංචනික ගණුදෙනු හරහා වසර 18ක් තිස්සේ නුවරඑළිය නගර සභාවට වත්මන් නගරාධිපතිවරයා අහිමි කර ඇති මුදල රුපියල් ලක්ෂ 4000ක් බව පැවසෙන අතර මේ සම්බන්ධව ඔහුට එරෙහිව අධිකරණය හමුවේ නඩුවක්ද විභාග වෙමින් තිබේ.
පැවති සතොස ගොඩනැගිල්ලද කඩා දමා ඉදිකරන මධ්‍යම වෙළඳ සංකීර්ණයේ වර්ග අඩි 4000ක සාප්පු සංකීර්ණයක් සිය සොහොයුරාට වෙන් කරමින් නගරාධිපතිවරයා අකුරටම ඥාති සංග්‍රහයද ඉටුකරන බව නුවරඑළියේ ව්‍යාපාරිකයෝ පවසති.
කොවිඩ් 19 ව්‍යසන අවස්ථාවේ සතොස පවත්වා ගෙන යාමට මෙම ගොඩනැගිල්ල පැවතියේ නම් ඉතා විශාල ප්‍රයෝජනයක් අත්වන බව පවසන නුවරඑළිය නගරවාසීන් ඉඩකඩ සහිත පැරණි සතොස අහිමි වූ තමන් වැසි පිණි මැද පෝළිම්වල දුක් විඳිද්දී සිය සොහොයුරාට සාප්පුවකට ඉඩ ලබාදීම සඳහා වංචා සහගතව ක්‍රියා කරමින් සිටින නගරාධිපතිවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව බලධාරීන් දැනුවත් කර ඇති බව පවසයි.
මෙහි සඳහන් කරුණු පිළිතුරු දීමේ අයිතියෙන් බැඳේ. මේ සම්බන්ධව ejournalist වෙබ් අඩිවිය සවිස්තරාත්මක හා ගවේෂණාත්මක ලිපියක් පළ කිරීමට නියමිතය. සංස්කාරක