කොවිඩ් සමයේ ආදිවාසීන් කසිප්පු බීම ගැටලුවක් – ඌරුවරිගේ වන්නියලැත්තෝ

 කොවිඩ් සමයේ ආදිවාසීන් කසිප්පු බීම ගැටලුවක් – ඌරුවරිගේ වන්නියලැත්තෝ

“හැම දවසකම ආණ්ඩුවේ මහත්තුරු දොස්තරවරු හා ආරක්ෂක අංශවල මහත්වරු හැම එකෙන්ම කතා දමන්නේ හැම වෙලාවෙම කියන්නේ පරෙස්සම් වෙන්න කියලා. ටිකක් ලෙඩ අඩු වෙලා වගේ පේනවා, හැබැයි ලෙඩ අඩු වුණා කියලා ලෙඩ ඉවර වෙලා නෑ. ඉතින් මම විශ්වාස කරනවා දැන් වැඩියෙන් මිනිස්සු එක තැනකට එකතු වුනොත් ආයෙත් අපේ රටේ මේ ලෙඩේ වැඩිවෙන්න පුළුවන්. ඒ නිසා  දැන් වෙලාව මේ ආරක්ෂක අංශ වලින් හා හැමෝම කියන දේවල් පිළිගන්න. ඒත් ඒක කරන්න බැහැ කසිප්පු කාරයෝ එක්ක” යනුවෙන් දඹානේ කොටබකිණියේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආදිවාසී නායක උෟරුවරිගේ වන්නියලැත්තෝ ප්‍රකාශ කළේය. 

කොවිඩ් 19 වසංගතය ව්‍යාප්ත වන අන්දම පිළිබඳ අදහස් දැක්වූ  මෙම මාධ්‍ය හමුවේදී හෙතෙම සඳහන් කළේ පනවා ඇති සීමාකිරීම් නීතිවිරෝධී මත්පැන් භාවිතය ඉහළ නංවා ඇති අතර දඹානටද කසිප්පු උවදුර බලපා ඇති බවයි. “කොරෝනා ලෙඩ ආවා විතරයි, මේ හොරෙන් හදන කසිප්පු කියන මත්ද්‍රව්‍ය මේ රටේම දැන් හදන්ඩ පටන් ගෙන තියෙනවා. එතකොට මම හිතනවා මේ කොරෝනා කියන ලෙඩේ එක්කෙනෙකුගෙන් එක් කෙනෙකුට තමයි මාරු වෙන්නේ, හැබැයි මේ වගේ තැන් වලදි ගොඩක් වෙලාවට පැතිරෙන්න පුලුවන්, පහුගිය දවස් වල මත්ද්‍රව්‍ය විකුණන බාර වලත් ලොකු පෝලිම් තිබුණා. එතකොට මේ දවස් වල ආණ්ඩුව රුපියල් පන්දහසක් දෙනවා.  හැබැයි මේ අරක්කු ගන්ඩ දුක්විඳලා දාඩිය දාගෙන කන්නත් නැතුව  අරක්කු ගන්න මිනිස්සු පෝලිමේ ඉන්නවා. දැන් ඒක වහලා.  ඉවර වුණාට පස්සේ දැන් රටේ හැම තැනම හොරට කසිප්පු පෙරනවා.
ඇත්තටම මේ දඹානේ දැන් කසිප්පු පෙරනවා. ගමේ ඉන්න කාන්තාවන් ගොඩක් මගේ ළඟට ඇවිත් මේ ගැටලුව කියනවා.  මට තේරෙන විදියට මම මේ ගැන හැමෝටම කියනවා, මාධ්‍යටත් මම කියනවා, දොස්තර මහත්වරු කියනවා අත් හෝදන්ඩ ඕන, කට වහන්න ඕන අරක්කු ටික බිව්වට පස්සේ සැමියගෙ ඔලුව අවුල් වෙලා තියෙන්නේ ඒ මිනිහට ඔය ආරක්ෂාව කියන එක මතක නෑ. ඒ මිනිහා අරයගෙත් මෙයාගෙත් ඇඟේ එල්ලෙනවා කඩවල් ලඟට යනවා. ඒ වගේ ඉන්න මිනිස්සුන්ට තර්ජනය කරනවා ගහගන්න දඟලනව එහෙම වෙනකොට කොහොමද? මේ කොරෝනා ලෙඩේ පාලනය කර ගන්නෙ. ඇත්තටම  මම කියන්නේ  නිලධාරීන්ට  කොරෝනාවලට මහන්සි වුණා වගේම මේකත් මේ රටෙන් අයින් කරන්න මහන්සි වෙන්ඩ  වෙනවා. ඉස්සර හිටපු ආණ්ඩුව කිව්වා මතින් තොර රටක් කියලා. ඊට ඉස්සෙල්ලා ආණ්ඩුව කිව්වා මතට තිතක් කියලා, හැබැයි මේ ආණ්ඩුවෙන් නම් තාම ඒකට නමක් දාලා නෑ. එහෙම නැති වුණාට ආණ්ඩුවට ලොකු වගකීමක් තියෙනවා. මේ රට බේර ගන්ඩ නම් කොරෝනාව ඒ වගේම  හොරට පෙරන අරක්කු නැති කරන්ඩත් මහන්සි වෙන්න ඕන. ඒ වගේම මම නං කියන්නෙ මේ තියෙන නීති වලින් මේ අරක්කු ජාවාරම පාලනය කරන්න අමාරුයි. මේ වැඩේට නම් අලුතෙන්ම නීතියක් ගේන්න වෙනවා. ඉදිරියේ දී මේ රටේ මේක තුරන් කරන්න නම් ඉතින් හැඟීමක් තියෙන්නත් ඕන”.

“මම කියන්නේ වැඩියෙන්ම මේ රටේ ජීවත් වෙන්නේ බුදුන් අදහන බුද්ධාගම කියන මිනිස්සු ඉතින් මේ වෙසක් කාලේ වත් මේ බෞද්ධයෝ කියන කට්ටිය මේක හිතට අරගෙන වැඩ කරොත් හොඳයි”. යනුවෙන්ද ආදිවාසී නායක වන්නියලැත්තෝ පැවසීය.

චාමින්ද බුලත්සිංහල, ගිරාඳුරුකෝට්ටේ

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *